රජගල දාගැබේ ඡත්‍රය කඩා වැටිලා ආණ්ඩු පෙරළිය රනිල්ට පෙන්නපු හැටි

දිගාමඬුළු ඉතිහාසයේ පුරාවිද්‍යා උරුමයන් අතරින් අතිශයින් වැදගත් වන්නේ රජගල පුදබිමය. අක්කර 1025ක වපසරයකින් යුත් මේ පින්බිම ලංකාවේ විශාලතම පුරාවිද්‍යා රක්ෂිතය වශයෙන් සැලකේ.

මෙය වන වදුලෙන් වැසී යෑම නිසා නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව විනාශ වෙමින් පැවැති ස්ථානයක් විය. යාන්තමින් ගරා වැටුණු ස්ථාන කිහිපයක් පමණක් හෙළි පෙහෙළි කිරීම නිසා මීට වසර කිහිපයකට ඉහතදී ඉතා අඩු පිරිසක් පමණක්
මෙම පුදබිම නරඹන්නට පැමිණියහ. ඒත් ඒ කාලයේ මෙහි දකින්නට ලැබුණේ ඉතා සීමිත පුරාවස්තු ප්‍රමාණයකි.

නමුත් ලංකාවට මිහිඳු සමිඳු පැමිණි බව සඳහන් සුවිශේෂී සෙල්ලිපිය ඇත්තේ මෙම පුදබිමේය.

"යේ ඉමදිප පඨමය
ඉඩිය අගතන
ඉඩිය තෙරහ
මහින්ද තෙරහ තුබේ"
"මේ දිවයිනේ සමෘද්ධිය සඳහා වැඩම කළ ඉට්ඨිය තෙරුන්ගේද, මහින්ද තෙරුන්ගේද, ධාතු තැන්පත් කළ ථුපයයි" ලෙස සෙනරත් පරනවිතාන මහතා එම සෙල්ලිපිය අර්ථ දක්වා තිබිණි.
මෙම සෙල්ලිපියෙන් කියාපාන්නේ බුදු දහම ලක්දිවට ගෙන ඒමේ පුරාවෘත්තය තහවුරු වන සුවිශේෂ සෙල්ලිපියකි. ඒ පමණක් නොවන ඒ ධාතු තැන්පත් කළ මිහිඳු සෑය අදටද ඒ අතීත උරුමයේ වටිනාකම කියාපාමින් රජගල පර්වත මුදුනේ වැජඹෙමින් තිබේ.

සද්ධාතිස්ස රජුගේ පුත් ලැජ්ජතිස්ස කුමාරයා විසින් මෙම පුදබිමේ ගෙඩනැඟූ බවට සාක්ෂි හමුව තිබේ.
මහාවංශයේ මෙම පුදබිම සඳහන්ව ඇත්තේ "ගිරිකුම්බල" ලෙසිනි. රජගල පුරාවිද්‍යා පුදබිමේ අපේ ඉතිහාස උරුමයන් බොහොමයක් වන වදුලට යටව ගොස් තිබියදී අනාවරණය වන්නට වූයේ මෑතකදී සිදුකරන ලද ව්‍යාපෘතියට පින් සිදුවන්නටය.

ඒ නිසා බොහෝ දෙනකුගේ නිසි අවධානයට ලක් නොවුණු මෙම පුදබිමට 2012 වසරේ සිට නිසි අවධානය යොමු විණි. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා එක්ව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. එයට ඇමෙරිකානු රජයේ ආධාර මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ මහා භාණ්ඩාගාරයේ දායකත්වයද ඇතිව මෙම රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහාචාර්ය ප්‍රිශාන්ත, බී. මන්ඩාවල, මහාචාර්ය පත්මසිරි කන්නංගර, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, ආචාර්ය කේ.එම්. ඇලෙක්සැන්ඩර්, ජේ‍යෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි ඇතුළු පුරාවිද්‍යා අංශයේ දස්කම් දැක්වූ විද්වතුන් පිරිසක් මෙම රජගල ව්‍යාපෘතියට දායකත්වය ලබා දුන්හ.

ඒ අනුව මෙම පුරාවිද්‍යා භූමියේ කැණීම් ඇරැඹිණි. ඒ කැණීම්වලට පසුව පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුද සිදුවන්නට විය. රජගල අතීත උරුමයේ දැක පැමිණෙන්නෝ මහා පුදුමයට පත් වන්නට වූහ.

කැඩී බිදී විසිරී ගිය ගල් පාත්‍රය සහ ඒ ස්ථානයේ තිබුණු පුරාවිද්‍යා නටබුන් කැණීම් කර නැවත සංරක්ෂණය කර අතීතයේ තිබූ ආකාරයට එම උරුමය දැක බලා ගන්නට හැකි වන ආකාරයෙන් නැවත ගොඩනැඟෙන්නට විය.
2012 වසරේ ආරම්භ කරන ලද මෙම පුරාවිද්‍යා වැඩබිමේ වැඩ කටයුතු 2015 වසරේ සිට 2020 දක්වා පස් අවුරුදු සැලැස්මක් ලෙස ක්‍රියාත්මක කර වන්නට නියමිතය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන බොහෝ කැණීම් ඉබි ගමනේ සිදුවන විට හෝ ඇතැම් ව්‍යාපෘතීන් අතරමඟ නතර වන විට මෙම රජගල ව්‍යාපෘතිය වේගයෙන් තම ඉලක්කය සපුරා ගනිමින් පසුවෙයි.

රජගල ව්‍යාපෘතියේ කළමනාකරු වශයෙන් කටයුතු කළ රත්නායක මහතා ඇතුළු 20කට ආසන්න පර්යේෂණ නිලධාරි පිරිසක් සමඟින් මෙම කැණීම්වලට සහාය දැක්වූ අනියම් කම්කරුවන් පිරිසත් සමඟ 150කට ආසන්න පිරිසක් මෙම පුරාවිද්‍යා සංකීර්ණයේ සේවය කරන්නට වූහ. ඒ අනුව දුටුවන් මවිත වන ආකාරයේ සොයාගැනීම් රැසක්ද සිදුකර ගන්නට හැකිවිය.

ගලින් කරන ලද ඉපැරැණි කුටියක් මෙහිදී සොයා ගැනුණු අතර ඉතා වැදගත් තොරතුරු රැසක් සටහන්ව තිබුණු නව ශිලා ලේඛන රැසක් සොයා ගැනිණි. රජගල කඳු මුදුනට යෑමට තිබුණු ඉපැරැණි මාර්ගයක් කැණීම් කර සංරක්ෂණය කරන්නට වූහ. මෙම කඳු මුදුනට පාගමනින් යෑම ඉතා අපහසු සහ බොහෝ කාලයක් ගත වන නිසා වාහනයකින් රජගල කඳු මුදුනට යා හැකි මාර්ගයක්ද මෙම ව්‍යාපෘතිය යටතේ සකස් කෙරුණේය.
කඳු මුදුනේ කැඩි බිදී ගිය වැව නැවත සකස් කරන්නට විය. ඉතා දුර්ලභ ආකාරයේ නිර්මාණයක් වන කැබැලිවලට කැඩී ගොස් තිබූ ගල් පාත්‍ර නැවත සකස් කරමින් එම ගොඩනැඟිල් සංරක්ෂණය කරන්නට විය. නිදන් හොරුන් හාරා පස් කන්දක් බවට පත්ව තිබූ මාධ්‍ය ප්‍රමාණයේ දාගැබ් 02ක් කුඩා ස්තූප 05ක් නැවතත් කැණීම් කර සංරක්ෂණය කෙරිණි.

ඒ සමඟින් දාන ශාලා ඇතුළු ගොඩනැඟිලි රැසක්ද ලෙන් ගල් උළුවස්ස යන ස්ථානය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකයන් රැසක්ද සංරක්ෂණය වී ඇත.

මේ ආකාරයෙන් මම රජගල කැණීම් නිසා අනුරාධපුර සහ පොළොන්නරුවට නොදෙවැනි ආකාරයේ ඉපැරැණි නිර්මාණයන් රැසක් මෙහි පැමිණෙන්නන්ට දැකගන්නට ලැබිණි. මේ ආකාරයෙන් කාලයේ වැලි තලාවෙන් වැසී ගිය රජගල පුරා විද්‍යා වැඩබිම දිගාමඬුලු මිටියාවතෙහි වටිනාකම වැඩි කළේය.

ලාංකේය පුරා විද්‍යාඥයන්ගේ දස්කම් මොනවට මතු වෙමින් කැඩීබිඳී ගිය ගල් කුලුනු තුළට සුදු යකඩ කූරු සවිකර විශේෂ ගම්වර්ගයක් ඇසුරෙන් නැවත සකස් වන්නට විය.

ඒ අයුරින් රජගල සුවිශේෂී නිර්මාණයක් වන "ගල් පාත්‍රය" ඇතුළු කෑලි කෑලිවලට බිඳී ගිය පුරා වස්තු නැවත පෙර තිබූ ආකාරයට සකස් කරන්නට මෙහි සේවය කළ හැකි පිරිසට හැකි වන්නට වූහ. ඒ අනුව පැමිණෙන සියලු දෙනාටම මෙහි අභිමානයක් ගෙන දෙමින් විනාශව ගිය අපේ උරුමය නැවත රජගලින් මතුවන්නට විය.

මේ ආකාරයෙන් රජගල පුදබිමේ ගරා වැටුණු දාගැබක්ද නැවත කැණීම් කරමින් සංරක්ෂණය කර ගොඩ නඟන්නට මෙහිදී පුරාවිද්‍යාඥයන්ට හැකිවිය. එම දාගැබ් මත කොත් කැරැල්ලක් වෙනුවට තිබුණේ ඡත්‍රයකි. එය දෙකට කැඩී බිම වැටී තිබියදී හමුවී තිබිණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මඩකළපුව මංගලරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්
"මෙම ස්ථානය ලංකා ඉතිහාසයේ පූජනීය ස්ථානයක්. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එදා නැවත ප්‍රතිසංස්කරණය කෙරුණු රජගල කන්දේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ධාතුන් නිධන් කිරීම සඳහා පැමිණියා. එහි ධාතුන් වහන්සේ තැන්පත් කළ මොහොතක් ගිය පසු එම පිරිස උත්සව සභාවේ සිටියදීම එහි දාගැබ සමීපයේ ඡත්‍රය කැඩී අවස්ථා දෙකකදී බිම වැටුණා.
භික්ෂුන් වහන්සේලා හැටියට ජාතියට ආගමට රටට වන පරිහානිය පිළිබඳව අපිට බලා සිටින්නට බැහැ. ඒ නිසා ලොව්තුරු බුදු දහම කෙලෙසනවා. එයා රජගල දාගැබේ ඡත්‍රය කඩා වැටීමෙන් පෙන්නුවේ ආණ්ඩුවේ අවසානය ද කියා හිතුණා.

උතුරු නැඟෙනහිර සිංහල සංවිධානයේ සභාපති සේනාපතියේ ආනන්ද හිමියන් මේ පිළිබඳව මෙසේ අදහස දක්වන්නට වූහ.

බුදු හිමියන්ගේ පහස ලබමින් සිංහල බෞද්ධ පදනමකින් ගොඩනැඟුණු දේශයක් තමයි අපේ රට. රටට ජාතියට, රණවිරුවාට, රටේ නීතියට අගතිගාමි වැඩපිළිවෙළක් ඉතිහාසය පුරා දකින්නට ලැබුණේ නැහැ. ඒ තත්ත්වය පසුගිය කාලයේ දකින්නට තිබුණා. මිහිඳු හිමියන්ගේ භස්මාවශේෂ තැන්පතු කර තිබුණු රජගල පූජා භූමියේ වෙහෙර වහන්සේගේ ඡත්‍රය කඩා වැටීම අසුබ දෙයක්.

දාගැබේ ඡත්‍රය කඩා වැටීමෙන් පෙන්නුම් කළේ ආණ්ඩුවේ කඩා වැටීමයි. 16 වැනිදා ඒ සිදුවීම වුණේ. හරියටම 26 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව අවසන් වුණා.

රජගල කෑලිවලට කැඩිලා ගියා පුරා වස්තූන් නැවත පෙර තිබූ ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කර පුරාවිද්‍යා නිලධාරීන් මේවා භාගෙට හදන්නේ නැහැ.
හොඳට සුදු යකඩ කූරු දාලා විශේෂ ගම් වගයක් දාලා ප්‍රතිසංස්කරණය කරලා තිබ්බේ.

ලංකාවේම විශාල පුරාවිද්‍යා උරුමයන් රැසක් සහිත මෙපින් බිමෙහි කෑලි කෑලි කැඩුණු පුරා වස්තු රැසක් පුරා විද්‍යාඥයන් විසින් නිසි පරිදි සම්බන්ධ කිරීම සුවිශේෂ කටයුත්තකි. රජගල රැකගැනීම වත්මන් පාලකයන්ගේද වගකීම නොවන්නේද..?

- මවුබිම


gossip lanka