රටේ නායකත්වයට එන ලෙසට ඇල්ලේ ගුණවංශ හිමිට ඉල්ලීම් !

මෙරට නායකත්වයට ඉදිරිපත් වන ලෙස තමන්ට ඉල්ලීම් කිහිපයක්ම ලැබී ඇති බවත්, මේ පිළිබඳ සිතා බලන බවත් ඇල්ලේ ගුණවංශ නාහිමියෝ ‍පැවසූහ.

‍ප්‍රදීපා ලක්සෙවණ පදනම මගින් රුපියල් ලක්‍ෂ 120ක වියදමකින් ගම්පහ, රතුපස්වල ඉදිකරන ලද ළමා නිවාසය විවෘත කිරීමේ උත්සවය අවසානයේ මාධ්‍ය
වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.

" ඇත්ත වශයෙන්ම අද පවතින නායකයන් ගැන විශ්වාසයක් නොමැතිකම නිසාදෝ ජනතාව ගම්පිටින් බස්වලින් පැමිණ මට ඉල්ලීම් කරනව, නායකත්වයකට එන්නයි කියලා. විශේෂයෙන්ම දුප්පත් ජනතාව. නමුත් මේ දේශපාලනයට ඉදිරිපත් වෙලා කටයුතු කරනවාට වැඩිය අවංක ඍජු ගුණ සම්පත්තියෙන් යුත්, මේ සිවුරෙ සුවඳ හඳුනන අයෙකු සොයා ගැනීමට අපහසුයි.

මෙය ඇත්තයි. නමුත් අපි මේ දවස්වල ඒ සඳහා ඇපකැප වෙලා යනවා. ඒ සොයා ගත්තොත් දළදා වහන්සේ ළඟදී දණ ගහලා අපේ ඉල්ලීම් පහ ඉෂ්ට කරලා දෙනවයි කියල පොරොන්දු වෙනවා නම්, එසේ පොරොන්දු වන නායකයාට අපි උදවු කරනවා.

දැන් තිබෙන තත්ත්වය අනුව රටට මහමැතිවරණයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ රටට ආදරය කරනවා නම් එක්සත් ජාතික පක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ එක්සත් පෙරමුණත් සියලු පක්‍ෂ එක්ව ලේ කඳුළු හලා තිබෙන මේ අපේ රට වෙනුවෙන් ඒ තීරණය අපට ලබාදිය යුතුයි. ඒ ඉල්ලීම අපි කරනවා.  අද පාර්ලිමේතුවේ තිබෙන තත්ත්වය හරිම කනගාටුයි. රටේ නායකත්වයට එන්න කියා මට අද ඉල්ලීම් තිබෙනවා" යැයි පවසා සිටියේය.