මට මිනිස්සු ආදරෙයි – ප්‍රියන්ත සෙනෙවිරත්න

පුංචි තිරයේ නිතරම දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කරලා නිසාද?
අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසා ගොඩක් වැඩ භාරගන්නෙත් නැහැ. අනික අද කා‍ලේ රඟපාන්න හොඳ වැඩ ලැබුණෙත් නැහැ.

වැඩි දායකත්වයක් ලබාදෙන්නේ සිනමාවටද වේදිකාවටද?
එහෙම විශේෂයක් නැහැ. ඔක්කොටම එක වගේ
දායකත්වයක් ලබාදෙනවා. ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය කළ අතුරු මිතුරු චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.

නිර්මාණ තෝරාබේරා ගැනීමේදී මොනවද සැලකිලිමත් වෙන්නේ?
එහෙම තෝරාගැනීමක් අවශ්‍ය නැහැ. මොකද නිර්මාණ තෝරලමනේ ලැබෙන්නේ. අපේ ස්වභාවය දන්න නිසා තෝරගෙන එනවා. අපි සතුටෙන් භාරගෙන කරනන් පුළුවන් උපරිමයෙන් කරනවා. ගොඩක් ආරාධනා ලැබෙන්නේ හාස්‍ය උත්පාදක චරිතවලට තමයි.

හාස්‍යෝත්පාදක චරිතවලට සීමාවෙලා කියලා හිතෙන් නැද්ද?
එහෙම නැහැ. විවිධ චරිත ගොඩක් මම කරලා තියෙනවා. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍යවලට විවිධ චරිත කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

පාස‍ලේ ළමයින්ගෙන් ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හරි ඉහළයි. ආචාර්ය මණ්ඩලය, ළමයි, දෙමව්පියෝ, ආදි ශිෂ්‍යයන්ගෙන් බොහොම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම ඒ ගැන සතුටුයි. ඒ අයත් එක්ක කලා කටයුතුවලටත් මම දායක වෙනවා.

හාස්‍යෝත්පාදක නාට්‍ය ගැන මොකද හිතෙන්නේ?
ගැඹුරින් යමක් හිතන්න පෙලඹෙන නිර්මාණ බිහිවීම අඩුවෙලා තියෙනවා. මතුපිටින් තියෙන සරල හාස්‍ය්‍යක් සහිත නිර්මාණ තමයි වැඩියෙන් බිහිවෙන්නේ. ඒ දේ වෙනස් වෙන්න ඕන කියලයි මම හිතන්නේ.

ක්ෂේත්‍රයට එකතුවෙලා වසර කීයක් වෙනවද?
දැන් වසර 33ක් වෙනවා.

ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නේ කවුද?
ගිරිරාජ් කෞශල්‍ය, රොඩ්නි වර්ණකුල, පියුමි බොතේජු බොහොම ළඟින්ම ඇසුරු කරනවා. අනිත් අයත් ඇසුරු කරනවා.

වෘත්තියෙන් ගුරුවරයෙක් ලෙස සේවය කරද්දි කලා කටයුතුවලට කොහොමද කාලය වෙන්කර ගන්නේ?
කාලය හොයාගන්න ටිකක් හරි අමාරුයි. අපේ දෙපාර්තමේන්තුවේ පාස‍ලේ විදුහල්පතිතුමාගෙන්, ගුරුවරුන්ගෙන් ලැබෙන සහායත් එක්ක කාලය කළමනාකරණය කරගන්න පහසු වෙලා තියෙනවා. නිදි මැරීම වැඩි නිසා වෙහෙසකරයි මේ දෙකම කරන නිසා. ලංකාවේ හැටියට මේ දෙකමත් නොකරම බැහැ.

ඉඩ ලැබෙන හැම වෙලාවකම නිර්මාණ රසවිඳිනවද?
ඔව්. චිත්‍රපට, ටෙලි නාට්‍ය බලන්න යනවා. ගෙදර මගේ බිරිඳ ළමයි ගොඩක් සංගීතයට බරයි. ඒ අයත් එක්ක සින්දු කියනවා. ඒවා රසවිඳිනවා.

සමාජයේ කතාබහට ලක්වුණු ජනප්‍රිය චරිතයක් වීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම හොඳයි. සමාජයේ කොහේ ගියත් තනිකමක් දැනෙන්නේ නැහැ. නන්නාඳුනන පළාතකට, රටකට ගියත් හැමෝම හඳුනාගෙන කතා කරනවා. කිසිම තැනකදි අපහසුතාවට පත්වෙන්නෙ නැහැ. බොහොම ආදරෙන් මිනිස්සු සලකනවා.

දැන් නිර්මාණකරණයෙන් ඈත්වෙලාද?
එක වේදිකා නාට්‍යයක් කළා. ටෙලි නාට්‍ය නම් නිර්මාණකරණය කරන්න නම් අදහසක් නැහැ. ඒ දේ ව්‍යාපාරික මට්ටමට යන නිසා. ආයතන සඳහා පෙන්වන විනෝදාත්මක නාට්‍ය තමයි ගොඩක් අපි කරන්නේ.

තිළිණි කරුණාරත්න