සිසුන් පිරිසක් විදුහල්පතිගේ දොර ඉස්සරහා මල් වඩමක් ගෙනෙත් තියලා

සාලිය ආදර්ශ මහා විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරයාගේ නිවස ඉදිරිපිටට මල් වඩමක් තැබීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සාලියවැව පොලිසිය පැවසුවේය.

සහකාර විදුහල්පතිවරයා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන්ව ඇත්තේ පාසලේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම ගැන
උරණ වී ඇති එහි වැඩබලන විදුහල්පතිවරයා හා තවත් ගුරුවරුන් කිහිප දෙනෙකු එක්ව සිසුන් පිරිසක් ලවා සහකාර විදුහල්පතිවරයාගේ නිවසට මල්වඩමක් යැවීමට කටයුතු කර ඇති බවට තොරතුරු මේ වන විට ලැබී ඇති බවයි.

සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති එස්.එම්.පී.ජී.කීර්තිරත්න බණ්ඩා මහතා විසින් 6 වන දින මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයේ වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම හා වෙනත් ගොඩනැඟිලි අළුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් වන කොන්ත්‍රාත් පාසලේම ගුරුවරයෙකුට ලබා දී ඇති බවත් ඒ සඳහා පාසල් සංවර්ධන සමිතියේ අනුමැතිය ලබා ගෙන නොමැති බවත් මෙහිදී වාර්තා වෙයි.

මේ අතර එම කොන්ත්‍රාත් කිරීම් සඳහා සංවර්ධන සමිති ගිණුමේ මුදල් ද යොදවා ඇති නිසා පාසලේ ජල බිල හා විදුලි බිල ගෙවීමට නොහැකිව ජල බිලට අධිභාරයක් එකතු වී ඇති අතර පාසලට විදුලිය දෙන විදුලි සැපයුම් 4ම විසන්ධි කර තිබී ඇති බවත් අද දෙරණ වාර්තාකරු පැවැසීය.

ක්‍රීඩා උත්සවය වෙනුවෙන් දෙමාපියන්ගෙන් අය කළ රුපියල් 400 බැගින් වන කොටස් මුදල් සංවර්ධන සමිති ගිණුමට බැර නොකර අත්තනෝමතික ලෙස වියදම් කර තිබෙන බවත් පාසලට වෙනත් ආධාර යටතේ ලැබෙන මුදල් ද මෙසේ අවිධිමත් ලෙස වියදම් කර ඇති බවත් වාර්තා වෙයි.

පාසලේ ඉදිකර ඇති බුදු මැදුර වෙනුවෙන් එකතු කර ඇති මුදල්ද සංවර්ධන සමිති ගිණුමට බැර නොකර වියදම් කර ඇති බවද සදහන් වෙයි.

එසේම සහකාර විදුහල්පතිවරයා කල පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් වන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය වැඩ සටහන්  වෙනුවෙන් වෙන් කර ඇති මුදල් එවැනි කටයුතු ඉටු නොකර ලබා ගෙන ඇති බවත් ඒ සඳහා විවිධ බිල් ඉදිරිපත් කර ඇති බවත්ය.

වසර 5කට පෙර දෙමාපියන්ගේ පරිත්‍යාග හා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද පාසල් භූමියේ ගල්වැටි දැමීම ඇතුළු වියදම් වෙනුවෙන් යැයි පවසමින් 2018 වසරේ ගිණුමෙන් මුදල් ලබා ගෙන ඇති බව සම්බන්ධයෙන් ද වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයට ලද පැමිණිලි මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
 
එම පැමිණිල්ලේ වැඩි දුරටත් ඇත්තේ  ශ්‍රී ලංකා විගණන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත්  පරීක්ෂණ කටයුතු සිදු කර වාර්තාවක් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.

සාලිය ආදර්ශ මහා විද්‍යාලය තුළ විශාල වශයෙන් මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවත් මුදල් එකතු කිරීම සම්බන්ධ වවුචර්පත් ද අස්ථානගතවීම, පාසලට අයත් කුඹුරේ ආදායම් පිළිබඳ නිවැරදි තොරතුරු නොමැතිවීම ඇතුළු අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන්ද එම වාර්තාවෙන් කරුණු පෙන්වා දී තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන විමර්ශන අංශය හා ශ්‍රී ලංකා විගණන දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කළ දා සිට මේ දක්වාම විදුහල්පතිවරයා හා ඉහත  චෝදනාවලට ලක්ව ඇති ගුරුවරුන් දෙතුන් දෙනා විසින් සිසුන් දෙතුන් දෙනෙකු ලවා තමන්ට එරෙහිව කළුකොඩි දැමීම, තමන්  අතිරේක පන්තියක් පැවැත් වූ පසුගිය දිනක සිසුවෙකු ලවා ගල් ගැස්සවීම එම සිසුන් ලවා හූ කියවීම වැනි දුෂ්ඨකම් සිදු කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් සාලියවැව පොලීසියට විටින් විට පැමිණිලි කළ බවත් ඒ මහතා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

සුසාන භුමියක තබන ලද මල්වඩමක් 5වන දින රාත්‍රී 10.30ත් 11.00ත් අතර සහකාර විදුහල්පතිවරයාගේ නිවසේ දොරටුව අසල තැන්පත් කර ඇත්තේ සිසුන් හතර පස් දෙනෙකු යොදා ගෙන බවත් 5 වන දින රාත්‍රී 10.30 පමණ වන තෙක් පාසලේ පවත්වා ඇති අතිරේක පන්තියක සිසුන් පිරිසක් මේ සඳහා යොදා ගෙන ඇති බවත් පැමිණිල්ලේ සදහන් වේ .

මේ සම්බන්ධයෙන් පුත්තලම උතුරු කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා, පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, වයඹ පළාත් ආණ්ඩුකාරතුමන්ට ද මේ පිළිබඳව ලියාපදිංචි තැපෑලෙන් පැමිණිලි ඉදිරිපත් කරන බව ද එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.
 


gossip lanka