මහ වැස්සක් අරන් එන ප්‍රදීප් රංගන

කලාකාරයෙක් වෛද්‍යවරයෙක් වුණාම ඔහුට වෘත්තීය ජීවිතේදී ලබන අත්දැකීම් ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. එහෙම වෛද්‍යවරයෙක් තමයි කොයි කවුරුත් හඳුනන ප්‍රදීප් රංගන කියන්නේ. ඔහුගේ හඩින් අලුතින්ම ගීතයකුත් අහන්න ලැබෙන නිසාම ඔහු වෙනුවෙන් මේ  ඉඩ වෙන් කළා

අලුතින් ගීතයක් කළා නේද?

ඔව්. ‘මහ වැස්සක්’ තමයි මගේ අලුත්ම ගීතය. අද කා‍ලේ අඩුවෙන් අහන්න ලැබෙන ගීතයක් මේක. මම හිතනවා වෙනස් වූ විරල වූ මේ අත්දැකීම වටා බොහෝ පිරිසක් එකතු වේවි.

නමුත් තවම  රූප රචනාවක් නම් දකින්න ලැබෙන්නේ නෑ?
මුලින්ම ගීතය විතරයි අපි අහන්න දුන්නේ. රූප රචනයකුත් මෙයට නිර්මාණය වෙමින් පවතිනවා. සමාජයට පණිවිඩයක් ලබාදෙන සුපුරුදු ආදරය සහ විරහවෙන් මිදුණු, තරුණ සමාජය ආමන්ත්‍රණය කරන පද රචනාවක් වේවි එය.

ගීතයට දැනට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර විවිධාකාරයි. මගේ අනිත් නිර්මාණත් එක්ක අරන් බලනකොට වෙනස් ප්‍රතිචාර තමයි මේ ගීතයට ලැබෙන්නේ. ඒ වෙනස තුළ ඉතාමත් හොඳ මට්ටමේ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. වටිනාකමක් සහිත නිර්මාණයක් කියන එක තමයි දැනට ලැබුණු හොඳම ප්‍රතිචාරය.

‘පෙම් සිහිනෙට’ තවමත් ඒ වගේම ප්‍රතිචාර ලැබෙනවා ඇති?
සමහර ගීත තියෙනවා කවදාවත් අමතක වෙන්නෙත් නෑ සහ අමතක කරන්නත් බෑ. කලාතුරකින් තමයි කලාකාරයෙක්ට එහෙම නිර්මාණ හමුවෙන්නේ. ඉතින් ‘පෙම් සිහිනේ’ කියන්නෙත් එහෙම මිනිස්සු අතරට ගියපු නිර්මාණයක්. ඒ ප්‍රතිචාර තවමත් ඒ විදියටම මට ලැබෙනවා. මමත් ඒ නිර්මාණය වෙනස් වෙනස් ආකාරයට මිනිස්සුන්ට රස විඳින්න දෙන්න නිතරම උත්සාහ ගන්නවා.

ඔබත් වීඩියෝ රැල්ලට අහුවෙලා නිර්මාණ කරන කෙනෙක්ද?
වීඩියෝ එකක් එක්ක නිර්මාණයක් එළියට එන කොට නිරායාසයෙන්ම මිනිස්සු ඒ කෙරෙහි ඇදිලා යනවා. ඒක හරි සාමාන්‍ය දෙයක්. නමුත් වීඩියෝ එකක් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් ‍නෙවෙයි. අපි වචනවලින් කියන්න උත්සාහ කරන දේ රූප හරහා තවත් ආකාරයකට කියැවීමක් වෙනවා වීඩියෝ එක හරහා. නමුත් අපි අද දකින වචනයක් පාසාම තේරුම් ඉස්මතු කිරීමට උත්සාහ ගන්න වීඩියෝ කලාව නම් මම අනුමත කරන්නේ නැහැ.

ඔබව අරන් ආපු ‘සුපර් ස්ටාර්’ වේදිකාවට අද වෙලා තියෙන දේ ගැන මොකද හිතෙන්නේ?
ඒක නම් ඔවුන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්. හැබැයි මම මෙහෙම දෙයක් දකිනවා. අවුරුද්දෙන් අවුරුද්දට තරග පැවැත්වූවාට අපි කතා කරන සුපිරි දක්ෂයින් ඒ හැම වතාවකම බිහිවෙනවාද කියන ප්‍රශ්නය අනිවාර්යයෙන්ම මතුවෙනවා. ඒ වගේම නාළිකා අතර තියෙන තරගයත් මේ ප්‍රශ්නයට එක හේතුවක්.

ඔබ වැනි කිහිප දෙනෙක් රැඳුණට බොහෝ පිරිසක් දකින්නවත් ලැබෙන්නේ නෑ?
ඒක වෙනමම කතාවක්. වේදිකාවකින් කරන්නේ අපිව හඳුන්වා දීමක් සහ දක්ෂතාව හඳුන්වලා දීමක් විතරයි. එතැනින් එහාට අපේ ස්ථාවරත්වය සහ අපි කුමක් කළ යුතුද කියන දේ හොයා ගන්න ඕන අපිමයි. එහෙම ස්ථාවර වෙන්න බැරිවුණු පිරිස් දකින්න නොලැබෙන එකත් සාධාරණයි.

එදා වේදිකාවේ හිටපු අය තවමත් කතා කරනවද?
ඔව් කතා කරනවා. මම තරමක් කාර්යබහුල නිසා මට ඔවුන් එක්ක මුහු වෙන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් ලැබෙන හැම අවස්ථාවකම ඔවුන් එක්ක මම සුහදව කටයුතු කරනවා.

තරුවක් විදියට වෘත්තීය ජීවිතේ ලබන අත්දැකීම් ගැනත් කියන්න දේවල් ඇති?
ඒ අත්දැකීම් හරි සුන්දරයි. නමුත් ඇතැම් වෙලාවට ඒ අත්දැකීම් හරි පරිස්සමට විඳගන්න ඕන. මොකද වෛද්‍යවරයාට තියෙන වගකීම අමතක නොකර කලාකරුවාට ලැබෙන ප්‍රතිචාර භුක්ති විඳින්න ඕන. හිතන තරම්ම ‍ලේසි නෑ ඒක.

වෛද්‍යවරයයි ගායකයයි සමබර කරගන්නේ කොහොමද?
ඒක නම් හරිම අමාරු දෙයක්. කාලය තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. වෛද්‍යවරයාටත් ගායකයාටත් වෙනම කාලයක් ඕන. ඒ සේරම එක්ක මගේ පෞද්ගලික ජීවිතය ගළපා ගන්නත් ඕන. ඉතින් හිතන තරම් ‍ලේසි නෑ මේ දේවල්. නමුත් මග හැරෙන්න නොදී සුළු දේ පවා කරමින් මේ ගමන යන්න තමයි මම උත්සාහ ගන්නේ.

රියැලිටි ගායකයෙක් වීම ඔබට ආඩම්බරයක්ද?
ඔව් ඇත්තටම. මොකද මේ ක්ෂේත්‍රයට එන්න ‍ලේසි නෑ. ආවත් පවතින්න ‍ලේසි නෑ. ඉතින් රියැලිටි වේදිකාව අපිට ඒ අවශ්‍ය අවකාශය නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ ගැන මට ආඩම්බරයි. ක්ෂේත්‍රයට පිවිසීමට හොඳ දොරටුවක් අපිට රියැලිටි වේදිකාව මත විවර වෙනවා.

පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරමු?
පෞද්ගලික ජීවිතේ ඉතින් සාමාන්‍ය පරිදි මමයි, බිරිඳයි ගත කරනවා. හැමෝම එක්ක සතුටින් ජීවිතේ ගෙවනවා කීවොත් හරි.

බිරිඳගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා ඇති නේද ඔබගේ කාර්යබහුල ජීවිතේට?
අනිවාර්යයෙන්ම ඇයගේ සහයෝගය තමයි මට නිරන්තරයෙන්ම ශක්තියක් වෙන්නේ. පවුලක් කියන්නේ සල්ලි හම්බ කරන එකෙන් එහාට ගියපු දෙයක්නේ. ඉතින් ඒ හැම දෙයක් ගැනම හොයලා බලන්නේ ඇය. අඩුම තරමේ ගෙදරට අවශ්‍ය දෙයක්වත් ගේන්න යන්නේ නෑ මම. ඒ හැමදේම හොයලා බලන ඇයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

ඔබේ කාර්යබහුල වීම පවුල් ජීවිතේට ප්‍රශ්නයක් ‍නෙවෙයිද?
කලාකරුවෙක් ගැන කලාකරුවෙක්ගේ බිරිඳට තිබිය යුතු තේරුම් ගැනීම උපරිමව ඇය සතුයි. ඉතින් ඒ තේරුම් ගැනීම මත සිට මං දිහා බලන ඇය මගේ කාර්යබහුලත්වයත් දැන් හොඳින්ම තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා ප්‍රශ්න කියන දේවල් අපිට හරි දුරයි.

ඇයත් එක්ක ගීතයක් කරන්න එහෙම අදහසක් නැද්ද?
ඇය හොඳ විචාරකයෙක්. සංගීතය ගැන දැනුමකින් නොවුණත් මං කරන නිර්මාණ ගැන ඇය තුළත් යම් විනිශ්චයක් තියෙනවා. නමුත් ගීතයක් නම් කරන්න අපිට එහෙම අදහසක් නෑ.

නඳුනි ආරියවංශ

gossip lanka