gossip lanka

මුල්ම රංගනය ගොළු චරිතයක් - ප‍්‍රදීප් ධර්මදාස

නිතර දක්නට නැති වුණත්, ඉඳහිට ඔහු හමුවන්නේ අමතක නොවන චරිත රංගනයක් සමගය. පුංචි තිරයේ මෙන්ම සිනමාවෙත් එලෙසින් රංගනයේ යෙදෙන ප‍්‍රදීප් ධර්මදාස ගැන ඔබට අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැහැ. කාලයකට පසු ඔහු මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය වගේම නුරුස්සන තරමේ ප‍්‍රතිචාරවලට ලක්වන්නේ චන්ද්‍රාදිත්‍ය නිසයි. සිංහ එන්ටර්ටේන්මන්ට් නිර්මාණයක් වන නීලපබළු නාට්‍ය මාලාව ඔස්සේ ප‍්‍රදීප් ආලින්දයට
පැමිණෙන්නේය.

චන්ද්‍රාදිත්‍ය ලෙස මෙලෙසින් හමුවන්නේ අවුරුදු කීයකට පසුවද? 

අවුරුදු දෙකකට විතර පසුව.

අන්තිමට ඔබ රඟපෑ විකාශය වූ නාට්‍යය?

අයාල්. ඊට අමතරව ටී.වී. 1 එකේ නාට්‍ය විකාශය වුණා. ඒත් වැඩිදෙනා කතා කළේ අයාල් (VVIP) ගැනයි.

ඇයි පසුගිය කාලයේ දී රඟ නොපෑවෙ?

පසුගිය කාලයේ දී වැඩිපුරම කළේ අධ්‍යක්ෂණ කටයුතුයි. නාට්‍ය කීපයක්ම අධ්‍යක්ෂණය කළා. මේ දිනවල ෂඔභ එකේ දෙයියන්ගේ රටේ සෙනසුරාදා ඉරිදා දිනවල විකාශය වෙනවා. එහි මහේන්ද්‍ර සහ දිල්හානි ඇතුළු ප‍්‍රවීණයන් රඟපානවා. ඊට අමතරව කිරුළි විකාශය වුණා. ත්‍රෛලෝකා නමින් කොටස් 16 ක තවත් නාට්‍යයක් කළා. එය ජනවාරියේ සිට විකාශයට නියමිතයි. මේ සියල්ලට අමතරව තවත් වැඩක් කළා.

ඒ මොකක්ද?

මගේ ප‍්‍රථම චිත‍්‍රපට අධ්‍යක්ෂණය වන ‘අයිස්ක‍්‍රීම්’ තිරගත වීමට නියමිතයි. එහි හේමාල් සහ සරත් කොතලාවල ප‍්‍රධාන චරිත රඟපාන අතර, ජයලත් මනෝරත්නයන් සහ දමිතා ප‍්‍රවීනයන් මෙන්ම අයිෂාරා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

ප‍්‍රදීප් ඔබගෙ මේ ගමන ආවේ කලාව අරමුණු කරගෙන ද? මේ අංශයෙන්ම යාමේ අරමුණ ඇතිව ආ ගමනක්ද?

පාසල් සමයේ සිට නිවේදන අංශයට එක්වී කටයුතු කළා. අනුරාධපුරයේ සිට කොළඹ ආවෙත් ඒ නිසාමයි. කොළඹ ඇවිත් නිවේදන අංශයේ ඩිප්ලෝමාවක් පවා කළා. පසුව ස්වර්ණවාහිනියට එක්වීමේ අවස්ථාව ලැබුණා. එහිදී වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස දේශපාලන වැඩසටහන් තමයි නිෂ්පාදනය කළේ. රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදක සහ අධ්‍යක්ෂ ලෙස පටන්ගත් ඒ ගමන නිවේදනය දක්වා විහිදී ගියා. එක පොකුරට මගේ ගමනේ වැඩ ටික සිද්ධ වුණේ ඒ විදියටයි. පසුව මගේ ගමන ආරම්භ වුණේ ‘නිල් අහස වගේ’ ටෙලි නාට්‍ය සමග රංගනයෙන්. එහි මා කළේ ගොළු චරිතයක්. ඉන්පසු සඳගලතැන්නෙ රඟපෑවා. ස්වර්ණවාහිනියෙන් ඉවත්වූ පසුව අධ්‍යක්ෂණයේ ගමන පටන්ගත්තෙ ‘‘සමනලූන්ට වෙඩි තියන්න’’ සහ ඇහිපිල්ලමක් යන නාට්‍යය සමගයි. එදා සිට මේ දක්වා නාට්‍ය 8 ක් විතර කරලා තියෙනවා.

මේ අතරවාරයේදී සිනමාවෙත් රඟපෑවා නේද?

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අන්තිම චිත‍්‍රපට අධ්‍යක්ෂණය වූ අම්මාවරුනේ නාට්‍යයේ රඟපෑමට ලොකු අවස්ථාවක් ලැබුණා. එහි රඟපෑවේ හාමුදුරු නමකගේ චරිතයක්. මාව නිවේදන ක්ෂේත‍්‍රයට ගෙනාවේ නැසීගිය හේම නලීන් මහතා. පසුව රංගනය වෙනුවෙන් මාව වඩාත් උනන්දු කළේ නැසීගිය එච්.ඞී. පේ‍්‍රමරත්න මහතා.

ඒ විදියට ගමනක් ආ ප‍්‍රදීප් අද කොතැනද ඉන්නෙ?

තවම හෙමි හෙමිහිට ගමනක් යමින් සිටින්නෙ. මෙතෙක් ආ ගමනේ යම්කිසි ස්ථාවරයකට පත්වෙලා. විවිධ නිර්මාණ සමග ඉදිරියට යාම තමයි අරමුණ.

ප‍්‍රදීප්ගෙ සාමාන්‍ය ජීවිතය ගැනත් කිව්වොත්?

මම විවාහකයි. බිරිඳ දිනුජා වෛද්‍යවරියක්. ඒ දිනවල ස්වර්ණවාහිනිය හරහා මාධ්‍යයටත් ඇය සම්බන්ධව හිටියා. ඉඳහිටලා අදත් මාධ්‍යයට සම්බන්ධ වෙනවා. අපි දෙන්නට පුතාලම දෙන්නයි.

කොහොමද ඒ ජීවිතය?

එක් එක් කාලවලදී ජීවිතය වෙනස් වෙනවනෙ. අද දරුවෝ සහ බිරිඳ එක්ක ගෙවන ඒ ජීවිතය අනෙක් සියල්ලට වඩා හරි සුන්දරයි. ජීවිතයට විවිධ කාලවලදී ජීවත්වීම සඳහා උත්තේජන එනවනෙ. මේ කාලයේදී ඒ උත්තේජනය එන්නෙ දරු පවුල් කියන සංකල්පයයි. ඉතින් ඔය විදියට ජීවිතය ගෙවනවා.

ප‍්‍රදීප් මොන වගේද?

හැමෝම එක්ක හොඳින් ජීවත්වන සාමාන්‍ය චරිතයක්.

එතකොට චන්ද්‍රාදිත්‍ය? ඇයි ඒ චරිතයට කැමති වුණේ?

එහි පිටපත ලැබුණාම යම් යම් දේ තිබුණා. මීට පෙර මා කළ සුදු චරිතයක් නෙවෙයි. කළු පැත්තට බර චරිතයක්. වෙනසකටත් එක්ක එය කළොත් හොඳයි කියලා හිතුවා. නමුත් ඉදිරියේදී මගේ ප‍්‍රධාන කාර්යය වන්නේ අධ්‍යක්ෂණයයි. ඉඳහිට මේ වගේ වෙනස් චරිත රඟපාවි.

වෛද්‍යවරියක් වූ බිරිඳ දිනුජා මේ ගැන කියන්නෙ මොනවද?

අපි දෙන්නා අතර පේ‍්‍රමයක් හටගත්තෙත්, දෙදෙනා අතර වූ තේරුම් ගැනීම මතයි. විවාහ ජීවිතයට වැදගත්ම දේ එයයි. එයා මගේ වැඩවලට හරිම කැමතියි. අඩුපාඩු තිබුණොත් ඒවා පෙන්වලා දෙනවා. ඇත්තටම දිනුජාගෙන් මේ ගමනට මට ලැබුණේ ලොකු හයියක්.

සටහන / ඡායාරූප: සඳුන් ගමගේ


gossip lanka