ගම් හතරක අයියා - මලෝ අට දෙනෙක් එකම විහාරයක පැවිදි බිමේ

ගම් හතරක අයියා - මලෝ ජෝඩු හතරක, අට දෙනෙක් එකම විහාරස්ථානයක පැවිදි බව ලබා එම විහාරස්ථානයේම වැඩ වාසය කරමින් සිටින බවට ලද තොරතුරකට අනුව උන්වහන්සේ අට නමගේ වර්තමාන තොරතුරු සොයා අපි කෑගල්ල, මොරොන්තොට, හපුවිට පල්ලේගම ශ්‍රී ශාක්‍යමුනින්දාරාම විහාරස්ථානය වෙත ගියෙමු.

කෑගල්ල - බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ ගමන් කර
මොරොන්තොට නගර මධ්‍යයේ ඇති පාලමෙන් වමට ඇති කෙහෙල්වත්ත මාර්ගයේ කිලෝමීටරයක් පමණ පසු කළ තැන අලංකාර වූ කඳු බෑවුමක මෙම හපුවිට පල්ලේගම ශ්‍රී ශාක්‍යමුනින්දාරාමය පිහිටා ඇත.

එහි විහාරාධිපති අලපලාවල ඉඹුල්ඉන්න ශ්‍රී ඥානතිලක මූලික පිරිවෙනේ කෘත්‍යාධිකාරි පොලටගම සුනන්ද ස්වාමීන් වහන්සේ වෙත ගොස් කාරණය පිළිබඳ මතක් කර සිටියෙමු.

මෙම විහාරස්ථානය කලක් වැසී ගොස් තිබුණු අතර 2011 වර්ෂයේ මැද භාගයේ විහාරස්ථානයට වැඩම කළ වර්තමාන විහාරාධිපති පොලටගම සුනන්ද ස්වාමීන් වහන්සේ එදා සිට අද දක්වා වූ පුරා වසර හතක කෙටි කාලය තුළදී විහාරස්ථානයත් විහාරස්ථානයට අයත් දායක පවුල් 250ගේ පමණ ජනයාගෙත් හිත සුව පිණිස විවිධ ආගමික හා ශාසනික වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ප්‍රදේශය පුරා ප්‍රබෝධයක් ඇති කිරීමට උන්වහන්සේ කටයුතු කළහ. විහාරස්ථානයකට අවශ්‍ය භෞතික සම්පත් ටිකෙන් ටික සපුරා ගන්නා ලද අවස්ථාවේදී බුද්ධ ශාසනය තවදුරටත් ඉදිරියට චිරාත් කාලයක් පවතින්නට කුල දරුවන් පැවිදි කිරීමටද උන්වහන්සේ මූලික කර ගත්තේය.

බොහෝ පිරිසක් අතහැර දමා තිබූ විහාරස්ථානය යළි ගොඩනැඟීමට කටයුතු කරන අවස්ථාවේ විවිධ ප්‍රදේශවලින් හිතවතුන්ගේ මාර්ගයෙන් කුල දරුවන් විහාරස්ථානයට ගෙන්වා පසුව ඔවුන්ගේ බලවත් ඉල්ලීම පරිදි පසුගිය කාලය තුළදී ගම් හතරක ජෝඩු හතරක අයිය - මලෝ අට දෙනා ඇතුළු පහළොස් නමක් මේ වන විට පැවිදි කිරීමට උන්වහන්සේ සමත් වී ඇත.

පසුගිය කාලය තුළදී හපුවිට පවරනාථ, හපුවිට උපේඛාජීව, බණ්ඩාරවෙල සද්ධාජීව, බණ්ඩාරවෙල මුදිතාජීව, දමුණුපොළ වජිරනාථ, දමුණුපොළ සුමිත්ත හා මහනුවර අරත්තන සුධීරලංකාරජීව, මහනුවර අරත්තන පඤ්ඤාලංකාරජීව යන ගම් හතරක අයියා - මලෝ ජෝඩු හතරක් පසුගියදා එලෙස අට දෙනෙක් පැවිදි කර ඇත. මෙලෙස පැවිදි වී විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටින උන්වහන්සේ දැනටමත් සිය පිරිවෙන් අධ්‍යාපන කටයුතුත් විහාරස්ථානයේ ආගමික කටයුතු බණ පිරිත් හා කාව්‍යමය ධර්ම දේශනාවල නැඹුරුව වැඩ වාසය කරමින් සිටිති.

අලුයම බුද්ධ වන්දනාවෙන් පසුව විහාරාධිපති හිමියන්ට සියලු සාමණේර ස්වාමීන් වහන්සේ වැඳ නමස්කාර කර දිනයේ ආශීර්වාද ලබා ගනිති. පසුව පහළොස් නම ම උදේ හීල් දානය වැළඳීමෙන් පසු විහාරස්ථානයේ සංවර්ධන කටයුතුවල යෙදෙන බව විහාරාධිපති හිමියෝ පැවැසූහ.

දහවල් දානයෙන් අනතුරුව පිරිවෙන් බලා වැඩම කරන ස්වාමීන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු යළි විහාරස්ථානයට වැඩම කර බණ දහම් පොත් පත් පරිශීලනය කරති. ස්වාමීන් වහන්සේගේ අනාගත අභිවෘද්ධිය කෙරෙහි විහාරාධිපති හිමියන්ට ඇත්තේ බලාපොරොත්තු රාශියකි. එම බලාපොරොත්තු මල්පල ගන්වන තෙක් උන්වහන්සේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට අවශ්‍ය සියලුම දේ සපයමින් නිහඬව බලා සිටිති.

පොලටගම සුනන්ද ස්වාමීන් වහන්සේ මෙසේ පැවැසූහ.

දැනට ස්වාමීන් වහන්සේ 15 නමක් පැවිදි බව ලබා අසල්වැසි විහාරස්ථානවල සියලු ආගමික හා ශාසනික කටයුතුවලටද වැඩම කරවීම මම භාග්‍යයක් කොට සලකනවා. මෙම ස්වාමීන් වහන්සේ අතර දමුණුපොළ කෙහෙල්වල ප්‍රදේශයේ අයියා - මලෝ දෙන්නෙක් පැවිදි වී සිටිනවා. මේ දෙනමගේ අම්මා කුඩා කාලයේ දාලා ගිහිල්ලා පස්සේ තාත්තා තමයි දරුවෝ දෙන්නා හදාගෙන තියෙන්නේ. තාත්තත් ගසකින් වැටිලා මිය ගියාට පස්සේ මට මේ සිද්ධිය ආරංචි වුණා. මම මෙම දරුවෝ දෙදෙනා සොයාගෙන ඔවුන් පදිංචිව සිටි නිවෙසට ගියා. ඥාති නිවෙසක සිටි දරු දෙදෙනා මම අරගෙන ඇවිල්ලා දමුණුපොළ වජිරනාථ හා දමුණුපොළ සුමිත්ත කියා පැවිදි කළා.

මෙම දෙනමගේ අම්මා මේ ළඟදී මේ පන්සලට ඇවිල්ලා තියෙනවා. මම ඒ වෙලාවේ පන්සලේ සිටියේ නැහැ. නමුත් පොඩි හාමුදුරුවෝ දෙන්නා කියලා තියෙනවා අම්මට ඔයාව අපි හඳුනන්නේ නෑ කියලා. පස්සේ අම්මා ආපසු ගිහිල්ලා.

මගේ අරමුණ මේ සියලු ස්වාමීන් වහන්සේට ධර්ම ඥානය ලබා දෙමින් බුද්ධ ශාසනයට වැඩදායී සඟ පරපුරක් බිහි කිරීමයි. උන්වහන්සේට පරිහරණය කිරීම සඳහා සංඝාවාස ගොඩනැඟිල්ලක් හා වැසිකිළි පහසුකම් නොමැති බවත් විහාරාධිපති හිමියන් පැවැසීය. යම් පින්වතෙක් උදව්වක් හෝ උපකාරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් 077-1651958 යන දුරකථනයෙන් විමසා බැලීමට හැකි බව විහාරාධිපති හිමියෝ පැවැසූහ.

දමුණුපොළ - චමින්ද ජයලත්