රෝගීන් 100 දෙනෙකු ඝාතනය කළ බව පිළිගත් හෙද නිලධාරියා

තමා සේවය කළ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කළ බව පැවැසෙන බිහිසුණු දාම ඝාතකයකු (සම්බන්ධයෙන් ආරම්භ වූ නඩු විභාගයක් පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත්තේය.  නීල්ස් හෝගල් නමින් හැඳින්වෙන මෙම ජර්මන් ජාතිකයා හෙද නිලධාරියෙකි. ඔහුගේ වයස අවුරුදු 41 ක් බව ද සඳහන් වේ. පසුගිය දා ඔහුට එරෙහිව ඇරඹුණු නඩු විභාගයෙහි ආරම්භයේදීම ඔහු තමා අතින් රෝගීන් 100 දෙනකු මිය ගිය බව පිළිගෙන තිබිණි. මේ අනුව ඔහු මෑත ඉතිහාසය තුළ වාර්තා වූ දරුණුම දාම ඝාතකයකු ලෙස සැලකේ. ඔහු මේ ආකාරයෙන් රෝගීන් මරා ඇතැයි සැලකෙන්නේ උතුරු
ජර්මනියේ පිහිටි රෝහල් දෙකක සේවය කරමින් සිටි කාලයේය. ඔල්ඩන්බර්ග් සහ ඩෙල්මන්හර්ස්ට් යන ප්‍රදේශවල මෙම රෝහල් පිහිටා ඇති බව වාර්තා වෙයි.

හෝගල්  රෝගීන් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූයේ  ඔවුන්ගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන බෙහෙත් එන්නත් කිරීම මගිනි. මෙහිදී ඔහුගේ අරමුණ වී ඇත්තේ හෘදය වස්තුව අඩපණ වන රෝගීන් සිය සගයින් ඉදිරියේ  නැවත පණ ගැන්වීම මගින් සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීම හා ඒ හරහා වීරයකු බවට පත් වීමයි. සමහර රෝගීන් මේ ආකාරයෙන් පණ ගැන්වීමට හැකි වුව ද බොහෝ දෙනකු මෙහිදී මරණයට පත් වී ඇති බව සඳහන් වෙයි.

නීල්ස් හෝගල්ගේ මෙම ක්‍රියා මුලින්ම අවධානයට හසු වූයේ මෙයට වසර 13 කට පෙර ය. එනම් 2005 වසරේය. ඔහු එක්තරා රෝගියකුට ඉහත කී ආකාරයෙන් බෙහෙතක් එන්නත් කරමින් සිටිය දී එය වෙනත් හෙද නිලධාරියකුට හසු වී තිබිණි. කෙසේ නමුත් එම අවස්ථාවේ අදාළ රෝගියා නැවත පණ ගන්වා ගැනීමට ද හෝගල් සමත් වීම නිසා ඔහුගේ ජීවිතය බේරිණි. හෝගල්ට එරෙහිව මුල් වරට නඩු පැවරුණේ මෙම අවස්ථාවේය. එම නඩුවෙන් පසු, මිනීමැරීමට තැත් කිරීමේ වරදට ඔහුට වසර හතහමාරක සිර දඬුවමක් නියම විය. මෙම නඩු විභාගයට මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ලැබිණි. මෙය දුටු එක් කාන්තාවක් ඔහුට එරෙහිව තවත් පැමිණිල්ලක් කිරීම සඳහා පෙරට ආවාය. මෙම කාන්තාවගේ මව ද හෝගල් එකල සේවය කරමින් සිටි රෝහ‍ලේ ප්‍රතිකාර ගනිමින් සිට ඇත. ඇය ද එසේ  ප්‍රතිකාර  ගනිමින් සිටිය දී මරණයට පත්ව තිබුණාය. ඉහත කී කාන්තාව පැමිණිලි කළේ තම මවගේ මරණය සම්බන්ධයෙන් ද සැකයක් ඇති බවටය. එහි දී මේ සම්බන්ධයෙන් නැවතත්  විමර්ශනයක් කිරීමට එරට විමර්ශන අංශ පියවර ගෙන තිබිණි. එම විමර්ශනය අවසානයේ යළිත් වරක් හෝගල් ට එරෙහිව නඩු පවරනු ලැබිණි. එහිදී මිනීමැරීම සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට අධිකරණය පියවර ගත්තේය. මිනීමැරුම් හයක් සම්බන්ධයෙන් ඔහු මෙහි දී වරදකරු බවට පත් විය.

හෝගල් ඔහුගේ බන්ධනාගාර සගයන්ට සහ මනෝ චිකිත්සකයකුට පවසා තිබූ කාරණා වාගයක් සම්බන්ධයෙන් ද මේ කාලයේ අවධානය යොමු විය. ඔහු පවසා තිබුණේ තමා අතින් තවත් රෝගීන් බොහෝ දෙනකු මරණයට පත් වූ බවයි. මෙම අනාවරණයත් සමග නැවතත් ඉතා පුළුල් මට්ටමේ විමර්ශනයක් ඔහු සම්බන්ධයෙන් දියත් කරනු ලැබිණි. ඔහු, අදාළ රෝහල්වල  සේවය කළ කාලය තුළ මිය ගිය රෝගීන් බොහෝ දෙනකුගේ මළ සිරුරු ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට පවා විමර්ශකයෝ පියවර ගත්හ. එහිදී මළ සිරුරු 130 කට ආසන්න සංඛ්‍යාවක් මේ ආකාරයෙන් නැවත ගොඩ ගෙන පරීක්ෂණ පවත්වා ඇති බැව් වාර්තා වෙයි. එපමණක් නොව මෙම රෝහල්වල වෛද්‍ය වාර්තා ඇතුළු ලියකියවිලි පවා තියුණු පරීක්ෂාවන්ට ලක් කෙරිණි. මෙම විමර්ශනවලින් අනතුරුව රෝගීන් 100 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව යළිත් වතාවක් චෝදනා ගොනු කරන ලදී. දැන් නඩු විභාගය ආරම්භ වී ඇත්තේ මෙම චෝදනා සම්බන්ධයෙනි.

හෝගල් අතින් මිය ගිය රෝගීන් සංඛ්‍යාව මෙයටත් වඩා වැඩි විය හැකි බවට ද අදහස් පළවී තිබිණි. නමුත් මිය ගිය සමහර රෝගීන්ගේ සිරුරු ආදාහනය කර තිබිම නිසා සාක්ෂි තහවුරු කර ගැනීම අපහසු වී තිබේ.
මෙවර නඩු විභාගය පැවැත්වෙන්නේ ඉහත කී ඔල්ඩන්බර්ග් හි උසාවියකය. ඝාතතය වූ  බව පැවැසෙන රෝගීන් බොහෝ දෙනකුගේ ඥාතීන්ද එහි රැස්ව සිටි බව වාර්තා විය. නඩු විභාගය ආරම්භ වී ඇත්තේ මියගිය රෝගීන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පළකිරීමෙන් අනතුරුවය. තමාට එරෙහිව ඇති චෝදනා නිවැරදි ද යනුවෙන් විනිසුරුවරයා විභාගය ආරම්භයේ හෝගල්ගෙන් විමසූ අවස්ථාවේ ඔහු 'ඔව්' යයි පවසමින් එය පිළිගෙන තිබේ. 2000 සහ 2005 අතර කාලය තුළ ඔහු සේවය කළ ඔල්ඩන්බර්ග් රෝහ‍ලේ දී 36 දෙනකු ඝාතනය කර ඇති බවට ද, ඒ ආසන්නයේ ඇති ඩෙල්මන්හර්ස්ට් හි වෛද්‍ය මධ්‍යස්ථානයක දී තවත් 64 දෙනකු ඝාතනය කර ඇති බවට ද මෙවර ඔහුට චෝදනා එල්ල වී තිබේ.

තමා විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් පසුතැවිලි වන බව ද හෝග්ල් එක් අවස්ථාවක ප්‍රකාශ කර තිබිණි. මිය ගිය රෝගීන්ගේ ඥාතීන්ගෙන් සමාව ඉල්ලා තිබූ ඔහු තමාට දඬුවම් ලැබුණහොත් එය මෙම ඥාතීන්ට සහනයක් වනු ඇතැයි ද පවසා ඇත. කෙනකු මිය ගිය සෑම අවස්ථාවකම තමා නැවත මෙවැන්නක් නොකරන බවට අධිෂ්ඨාන කරගත්තත් එම අධිෂ්ඨානය වැඩි කලක් පවත්වා ගන්නට නොහැකි වූ බවද ඔහු සඳහන් කර තිබූ බැව් වාර්තා විය. කෙසේ වෙතත්, මෙවර ආරම්භ වූ නඩු විභාගය අතරතුර ඉහත කී ඝාතන සම්බන්ධයෙන් තවත් බොහෝ අප්‍රකට තොරතුරු අනාවරණය වනු ඇතැයි විශ්වාස කෙරෙන අතර මෙම නඩු විභාගය නිසැකවම විශාල අවධානයක් දිනාගන්නා නඩුවක් බවට පත්වනු ඇත.

නිහාල් පීරිස්


gossip lanka