මේක දවසින් දවස වැරදි හදාගෙන එන ගමනක් – නීටා ප්‍රනාන්දු

අනූව දශකයේ ජාත්‍යන්තර ඇගයීම් ලද එකම රංගන ශිල්පිනිය ඇයයි. සිනමා කලාකෙත ‍පෝෂණය කරමින් රසිකයන් අතර සදා නොමැකෙන ජනප්‍රියත්වයක්  හිමිකර ගත් ඇය ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකි.  ඇය නමින් නීටා ප්‍රනාන්දුය. ඒ නිසාම මෙවර  කතාබහට ඇයට ඇරයුම් කළා.

මොනවද අලුත් තොරතුරු

විසාකේශ චන්ද්‍රසේකරම්ගේ පාංශු චිත්‍රපටයට වගේම දිනුක ගුණතිලකගේ අලුත් නිර්මාණයට මම සම්බන්ධ වුණා.

ඔබ සිනමාවට ප්‍රවිෂ්ට වන්නේ 1965 වර්ෂයේ ළඳක මහිම චිත්‍රපටය තුළින්. කොහොමද ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ?
ජෙයරාජ් ප්‍රනාන්දු කියන මගේ මාමා කෙනෙක් චිත්‍රාගාරයේ නිෂ්පාදන අංශයකයි වැඩ කළේ. ඔහු මාව ඒ චිත්‍රාගාරයට හඳුන්වලා දුන්නා. එතනින් තමයි මගේ සිනමාවට අඩිතාලම වැටෙන්නේ.

රංගනයට එකතුවෙනවට ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?
විරුද්ධ වුණා. අම්මා මුල ඉඳන්ම  අකමැති වුණා. තාත්තාගේ සහයෝගයක් තිබුණා. හැබැයි ඔහුත් අවසර දුන්නේ එක චිත්‍රපටයක විතරක් රඟපාන්න කියලා.  අවුරුදු දෙක තුනක් චිත්‍රාගාරයේ හිටියා. ළඳක මහිම චිත්‍රපටයෙන් පස්සෙ චිත්‍රපට හතරක් පහක් කළා.  ඊට පසුව දිගටම චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා.

මේ වෙනකොට  සිනමාපට කීයකට රංගනයෙන් දායක වෙලා තියෙනවද?
හැටකට විතර රංගනයෙන් දායකවෙලා තියෙනවා.

ඒ අතරින් ඔබ කැමතිම චිත්‍රපටත් ඇති?
එහෙම එකක් කියන්න බැහැ.  මම කරපු හැම චරිතෙකටම  මම ආදරෙයි. ප්‍රේක්ෂකයන්ට මතක තියෙන චරිතවලට මම කැමතියි. ළසඳා, පික්‍පොකට්, මංගලා, ශාන්ති කියන චිත්‍රපට මිනිසුන්ගේ හදවතේ රැඳිලා තියෙනවා. දුහුල් මලක් චිත්‍රපටයට මගේ ජීවිතයේ විශේෂ ස්ථානයක් හිමිවෙලා තියෙනවා. පවුරු වළලු චිත්‍රපටයේ වයලට්ගේ චරිතෙට තමයි අන්තර්ජාතික සම්මානය ලැබුණේ. ඒ හැම චරිතයකටම මම ආදරෙයි.

ඔබට එදා සිනමාවේ සිටි දැවැන්තයන් එක්ක වැඩ කරන්න ලැබුණා. කොහොමද ඒ අත්දැකීම?
සතුටුයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැමදාම අපිට අලුත් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය එක්ක වැඩ කළා. ඒ වගේම පියදාස ගුණසේකර, ඩගී ජයවර්ධන, ඩී.ආර්. නානායක්කාර, රෝයිද සිල්වා යන දැවැන්තයෝ එක්ක වැඩ කළා. ඇත්තටම හරි වාසනාවන්තයි අපි.

ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ හිතුවද මිනිසුන් අතර මතකයේ රැඳෙන තරුවක් වෙන්න පුළුවන් වෙයි කියලා?
එහෙම හිතුවද කියලා මතක නැහැ. හැබැයි විවිධ චරිත නිරූපණය කිරීමේ ආසාව ගොඩක්ම තිබුණා. මම චිත්‍රපට රඟපානව අම්මත් එක්ක ගෙදර එනවා. චිත්‍රපට ජනප්‍රිය වෙද්දී මම ලංකාවේ හිටියේ නැහැ. මම කැනඩාවට ගියා. මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට හතළිස් ගණනක් තිරගත වුණ නිසා ලංකාවේ හිටියා වගෙයි දැනුණේ.

ආපස්සට හැරිලා බලද්දී මොනවද හිතෙන්නේ?
අපි වාසනාවන්තයි කියලා හිතනවා. අපිට උපරිමයෙන් චරිත කරන්න ලැබුණා. ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් අපට ලැබුණා.  මේ ගමන අමාරුවෙන් ආවේ.  දවස ගාණේ ඉගෙනගෙන වැරදි හදාගෙන  තමයි අපි මේ ගමන එන්නේ. තවමත් අපි ඉගෙන ගන්නවා. අධ්‍යක්ෂවරුන්ගෙන් නළු නිළියන්ගෙන් ප්‍රවීණයන්ගෙන් ලැබුණු දේවල් එක්ක රංග  පාසලකට ගියා වගෙයි දැනුණේ.  අපි හොඳින් ඒ දේවල් කළා. ඒ ගැන හිතද්දි ලොකු සතුටක් තියෙන්නේ.

ඔබේ ජීවිතයේ සතුට රඳාපවතින්නේ වෘත්තිය ජීවිතයේ සාර්ථකත්වය මතද?
එක්තරා විදියකට ඔව්. අපි වෘත්තියක් කරගන්නව නම් ඒ දේ සාර්ථක නැත්නම් අපිට හිතෙනවා මේ දේ අපරාධයක් කියලා. සාර්ථකත්වයක් නැත්නම් කනගාටුවක් විතරයි තියෙන්නේ. ජීවිතයේ සීයට පනහක්ම සතුට තියෙන්නේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය මත කිව්වොත් හරි.

සමාජයේ කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් වීම ගැන මොකද හිතෙන්නේ?
හරි සතුටුයි. එහෙම වෙන්න ‍ලේසි නැහැ. කොයි දෙයක් කළත් සමාජය බලනවා. අපට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අමාරුයි. නමුත් මම සාමාන්‍ය සරලව ජීවත් වෙනවා. අපිට සමාජයට බයෙන් ජීවත්වෙන්න බැහැ. නමුත් අපි වැරදි කරන්න බය වෙන්න ඕන. අනෙක අද ගොඩක් බොරු ප්‍රචාරය වෙනවා. නමුත් මම මගේ නමට හානියක් කරගෙන නැහැ.

ලැබුණු ජනප්‍රියත්වය කරදරයක් වුණේ නැද්ද?
කරදරයක් නම් වුණේ නැහැ. ප්‍රේක්ෂකයයි අපිව එතනට රැගෙන යන්නේ. අපේ සාර්ථකත්වය නිසයි ජනප්‍රියත්වය ලැබෙන්නේ. මේ ගමන  යන්නේ අපි ප්‍රේක්ෂකයා එක්ක. අපිට හැමදාම වටින්නේ ප්‍රේක්ෂකයෝ. ඒ දේවල් සාමාන්‍ය දෙයක්.

වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
කියන්න දෙයක් නැහැ. මොකද මේ ක්ෂේත්‍රයේ අර්බුද ගොඩක් තියෙනවා. පිළිවෙළක් නැතිව අද චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා. මගේ චිත්‍රපට ගැන ‍නෙවෙයි. චිත්‍රපට පෙන්වීමට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි.

පුංචි තිරයෙන් ඈත් වෙලාද?
එහෙමම නැහැ. හොඳ නිර්මාණ ලැබුණොත් භාරගන්නවා. තුසිත ද සිල්වාගේ සමනල දඩයම කියන ටෙලිනාට්‍යය ඉදිරියේ රූපවාහිනියේ විකාශය වේවි.

ඉඩ ලැබෙන හැම වෙලාවකදීම නිර්මාණ රස විඳිනවද?
ඔව් නිතරම චිත්‍රපට නරඹනවා.  අනෙක් අයගේ රංගන අනන්‍යතාව ගැන බලන්න මම කැමතියි. ඒ හැම කෙනාගේම අනන්‍යතාවට මම ගරු කරනවා.

රංගනය හැරුණු කොට ජීවිතයේ සතුටුවෙන  වෙනත් දේවල් මොනවද?
මම ලස්සනට ගේදොර පිළිවෙළට තියාගන්න ආසයි. උයන්න ආසයි. ස්වභාව ධර්මයත් එක්ක මම ජීවත්වෙන්න කැමති කෙනෙක්. එළවළු මල් මම මගේ වත්තේ වවලා තියෙනවා.

විවේකයක් ලැබුණහම කොහෙද යන්න කැමති ?
ලංකාවේ ඇතුළේ ගොඩක් ආසයි ඇවිදින්න. කතරගම, අනුරාධපුර ඇවිදින්න ආසයි. චිත්‍රපටවල ෂූටින්වලට ගියහම ලංකාව පුරාම යන්න අවස්ථාව ලැබෙනවා. ලංකාවෙ කොහේ ගියත් මම දවස් දෙක තුනකට වඩා ඉන්න කැමති නැහැ. ගෙදර ඉන්න කැමතියි.

ඒ කාලයේ තරුණයන්ගෙන් විශාල ආකර්ෂණයක් ලැබෙන්න ඇති නේද?
ඒක සාමාන්‍ය ස්වාභාවික දෙයක්.

රූපය වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දැක්වුවාද?
මම මහත් වෙන්න හරි බයයි. මම ‍පොඩිකා‍ලේ ඉඳන්ම ව්‍යායාම කරනවා. මට වත්තේ වැඩකරන්න ඕන දාඩිය  දානකම්ම. ඒක ලොකු සතුටක්. හැමදාම මම ව්‍යායාම කරනවා. නිරෝගිකම පවත්වාගෙන යන්න. අපි නිරෝගීව හිටියොත් තමයි රූපය ලස්සනට තියෙන්නෙ.

අධ්‍යක්ෂණයට යොමුවෙන්න අදහසක් නැද්ද?
එහෙම නම් අදහසක් නැහැ. ඒ දේවල් විශාල අධ්‍යයනයක් කරන්න ඕන. අධ්‍යක්ෂවරයා හැම චරිතයකම ජීවත්වෙන පුද්ගලයා. ඒ දේ අපහසු දෙයක් වගේම ලොකු කාර්යභාරයක්. ඒ නිසා  අධ්‍යක්ෂණයට යොමු වෙන්න නම් අදහසක් නැහැ.

වෘත්තීය ජීවිතයේ වගේම පුද්ගලික ජිවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?
හැමෝටම ප්‍රශ්න තියෙනවා. මට ‍පොඩ්ඩක් ඇත්නම් තරහ යනවා. ඒත් එයා හරියට ඉවසනවා. අපි අතර ලොකු සම්බන්ධතාවක් තියෙනවා.  අපි ප්‍රශ්න  විසඳගන්නවා. කතා බහ කරලා. එහෙම තමයි අපි අපේ ගැටලු විසඳගන්නේ. ඒ දේ වෘත්තීය ජීවිතේදිත් එහෙමයි.

ඔබ විවාහයත් එක්ක රංගනයෙන් ඉවත්වෙනවා.  ඒ කාලය ගැන පසුතැවීමක් නැද්ද?
එහෙම කවදාවත් පසුතැවෙන්නේ නැහැ. හැමදාම මගේ මහත්තයගේ සහයෝගය මට තිබුණා. චිත්‍රපට ගොඩක් කරන්නත් මූලිකම හේතුව මගේ මහත්තයාගේ සහයෝගය. එක දවසකදි මේ දේවල් අතහැරලා එනවද කියලා මගෙන් ඇහැව්වා. මම ඔව් කිව්වා. එයාට කැනඩාවට යන්න ඕන වුණා. මාත් ඔහුත් සමග ගියා. කනගාටුවක් තිබුණා යනකොට. ඒත් මම ගියේ මගේ පවුල් ජීවිතය වෙනුවෙන්. අවුරුදු දහඅටකට විස්සකට පස්සේ ලංකාවට ආවා.

කවුද ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නේ?
ඔව්. අපි විවිධ උත්සවවලදී හමුවෙලා කතාබහ කරනවා. එක එක්කෙනාගෙ ගෙවල්වල යන්නෙ නැහැ. එදා තිබුණු  හිතවත්කම් තවම තියෙනවා.

මොනවද ජීවිතයේ ඉදිරි බලා‍පොරොත්තු?
හෙට අපේ ‍නෙවෙයි අද දවස විතරයි අපේ. අද කරන දේ මම හරියට කරනවා. දෙවියන්ගෙන් මම ආශිර්වාද ගන්නවා. අද දවස මට දුන්නට ස්තූතියි. හෙට දවස ගැන බලා‍පොරොත්තුවක් තියෙනවා.

තිළිණි කරුණාරත්න

gossip lanka