"මට වැඩියෙන්ම දුක හිතුණෙ මං බැරි කෙනෙක් කියලා ලේබල් කරන කොට" - ඔරලෝසු අලුත්වැඩියා කරන දිරියවන්ත යුවතියකගේ සංවේදී කතාව - Photos

නිශා සරීෆ්ගේ මවුපියන් කදිම නිල්වන් දෙනෙතක් ඇති හුරුබුහුටි සිය දියණිය පිළිබඳව ආඩම්බර වූ නමුත් ඔවුන්ගේ කම්පාවට හේතුව වූයේ සිය පුංචි රුවැත්තිය ඉණෙන් පහළ අප්‍රාණික හා එහෙයින් අනාගතයේ සමාජ අනුකම්පාව මත දිවිගෙවිය යුතු වෙතැයි කල්පනා කළ බැවිනි. උපන්ගෙයි විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තියක වූ නිශා භාජන වූයේ අනුකම්පාවට පමණක් නොවේ. විශේෂ අවශ්‍යතා සහිත බව හේතුවෙන් පාසල් අධ්‍යාපනය පවා අහිමි වූ ඇය නොසලකා හැරීම් හා තමන් පිළිකුල් කිරීම හමුවේ පන්නරය ලැබුවාය.

නිශාගේ තිර අදිටන වූයේ ඒ පන්නරය තුළින් අනුකම්පාව වෙනුවට අවස්ථාව ලබන ස්වශක්තියෙන් නැඟීසිටින්නියක් බවට පත්වීමයි. ඒ සඳහා ලැබෙන ඇගේ ජීවන ගමන වෙනස් කරන අවස්ථාව වූයේ රාගම ආබාධිත පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වසර දෙකහමාරක වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට ලැබීමයි.

එහි ඔරලෝසු අලුත්වැඩියා කිරීමට අතිරේකව අහිමි වූ පාසල් අධ්‍යාපනය දිනාගනිමින් ලිවීම හා කියවීමේ හැකියාවද ඇය හිමිකරගත්තාය.

ඉන්පසුව මහනුවර අම්පිටියේ සිය නිවසේ ඉස්තෝප්පුවේ කොනක පුංචි කාමරයක් සාදාගන්නා ඇය ආරම්භ කළ "නිශා වොච් රෙපයාර් සෙන්ටර්" කෙමෙන් දියුණු කරගත් මේ දිරියවන්තිය මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම අසල තවත් ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කළාය. මාසික වැටුපකට සහායකයෙක් ලෙස තමන් වැනිම විශේෂ අවශ්‍යතා සහිත අයෙක් ඊට එකතු කරගත්තේ ඒ වනවිට විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිණියක බවටද පත්ව සිටි නිසාය. ඒ උදෙසා පිහිටුවා ගෙන ඇති අපේ අයිතිය සංවිධානයේ සභාපතිනි ඇයයි. විශේෂ අවශ්‍යතා සහිත ජනයා අතර ආදර්ශයක් බවට අද වනවිට පත්ව සිටින නිශා තමන්ට ලැබෙන සෑම අවස්ථාවකම සමාජයෙන් ඉල්ලා සිටින්නේ තමන් වැනි අයට අනුකම්පා නොකරන ලෙසයි. ඇගේ පිළිගැනීම වන්නේ අවස්ථා ලැබීම හා මානව ගරුත්වය මගින් විශේෂ අවශ්‍යතා සහිත ජනයාගේ ජීවිතවලට සාධාරණය උදාවන බවයි.

"මං හිතනවා මගේ කතාව කාට වුණත් අහගෙන ඉන්න වටින කතාවක් කියලා මම මහා ලොකු කෙනෙක් නොවුණත්. මොකද මම සැලකිය යුතු කෙනෙක්."

මහනුවර අම්පිටිය හන්දියේ හරිමැදට වන්නට පිහිටා ඇති බෝ රුකට යාබද නිවෙස් දෙකකට එහා පිහිටා ඇති ඇගේ නිවසේ වැරැණ්ඩයේ පුටුවකට වාරුව සිටි නිශා එසේ සිය කතාව ආරම්භ කළාය. පිරිසිදු හා චාම් වැරැණ්ඩයේ ගෙබිම රතු පැහැයෙන් ඔප දමා ඇත. පසෙක ටීපෝවක පැරණි වෑර්ලස් යන්ත්‍රයක් හා මල් බඳුනෙකි. බිත්තිය සැරසෙන්නේ ශුද්ධ වූ මැකා හා මදීනාවේ දර්ශන රැගත් සැරසිලිවලිනි. ඇය මුසල්මානු පවුලකට දාව උපන්නේ ලස්සන සිඟිති දැරියක ලෙස මවුපියන් ප්‍රීති ප්‍රමෝදයට පත් කරවමිනි. එහෙත් ඇය වැඩෙද්දී මවුපියන්ට සිදුවූයේ අල්ලා දෙවියන්ට යාඥා කරන්නටයි.

"ඇත්ත තමයි එයාලා හැමදාම අල්ලාට යාඥා කරන්න ඇති මං ගැන. මොකද උපදින වෙලාවෙ මගේ ස්නායු රැහැන් ගුළියක් වගේ පිටට නෙරලා තිබිලා පිටකොන්දෙ කෙළවරින්. ඒකට සැත්කමක් කළා. ඒත් එදා මෙඩිසින් අද වගේ දියුණු නැහැ. ඒකෙ ප්‍රතිඵලය මං ඇවිදින්න බැරි දරුවෙක් බවට පත්කරපු එක."
එය ඇගේ දෛවය මිස කාගේත් වරදක් ලෙස ඇය අදත් සිතන්නේ නැත. එහෙත් ඒ අතීතය පිළිබඳ නිශාට ඇත්තේ අමිහිරි මතකයකි.

"මට තේරුණා අනික් අයට ලැබෙන දේවල් මට අහිමි වෙලා තියෙනවා කියලා. මගේ අක්කලා ඉස්කෝලෙ යද්දි මං අම්මාගෙන් ඇහුවා ඇයි මට ඉස්කෝලෙ යන්න බැරි අම්මෙ කියලා. අනේ එයාට උත්තරයක් තිබ්බෙ නෑ. මගෙ තාත්තත් බොහොම පුංචි රස්සාවක් කළේ. සමහර විට මගේ අනාගතය ගැන තාත්තට බය හිතෙන්නත් ඇති."

ඇය අක්කලාගේ සුදුගවුම් හැඳ පාසල් යන දැරියක සේ තමන් සමඟම සෙල්ලම් කළාය. අසීරුවෙන් මිදුලට පැමිණ අහස හා වටපිටාව දෙස බලා තනිවම සතුටට පත්වූවාය.

"ඔය මුල්ම කාලෙ මට බිත්තියක් එහෙම අල්ලන්නෙ නැතිව යම්තම් ඇවිදින්න පුළුවන්කම තිබුණා. ඒත් හදිසියෙම වැටුණට පස්සෙ ඒ පුළුවන්කමත් නැති වුණා. අම්මා මාත් එක්ක වැඩිපුර හිටියෙ ඉස්පිරිතාලෙ වගේ මට මතක."

ඒ පුංචි සන්දියේ මතකය තුළ ඇය නිවසේදී වැඩිපුරම ලැබුවේ අනුකම්පාවය. මව්පියන් හා සහෝදර සහෝදරියන් ඇයට සැලකුවේ එයා බැරි එකී යන මනෝභාවයන් පෙරටු කරගනිමිනි. සමවයස් දරු දැරියන් අතරින් කෙනෙකු දෙන්නෙකු පමණක් ඇයට කෙළිසෙල්ලමට ආරාධනා කළ නමුත් වැඩිදෙනෙකු ඇගේ නොහැකියාව පෙරටු කරගනිමින් නොතකා හැරීම් සිදු කළහ.

තමන් විශේෂ අවශ්‍යතා සහිත යුවතියක හා ඉන්පසුව විශේෂ අවශ්‍යතා සහිත ගැහැනියක බවට පත්වන්නට නියමිත බව ඒ වනවිටත් මනාව අවබෝධ කරගනිමින් සිටි නිශා සරීෆ් ඉන් කම්පා නොවී ලැබෙන දෙයක් බාර ගැනීමේ සූදානමින් හිත හදාගනිමින් සිටියාය.

"මං දැනගෙන හිටියා මට ලැබෙන්න නියමිත දේ. ඒ ගැන මට කම්පාවක් තිබුණෙම නෑ. මොකද මං හුරුවෙමින් හිටපු නිසා. හැබැයි මට දුක හිතෙන්න තරම් පීඩනයක් දැනුණු දේවල් තිබ්බා. ළමයි සමහරු මාව සෙල්ලමට ගත්තෙ නෑ. සමහර වැඩිහිටි අය මාව පිළිකුල් කළා. ඒ අය කිව්වා ඔයාට බෑනෙ. ඔයා පැත්තකට වෙලා ඉන්න කියලා. මට මතකයි ළඟපාතම මගේ එක නැන්දා කෙනෙක් හිටියා. එයා මාව එයාලගේ ගෙට ගත්තේ පිටිපස්සෙ දොරින්. සමහරවිට මේ හැමෝම හිතන්න ඇති මං වැරදීමකින් මේ ලෝකෙට ආවා කියලා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මට දඬුවමක් දීලා කියලා. මට වැඩියෙන්ම දුක හිතුණෙ මං බැරි කෙනෙක් කියලා ලේබල් කරන කොට."

නිශාගේ බැරිකම ලෙස වැඩිහිටියන් හඳුනාගත් කුමක් හෝ දෙය නිසා ඇයට අහිමි වන වටිනාම දෙය පාසල් අධ්‍යාපනය ලැබීමේ වරමයි. ඇය කල්පනා කළේ මවුපියන් නැති කලෙක තමන්ට මුහුණ දෙන්නට සිදුවිය හැකි බිහිසුණු ඉරණම ගැනයි.

"මගෙ තාත්තා පුළුවන් විදියට මට කන්න බොන්න බේත්හේත් ටික දුන්නා. ඒත් මට ඕන වුණා අනාගතයේ අම්මා තාත්තා නැති කාලෙක මට මොකක්ද වෙන්නෙ කියලා කල්පනා කරන්න. ඊටත් වඩා මට හිතුණා ඒ ප්‍රශ්නෙට විතරක් නෙවෙයි තව ප්‍රශ්නවලට උත්තර ලැබෙන්න නම් මම මොනවහරි කරන්න ඕන කියලා."

එහෙත් ඒ මොහොතේ නව යොවුන් වියට එළැඹ සිටි නිශාට කරන්නට කිසිම දෙයක් නොවූයේ ඇය කිසිදා පාසල් අධ්‍යාපනය ලබා නොසිටි නිසාය. නිවෙසට වී පහන් තිර ඇඹරීම හෝ බීඩි එතීම වැනි දෙයකින් සෑහීමකට පත්වෙන්නට ඇගේ සිත සූදානම් නොවීය.

"ඉතිං මම ගෙදර අයට බල කළා මට කොහේ හරි ගිහින් මොනවා හරි ඉගෙන ගන්න අවස්ථාවක් හොයලා දෙන්න කියලා. තාත්තා ඒකට කැමති වුණේම නෑ. එතකොට බැඳලා හිටියෙ නැති අක්කලා ආයෙත් කියනවා. ඔයාට බෑනෙ අපි ඔයාව බලන්නම් ගෙදර ඉන්න කියලා." කිසිවකට හෝ කිසිවෙකුට ඇගේ සිතිවිලි නිද්‍රාවට පත්කළ නොහැකි විය. හොරණ හා මහනුවර ආබාධිතයන් සඳහා පුහුණු අවස්ථා සෙවූ ඇයට දිරිගැන්වීම් ලැබුණු නමුත් අවස්ථා හිමි නොවීය. "මෙහෙමයි අන්තිමේදී මට අපි වගේ අයට ජීවිතය දෙන තැනකට යන්න ලැබුණා. ඒ කියන්නෙ රාගම ආබාධිත පුනරුත්ථාපන මධ්‍යස්ථානයට. මං එහේ ගිහින් සාම්ප්‍රදායික දෙයක් වෙනුවට ඔරලෝසු හදන හැටි ඉගෙන ගන්න හිතුවා. ඒ විතරක් නෙවෙයි අකුරුත් ඉගෙන ගත්තා. අන්තිමට ලියන විභාගෙ පළමුවෙනියා මම. කාර්මික දැනුමත් ලැබුණා. එහෙන් එනකොට ටූල් සෙට් එකක් දුන්නා."

වසර දෙකහමාරක පාඨමාලාව අවසානයේ නිවෙසට පැමිණි නිශා දැන් කුමක් හෝ කරන්නට සූදානම්ය. ඇය නිවසේ තිබුණු ලටපට එකතු කරගනිමින් හා ඇතැම් විටෙක ආබාධිත බව නොසලකා තමන්ම ගල් පවා කඩමින් ඉස්තෝප්පුව කෙළවරෙහි ඉදිකළ කාමරයේ නිශා වොච් සෙන්ටර් ආරම්භ විය.

"මුලදි හරිම අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගත්තෙ. පස්සෙ මගේ දහිරියේ ඇත්ත කතාව නිසාම මට මහනුවර ගුඩ්ෂෙඩ්වල 'නිශා වොච් සෙන්ටර්' අලුත් එකකුත් අරින්න පුළුවන් වුණා." ඒ වනවිට ඇය බලාගන්නම් කියූ අක්කාගේ දරුවන් වෙනුවෙන් කිසියම් දෙයක් කරන හා අම්මා රැකබලාගන්නා තැනැත්තිය බවට පත්වන්නට ඇයට පුළුවන්ව තිබුණි. "මං මගේ මල්ලිටත් මේ දැනුම දුන්නා. තවත් විශේෂ අවශ්‍යතා සහිත කෙනෙක් රස්සාවට ගත්තා. එයා මං නිසා ජීවත් වෙනවා. පස්සෙ මට හිතුණා මං වගේ ඉන්න තව ගොඩක් අය වෙනුවෙන් යමක් කරන්න. ඒකෙ ප්‍රතිඵලය 'අපේ අයිතිය සංවිධානය'.

විශේෂ අවශ්‍යතා සහිත ඇය මේ වනවිට සිය ගණනක් විශේෂ අවශ්‍යතා සහිත ජනයා වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියකි. "මට ඕන වුණේ එක දෙයක් ලෝකයට තේරුම් කරන්න. මෙහෙම හිතන්න, අපි බස් එකට නඟිනවා. ඇත්තයි අපිට එහිදී උදවු ඕන වෙනවා. ඒත් අනේ පව් නේද කියන සානුකම්පිත හැඟීම අපිට ඕන නෑ. අපි පව් ගෙවනවා නෙවෙයි මේ."

නිශා පවසන අන්දමට ලංකාවේ පවතින ආගමික හා සංස්කෘතික චින්තාවන් නිසා ආබාධිත බව සැලකෙන්නේ කරුමය වැනි සංකල්පයන් හා මුසු වූවක් ලෙස ය. අනෙක් අතට ජනයාගේ එවැනි සහවේදනයන් ඇමට යොදාගෙන සිය ආබාධිත බව ජීවන මාර්ගය කරගත් බොහෝ දෙනාද වෙති.

"මේ හිතන විදිය අපිට හරිම වදයක්. දවසක් අපේ අයිතිය රැස්වීමක් ඉවරවෙලා පාරෙ ඉද්දි අපේ අය ගාවට ආපු එක්කෙනෙක් කියනවා එයාගෙ තාත්තගෙ තුන්මාසෙ දානෙ නිසා බත් පාර්සල් ටිකක් තියෙනවා දෙන්න අපි වගේ අයයි හෙව්වෙ කියලා. සමහරු මම නුවර පාරෙ යද්දි රුපියල් දහයක් විස්සක් දෙන්න අහනවා. ඒ වෙලාවට අපේ හිත් හරියට කඩා වැටෙනවා. ඉතිං මම කියන්නෙ අපිට එහෙම අනුකම්පා කරන්න එපා. ඒකෙන් අපිට වෙන්නෙ නරකක් විතරයි."

ඇගේ මේ ප්‍රකාශයෙහි කිසිම සැහැසි බවක් නැත. ඇය තමන් වැනි ආබාධිත ප්‍රජාවට අනුකම්පා නොකරන්නැයි සමාජයෙන් ඉල්ලා සිටින්නේ ගැඹුරු අර්ථයකිනි.

"මේකයි මං මේ කියන දේ ලෝකය හරියට තේරුම් ගන්න ඕන. අපි ඉල්ලන්නෙ අනේ අපොයි කරුමෙක මහත කියන සාම්ප්‍රදායික අනුකම්පාව නෙවෙයි. අපිටත් ගෞරවයක්. අපිටත් මොනවහරි කරන්න අවස්ථාවක්. ගරුත්වය හා අවස්ථාවන් ලබාදීමට පුළුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න. මතක තියාගන්න මං අම්මාව අක්කාව මල්ලිව බලාගන්නවා වගේම තව කෙනෙකුට රස්සාවක් දුන්න කෙනෙක්."

-ලසන්ත ද සිල්වා
රැස

gossip lanka