අහස සූරන මැඳුරු පින්තාරු කරන ලෝකල් නින්ජලා

ඒ කොළඹ නගරයේ ඇති විශාල ගොඩනැඟිල්ලකි. තවත් විදියකට කියනවා නම් එය තරු පහේ දැවැන්ත හෝටලයකි.

මොහොතකින් එම හෝටල වහල මුදුනේ සිට 'ස්පයිඩර්' කෙනකුගේ ස්වරූපයට හුරු පුද්ගලයන් කීපදෙනකු කඹ දිගේ පහළට එනු පෙනිණි.

මේ බිහිසුණු ක්‍රියාවලිය දෙස බලා සිටින්නන් උන්නේ
කුතුහලය මුසු වූ බියකිනි.

මකුළු මිනිසුන් ලෙස කඩිමුඩියේ පහළට ආ මේ පිරිස් ඊළඟට කළේ එම ගොඩනැඟිල්ලේ දැවැන්ත වීදුරු පිරිසුදු කිරීම ඇරැඹීමය.

කවුද මේ ස්පයිඩර්ලා. එහෙමත් නැති නම් මකුළු මිනිස්සු. මේගොල්ලෝ කොහෙන් ආපු කට්ටියක්ද? බලා සිටින්නන්ගේ ගැටලුව අපටත් දැනිණි.
මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට අපි උත්සුක වුණේ ඒ අනුවය.

දැන් අප සිටින්නේ ඒ මකුළු මිනිසුන්ගේ මහගෙදරය.

'මේ විදියට කඹ දිගේ ඇවිත් වැඩ කරන ස්පයිඩර්ලාව මුලින්ම හඳුන්වා දුන්නේ මමයි. මම කාලයක් ඩුබායිවල බි්‍රතාන්‍ය සමාගමකට සම්බන්ධ වී සේවය කළා. එහිදී ඉගෙන ගත්ත විෂය තමයි මම ලංකාවට අරන් ආවේ. ඒ 2005 වසරෙදී.

'දැනට ආසියාවේම මේ විෂය ඉගෙන ගත්ත අය අතරින් 4 වැනියා මම. ඒක මම බය නැතිව කියනවා.' මෙසේ කියන්නේ මකුළු මිනිසුන්ගේ පියා මොහොමඩ් රිස්විය.

ඔහු පවත්වාගෙන යන 'Rope Tech Access Solution' ආයතනය හරහා මේ තීන්ත අලේප කිරීම ඇතුළු උස ගොඩනැඟිලිවල සියලු අලුත්වැඩියා කිරීම් මේ වන විට සිදු කරයි.

රිස්වි පවසන්නේ මේ තාක්ෂණය ලංකාවට රැගෙන ආවෙත් ඔහු කියාය. ඔහු කාලයක් පුරාවට ඉගෙන ගත් ඒ තාක්ෂණය අද තම පුත් රිෆ්ඩි මූලික වී ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පවසයි.

'අපි ළඟ සේවකයෝ 12 දෙනෙක් ඉන්නවා. ඔවුන් මේ වැඩවලට ඉතා දක්ෂයි. ලංකාවේ ඕනෑම උස ගොඩනැඟිල්ලක ඉඳලා පහළට ඇවිත් වැඩ කරන්න ඔවුන්ට පළපුරුද්ද තිබෙනවා. එසේ කීවේ රිෆ්ඩිය.
'තාත්තා ලංකාවට ආවට පස්සේ මමත් අපේ් ඥාතීන් කීපදෙනකුත් තමයි මුලින්ම මේකට සම්බන්ධ වුණේ.'

හැබැයි ඔබ ඇහුව වගේ කොළඹ තිබෙන හිල්ටන්, කිංස්බරි, ටාජ් සමුද්‍ර, ගලධාරි, රමාඩා වගේ හෝටලවල වහල මුදුනේ ඉඳලා ලණු දිගේ පහළට ඇවිත් වැඩ කරන එක ලොකු අභියෝගයක් තමයි. ඒකට එක පාරටම හුරුවෙන්න බැහැ. කාලය අවශ්‍යයි.

තමන්ගේ තාත්තාගෙන් ශිල්පය ප්‍රගුණ කරපු රිෆ්ඩිත් මුල් කාලයේ මේ දිහා බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉන්න කොට චකිතය වගේම ත්‍රාසයත් ඔහුගේ හිතට දැනුණා.
'කාලයක් ඔය විදියට බලාගෙන ඉන්න කොට මට ඒ බිය නැති වුණා. ඊළඟට ආවේ ආසාව. ඒ වගේම මේ දේ මටත් කරලා බලන්න ඕන කියන එක.
ඒ අනුව රිෆ්ඩි සුපරික්ෂාකාරීව මේ රාජකාරියට හුරුවිය. ඒ පළමු අත්දැකීමේදී රිෆ්ඩිගේ සිතට දැනුණු චකිතය වර්තමානයේ නැත. දැන් ඔහුට උස් ගොඩනැඟිල්ලක ස්පයිඩර් කෙනකු ලෙස අවශ්‍ය රාජකාරිය කිරීම සාමාන්‍ය වී ඇත.

දැන් අපි හැමෝටම එහෙමයි. අපි ආරක්ෂාකාරීව, වගකීමෙන් යුතුව අපට පවරන රාජකාරිය කරනවා. කොළඹ නගරයේ උස් ගොඩනැඟිලි හැට එකකම මේ විදියට නඩත්තු කටයුතු කරන්නේ අපියි.
මේ ආකාරයට ත්‍රාසජනක රාජකාරිවල නිරත වී සිටින සේවකයන් ගණන 12කි. ඔවුන් වර්තමානයේ ඔරියන්ට් සිටි ගොඩනැඟිල්ලේ මෙවැනි රාජකාරි සිදුකිරීමට සූදානමින් සිටියි.
'මේ ගොඩනැඟිල්ලේ තට්ටු 38යි. ඒ තට්ටු ගොඩනැඟිල්ලේ එක් තට්ටුවක් එක දවසකට අපි ඉවර කරනවා. අපි තීන්ත ගෑම පමණක් නෙවෙයි, වීදුරු සුද්ද පවිත්‍ර කරන එක වගේම ඕනෑම ඉලෙක්ටි්‍රක් හා ඉදිකිරීම් කටයුතු කරනවා.

රිස්වි පවසන්නේ මේ කාලසීමාව තුළ තමන්ගේ සේවකයන්ට දෙවියන්ගේ පිහිටෙන් කිසිදු අපල උපද්‍රවයක් නොවූ බවය. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ අදාළ සේවකයන්ව මේ සඳහා හොඳින් පුරුදු පුහුණු කිරීමය.
'අපි මේ තාක්ෂණය දෙසට හැරුණොත් ඒක මුලින්ම අත්හදා බලලා තිබෙන්නේ අයිෆල් කුªලුන හදන කොටයි. ඒ අය ඒ තාක්ෂණය සම්බන්ධ කරගෙන තිබෙන්නේ කඳු තරණය කරන අය දිහා බලාගෙන ඉඳලායි.
'ඉතින් කඳු තරණයට හොඳ කඹ අවශ්‍ය වගේම මේ විෂයයටත් එංගලන්තයෙන් ඉතා හොඳ කඹ නිෂ්පාදනය කරනවා. අපි ගෙන්වන්නෙත් ඒ කඹ හා ආරක්ෂක බඳ පටියි.'

රිස්වි හා රිෆ්ඩි පිය-පුතු දෙදෙනා ගෙන්වන කඹ දිගින් මීටර් 200ක් තරම්. ඇතැම් අවස්ථාවලදී ඊට වඩා වැඩි දිගින් යුතු කඹ අවශ්‍ය වුවහොත් ඒවා එංගලන්තයෙන් ඇණවුම් කරයි.

'අපි ළඟට ආපු ගොඩාක් සේවකයෝ මුලින්ම අත්උදවු දෙන අය හැටියට තමයි මේ සේවයට බැඳුණේ. ඊට පස්සේ කාලයක් බලාගෙන ඉඳලා ඊට පස්සේ එයාලම කියනවා කඹ දිගේ ඇවිත් වැඩ කරන්න ඕන කියලා. ඒ අර බිය නැති වෙලා තිබෙන නිසා.

මේ රැකියාව කරන විට අනතුරු සිදු වී නැද්ද? මරාන්තික අත්දැකීම් කොහොමද? ඒවා ගැනත් සොයා බැලීම සුදුසුය. ඒ නිසාම අප ඒ සම්බන්ධව විමසා සිටියේ රිෆ්ඩිගේ පියා රිස්විගෙන්ය.
'නැහැ. එහෙම අනතුරු සිදු වී නැහැ. නමුත් කඹවල එල්ලිලා වැඩ කරන කොට එක පාරටම ධාරානිපාත වර්ෂාවලට නම් මුහුණ දීමට සිදු වී තිබෙනවා. දැන් ඒ වගේ ගැටලුවලට මුහුණ දෙන විදියත් අපේ අය දන්නවා. ඒ වගේම අපි මේ හැම සේවකයෙක්ම රක්ෂණය කොට තිබෙනවා.

'මේ සඳහා අප පාවිච්චි කරන අති විශේෂ කඹවල පොටවල් 12ක් පමණ තිබෙනවා. ඒ කඹවල පොටක් දෙකක් කැඩුණත් අනතුරක් සිදුවන්නේ නැහැ. පරිස්සමට බිමට එන්න පුළුවන්. මේවා ඉහළ තාක්ෂණයෙන් යුතු කඹ.
රිස්වි හා රිෆ්ඩි ළඟ සිටින සියලුම ස්පයිඩර්ලා පළපුරුදු සේවකයන්ය. ඒ මකුළු මිනිසුන්ට උස පළල ගොඩනැඟිලි දැන් ගිනි පෙට්ටි තරමට සාමාන්‍යය.

කුහුඹින්ට ගිනි පෙට්ටිය අතිවිශාල උසකි. මේ තාක්ෂණය නොදත් අපටද ඇත්තේ එවැනි බියකි. එහෙත් රිෆ්ඩිලාට එය වගක් නැත.

'හැමෝම අපෙන් අහනවා මෙහෙම වැඩ කරන්න බියක් නැද්ද කියලා. ඇත්තටම ඒ දිහා කාලයක් බලාගෙන හිටියොත් කාටවත් ඒ බිය දැනෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක් විදියට දැනෙයි.'

'අපිට මේ ලංකාවේ තියෙන ඕනෑම උස ගොඩනැඟිල්ලක් තවත් එක් ගොඩනැඟිල්ලක් විතරයි. වහල උඩට ගිහින් කඹ ගැට ගැහුවම බිමට එන එක අපට ලොකු දෙයක් නෙවෙයි. රිෆ්ඩි සිනාසෙමින් කීවේය.

- මව්බිම


gossip lanka