කෙනාගෙන් කෙනාට ලස්සන වෙනස් - නිලූක්ෂි ප‍්‍රනාන්දු

අපි අද කැන්දාගෙන ආවේ රංගන ශිල්පිනී නිලූක්ෂි ප‍්‍රනාන්දුය. උපතින්ම ලස්සන ඇය අද රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස වෘත්තියෙහි නියැලෙමින් තවත් බොහෝ පිරිසක් ලස්සන කරයි.  පාඨකයන්ට ලස්සනට ඉන්න ලස්සන රහස් ගොඩක් කියපු ඇයගේ කතාව මෙලෙසින් සටහන් තබමු.

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ හිතනවා

ඔව්. කාන්තාවකට ලස්සන අත්‍යවශ්‍යයයි. මෙහිදී මා අදහස් කරන්නේ කාන්තාවකගේ සමේ පැහැය නොවේ. සමේ පැහැය කළු වුණත් රූපය ලස්සන
කාන්තාවන් ඕන තරම් ඉන්නවා. මගේ පෞද්ගලික මතය නම් සෑම කාන්තාවක්ම පිරිසිදුව ප‍්‍රියමනාපව සිටිය යුතුයි කියා. ලස්සන කියන දේ තමාටම ආවේණික දෙයක්. හරියට ඇඟිලි සලකුණ වගේ. හමේ පාට මුහුණේ ස්වභාවය ආදී තමාට උපතින්ම උරුම දේවල් ආරක්ෂා කරගෙන ලස්සන වීමේ සිහිනය සැබෑකර ගැනීමට උනන්දු වීමයි වැදගත් වෙන්නේ. ආසියානුවන් ලෙසට අපේ රටේ දේශගුණයට අනුවයි අපේ සමේ පැහැය සැකසී තිබෙන්නේ. යුරෝපීයන්ගේ සුදු පැහැය අපේ රටේ කෙනෙකුට ලබාගත හැකි වන්නේ නැහැ. වර්තාමනයේ බොහෝ තරුණ දියණිවරු සම සුදු කර ගැනීමට කියා නොයෙකුත් අතුරු ආබාධ සහිත ආලේපන ගැල්වීමට එන්නත් වර්ග ගැනීමට පෙළඹී සිටිනවා. ඇත්තටම මෙය අවදානම්.

තමා තමාවෙලා රූපය ලස්සන කරගන්න කාන්තාවන් උනන්දු වෙනවා නම්, එය වඩාත් ප‍්‍රතිඵලදායකයි. එසේ නොමැතිව අනුකරණවලට යොමුවීමෙන් සිදුවන්නේ තමාගේ ස්වරූපයත් නැති වෙලා මුදලූත් නැති වෙන එක.

සමේ පැහැය ආරක්ෂා කර ගැනීමට ඇෙඟ් හැඩය පවත්වා ගැනීමට ඔබ මොකද කරන්නේ?

මම උපතින්ම එතරම් මහත්වෙන කෙනෙක් නොවේ. ලස්සන රූපයක් දෙමාපියන්ගෙන් උරුම වී තිබෙනවා. මේ කරුණු දෙකම මට පෙර පිනකට ලැබුණ දේවල්. මම කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති නිසා, මම කවදාවත් ජිම් ගිහිල්ලා වෙහෙස වෙලා ඇඟ අඩුකර ගන්න වෙහෙසෙන්නේ නැහැ. අනිත් දේ තමයි රාජ භෝජන තිබුණත් මම කන්න පුරුදු වී තිබෙන්නේ, බඩගින්න නැතිවෙන්න විතරයි. ඒක මට පුංචි කාලේ ඉඳලාම තියෙන හොඳ පුරුද්දකි.

දුව ලැබුණ වෙලාවේදීවත් අසාමාන්‍ය විදිහට මගේ ඇඟ මහත්වුණේ නැහැ. හෝමෝන වෙනස් වීම නිසා ශරීරය පිරුණු බවක් තිබුණා දරු ප‍්‍රසූතියෙන් පස්සේ. එච්චරයි.

සමේ පැහැය ආරක්ෂා කර ගැනීමට සතියකට දින කිිහිපයක් නාලා පිරිසිදු වෙන්න කලිින් අමුකහ ගල්වලා පැය භාගයක් විතර ඉන්නවා. ඉඳලා හිටලා කොහොඹ කොළයි අමු කහයි කොටලා මුළු ඇෙඟ් ගල්වලා පැයක් විතර ඉඳලා හෝදලා දානවා.

සමේ පැහැයට ඉතාම ගුණ පලතුරක් තක්කාලි. හොඳින් ඉදුනු තක්කාලි ගෙඩියක් දිනපතා ආහාරයට ගන්නවා. ඇඹුල් පලතුරුවලටත් මම හරිම කැමතියි. ඒ පළතුරු වලින් ලේ පිරිසිදු වෙලා, සමට දීප්තිමත් බවක් ලැබෙනවා.

වයස අවුරුදු 30 පසුව අපගේ සම වයසට යෑම පටන් ගන්න නිසා, ඒ අවධියේ ඉඳලාම සම ආරක්ෂා කරගන්න උත්සාහ ගත යුතුයි. රාත‍්‍රී මුහුණ සත්කාරයක් ලෙසට ස්වභාවිකව ලබාගත් කෝමාරිකා ජෙල් භාවිතා කරනවා. හොඳින් පිරිසිදු කරගත් මුහුණේ කෝමාරිකා මදය ආලේප කර උඩු අතට පිරිමදින්න. ටික වේලාවකින් සමටම එම ස්වභාවික ආලේපනය උරාගන්න අතර උදෑසන සිසිල් ජලයෙන් මුහුණ සේදීමෙන් සමට මනා ප‍්‍රබෝධයක් ලැබෙනවා. මෙමගින් සම ශක්තිමත් වෙන අතර වයසට යාමේදී ඇතිවන සම රැුළි වැටීම පාලනය වෙනවා. මෙම සත්කාර ඔබත් දින දහයක් නොකඩවා කර බලන්න. අතුරු ආබාධ නැති ස්වභාවික මුහුණු සත්කාරයක් ලෙසට මෙම ආලේපනය භාවිත කළ හැකියි.

මුහුණේ නිතර කුරුලෑ ඇති වනවානම් මද උණුසුම් ජලයට දෙහි බිංදු කිහිපයක් දමා රාත‍්‍රියේදී එම වතුරෙන් මුහුණ සෝදා පිසනොදා නිදාගන්න. උදෑසන මුහුණ පිරිසිදු කරන්න. දින කිහිපයක් කරනකොට කුරුලෑ ඇතිවීම පාලනය වී සම පැහැපත් වේවි. මීට අමතරව දහවල් කාලයේදී එළියට යනවානම් අනිවාර්යෙන්ම අපේ රටේ දේශගුණයට ගැලපෙන හිරු ආරක්ෂණයක් භාවිතා කරනවා. දහවල් කාලයේදී සමේ පෝෂණය වෙනුවෙන් මොයිචරයිසින් ක‍්‍රීම් වර්ගයක් භාවිත කරනවා. දිනකට වතුර ගොඩක් බොනවා.

ඔබට ලස්සන කොණ්ඩයක් තිබෙනවා. වර්තමානය වන විට බොහෝ කාන්තාවන් කොණ්ඩය ආශ‍්‍රිත ප‍්‍රශ්න ගණනාවකට මුහුණදී තිබෙනවා. ඒ වෙනුවෙන් සත්කාර ක‍්‍රමයක් ඔබ භාවිත කරනවාද?

ඔව්. ස්වභාවික නිවසේදීම පිළියෙල කර ගත්ත තෙල් වර්ගයක්් කොණ්ඩයට භාවිතා කරනවා. වර්තමානයේ බොහෝ දියණිවරු, යුවතින් හිසට තෙල් ගල්වන්න අකමැතියි. ඒ නිසාම කොණ්ඩය යාම, අඩු වයසින් කොණ්ඩය සුදුවීම, හිස කෙස් දුර්වර්ණ වීම වැනි ගැටලූවලට මුහුණ දෙනවා. නමුත් දිනකට විනාඩි 20 ක් පැය භාගයක් වෙන් කරගෙන කොණ්ඩයට තෙල් ටිකක් දාලා මසාජ් කරලා සෝදා හරින්න පුළුවන්නම් ලස්සන කෙස් කළඹක් ලබාගැනීම අපහසු නැහැ. නිවසේදීම සකසා ගත හැකි තෙල් වර්ගයක් කියන්නම්. සකස් කරලා භාවිතා කර බලන්නකෝ.

පිරිසිදුව සකසා ගත් තැඹිලි තෙල් හෝ සුදු පොල් තෙල් තමයි මේ සඳහා වඩාත් සුදුසු. මේ තෙල්වලට එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, කලූදුරු කුඩු ටිකක්, උළුහාල් හැන්දක් එක්කර එයට සැවැන්දරා මුල් ටිකක් දමා ලිපේ තබා විනාඩි 5 ක් රත්කර දින 2 ක් පැය 4 බැගින් අව්වේ කැකෑරිය යුතුයි. එහෙම පිළියෙළ කරගත් තෙල් හිසේ ගල්වා මසාජ් කර උණුසුම් කළ තුවායක් හිසේ ඔතාගෙන පැය බාගයක් ඉඳලා ෂැම්පු දමා පිරිසිදු කිරීම ඉතාම සුදුසුයි.

බොහෝ කාන්තාවන් නඟන චෝදනාවක් තමයි අපිට අපේ ගැන හිතන්න වෙලාවක් නැහැ කියලා. ඔබ එම මතය සමග එකඟද?

නැහැ. අනිත් හැමෝම ගැන හිතනවා වගේ තමා ගැනත් හිතන්න කාලයක් වෙන්කර ගන්න. දියණියක්, බිරිඳක්, මවක්, ලේලියක්, ලෙසින් ජීවන ගමනේ විවිධ කඩඉම් පසුකිරීමේදී අපේ වගකීම් යුතුකම් වැඩිවෙනවා හැරෙන්න අඩුවෙන්නෑ. හැම භූමිකාවේදීම කාන්තාව ප‍්‍රියමනාපව, සුන්දරව සිටිනවාට හැමෝම කැමතියි. ස්වාමියා ආසයි බිරිඳ පිරිසිදුව ලස්සනට ප‍්‍රියමනාපව සිටිනවාට. දියණිය කැමතියි අම්මා ලස්සනට ඉන්නවාට. ඒ නිසා දවසේ පැය විසිහතරෙන් පැය භාගයක් දවසකට වෙන්කරගන්න උත්සාහ කරන්න.

නිවසේම සකස් කරගත් ස්වාභාවික අලේපනයක් හරි ගල්වන්න. ටික දිනක් කරනකොට ඔබත් ඉබේම ලස්සන වේවි.

ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක්. බොහෝ කාන්තාවන් තවත් කාන්තාවක් ලස්සන වෙන්න කරන්නේ මොනවාද කියලා කියන්න අකමැතියි. ඔබත් එහෙමද?

අපෝ නැහැ. කවදාවත්ම කෙනෙක් මම ලස්සනට ඉන්න මොනවාද කරන්නේ කියලා ඇහැව්වොත් ලෝභකමක් නැතුව සතුටින් කියනවා. කෙනෙක් ලස්සන කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ ඇත්තටම තමා සතු දුර්වලතාවයක් නිසා කියලයි මගේ හැඟීම. මම රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසට මා ලඟට එන පාරිභෝගිකයන්ට සේවය සපයන්නේ මුදල් උපයනවා කියන පටු අදහසින් නොවේ.

ගන්න මුදලට වඩා වැඩි සේවයක් සැපයීමයි මගේ බලාපොරොත්තුව. කෙනෙක්ව ලස්සන කරලා ලබන සතුට ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැහැ.

ලස්සන කෙනෙකුට ඊර්ෂ්‍යා කළා කියලා අපට කවදාවත් ලස්සන වෙන්න බැහැ. වෙන්නේ ඊර්ෂ්‍යාව නිසා තියෙන ලස්සනත් නැතිවෙලා යන එක.

රූපය ලස්සනට තියාගන්න අධ්‍යාත්මිකව ජීවත් වීමත් වැදගත් නේද?

ඔව්. මම බෞද්ධ ආගමික වතාවත්වලට සෑම දිනකම විනාඩි 10 15 අවම වශයෙන් වෙන්කරනවා. මම හින්දු ආගමටත් ගොඩක් ගරු කරන කෙනෙක්. කිතුණු දේවස්ථානවලටත් යනවා. සෑම ආගමික ශාස්තෘවරයෙක්ම පෙන්වාදී තිබෙන දහමෙන් කියවෙන්නේ යහපත්ව ජීවත් වෙන විදිහ. මනස නිරවුල්ව තියාගන්න සෑම උදෑසනකම සුළු වේලාවක් භාවනාවක යෙදෙනවා. මේ සියලූ කරුණු වලින් සතුටින් සැනසීමෙන් සිටින මග කියා දෙනවා. අධ්‍යාත්මිකව සිත දියුණු කර ගැනීමේදී නොදැනුවත්වම අපි බාහිරිනුත් ලස්සන වෙනවා.

අසුන්තා එදිරිසූරිය. ඡායාරූපය: සඳුන් ගමගේ

gossip lanka