රැකවලුන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් දියත් කර පෙම්වතා, පෙම්වතිය රැගෙන පලා යයි

රැකවලුන්ට මිරිස්‌ කුඩු ගසා පෙම්වතිය පැහැරගත් පෙම්වතකු හෙට දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාවලපිටිය මහෙස්‌ත්‍රාත් ශ්‍රිනික්‌ විඡේසේකර මහතා ඊයේ නියෝග කළා.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කළේ යුද හමුදාවේ සෙබළකු වන හරංගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.

මොහුගේ පෙම්වතිය වූයේ එම ප්‍රදේශයේ පදිංචි පාසලක 11 වසර පංතියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි
ශිෂ්‍යාවක්.

ඇයගේ මවද ප්‍රදේශයේ පාසලක ගුරුවරියක වන අතර මෙම සම්බන්ධයට මව තදින්ම විරුද්ධ වී මීට පෙර නාවලපිටිය පොලිසියේ පැමිණිල්ලක්‌ද කොට තිබුණා.

ඉන් නොනැවතුනු මෙම ගුරුවරිය පාසල ඇරුණ විගස තම දියණිය රැගෙන යැමට ඥතියකුගේ ත්‍රිරෝද රථයකට භාරදී ඇගේ බාල දියණිය හා තවත් ඥති සිසුවකුද එම රථයේ ගමන් කරවීමට සලස්‌වා තිබෙනවා.

මෙම දැඩි රැකවල් නිසා පෙම්වතාට තම පෙම්වතිය දැකබලා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදාවීමෙන් දැඩි කනස්‌සල්ලට ලක්‌ව තිබෙනවා.

ඒ අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ මිරිස්‌ කුඩු ගසා ගැනීමත් සමඟ ඇතිවන තත්ත්වය දුටු පෙම්වතා අලුත් සැලසුමක්‌ සාදා ඒ සඳහා මිතුරන් දෙදෙනකුගේ සහායද ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පෙම්වතිය පාසල් ඇරී ත්‍රිරෝද රථයෙන් නිවසට යමින් සිටියදී පෙම්වතාද සිය මිතුරන් සමඟ ත්‍රිරෝද රථයකින් පසුපස හඹාගොස්‌ පාලු ස්‌ථානයකදී පාර හරස්‌ කොට ත්‍රිරෝද රථයේ සිටි සියලු දෙනාට මිරිස්‌කුඩු ප්‍රහාරයක්‌ එල්ල කොට පෙම්වතිය පැහැරගෙන පලාගොස්‌ තිබෙනවා.

සිද්ධිය දැනගත් මව පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු නාවලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු කණ්‌ඩායමක්‌ එම ප්‍රදේශයට ගොස්‌ පරීක්‍ෂා කිරීමේදී අතරමඟ බස්‌සවා ගොස්‌ සිටි පෙම්වතාගේ මිතුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පලාගිය පෙම් යුවළ සොයා ගැනීමට නොහැකි වූ අතර ඔවුන් දෙදෙනා පුස්‌සැල්ලාව වහුගපිටිය ප්‍රදේශයේ නවාතැන්පළක රාත්‍රිය ගත කොට පසුදා පුස්‌සැල්ලාව පොලිසිය වෙත ගොස්‌ භාරවී ඇති බව සඳහන්.

මිතුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සැලවීම නිසා මොවුන් පොලිසියට භාර වූවද බාලවයස්‌කාරියක පැහැරගෙන යාම හා අතවර කිරීම යන චෝදනා මත පෙම්වතා අත්අඩංගුවට ගෙන නාවලපිටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

පාසල් ශිෂ්‍යාව නාවලපිටිය දිස්‌ත්‍රික්‌ රෝහලට ඇතුළත් කොට ඇති බවයි වාර්තා වන්නේ.