"මට එයාව මුණගැහුණේ ඕස්ට්‍රේලියාවේදී, අපි ආදරේ කරලා තමයි විවාහ වුණේ.." - නදීෂානි නිරුක්ෂිකා - Photos

මගේ නම නදීෂානි නිරුක්ෂිකා. ගම පානදුරේ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අයියලා තුන්දෙනයි මමයි. අයියලා දෙන්නෙක් දැන් විදේශගතවෙලයි ඉන්නෙ. මම තමයි පවුලේ එකම ගැහැනු දරැවා.

ඉගෙනගත්තෙ මොන පාසලේද..?
මම ඉගෙනගත්තෙ පානදුර ශාන්ත ජෝන් මහා විද්‍යාලයෙ. පාසලේදී මම ක්‍රීඩාවට නැඹුරුවෙලයි
හිටියෙ. පාසල් අතර ක්‍රීඩා තරගවලදීත් මම ජයග්‍රහණ ලබලා තිබුණා.

පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද..?
පුංචි කාලේ මගේ හෙද අංශයට ලොකු කැමැත්තක් තිබුණා. හෙදියක් වෙන්න ආසා කළා. ඒ වගේම නැටුම් ගුරුවරියක් වෙන්න අදහසකුත් තිබුණා. නමුත් හිතුවෙවත් නැති ක්ෂේත්‍රයකට මාව යොමු වුණා.

නැටුම් ගුරුවරියක් වෙන්න හීන දැකපු ඔබ මේ ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද..?
නිරූපණ ක්ෂේත්‍රයට මම ආවෙත් අහම්බෙන් වගේ. මගේ යාළුවන්ගේ, දන්න කියන අයගේ මනාලියන් දැක්මවලදී මම මනාලියක් විදිහට කිහිප වතාවක්ම සැරසුණා. සමහර ඒවායෙන් ජයග්‍රහණ පවා මට ලැබුණා. ඒවා දැකලා තමයි මට නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ. ඒක තමයි මගේ මුල්ම රැකියාව වුණේ. ඒකෙ වැඩසටහන් හතරක් මම නිවේදනය කළා. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔය අතරේ මම නිරූපිකාවක් විදිහටත් කටයුතු කළා.

නිරූපිකාවක් වුණු නදීෂානිට රංගනයට එකතු වෙන්නත් අවස්ථාව ලැබුණා නේද..?
ඔව්.. 2014 අවුරුද්දෙදී චිත්‍රපටයක රඟපාන්නත් මට ආරාධනා ලැබුණා. වරිග පොජ්ජ කියන චිත්‍රපටයේ තමයි මම රඟපෑවේ. ඒක අධ්‍යක්ෂණය කළේ තුෂාර තෙන්නකෝන් මහතායි. මාත් එක්ක ඒ චිත්‍රපටයෙ ජගත් මනුවර්ණත් රඟපෑවා. ඇත්තටම ඒක හරි ලස්සන චිත්‍රපටයක්.

වරිග පොජ්ජ චිත්‍රපටයෙන් පසුව ඔබට වෙනත් සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද..?
ආරාධනා නම් ලැබුණා. මම ගෙදර අයියලා තුන්දෙනෙක් මැද හැදෙන නංගි කෙනෙක්නෙ. ඉතින්.. මුලදී මගේ අයියලා මම මේ ක්ෂේත්‍රයට යොමුවෙනවට අකමැති වුණා. ක්ෂේත්‍රයේ ඇතැමුන් කරන වැරදි වැඩ නිසා ඒ අයත් ටිකක් බය වුණා. ඇත්තටම මමනම් මේ ක්ෂේත්‍රයෙන් තවත් ඉස්සරහට යන්න කැමති කෙනෙක්. මේ වගේ ක්ෂේත්‍රයක ඉන්න ලැබීමත් වාසනාවක්. මගේ අම්මා මගේ සෙවණැල්ල වගේ මගේ පස්සෙන්ම හිටියා. චිත්‍රපටයේ රූපගත කිරීම් කරද්දී අම්මා හැම දවසකම මාත් එක්ක යන්න ආවා. ටික කාලයක් ගියාට පස්සෙ මම කැමති මේ ක්ෂේත්‍රයට කියලා අයියලා තේරුම්ගත්තට පස්සෙ ඒ අයගෙත් අකමැත්තක් තිබුණේ නැහැ. ඊටපස්සෙ මම ටෙලිනාට්‍ය කිහිපයකත් රඟපෑවා. වෙළෙඳ දැන්වීම් කිහිපයකත් පෙනී හිටියා. බොහෝ දෙනා මාව වෙළෙඳ දැන්වීම් හරහා හඳුනාගත්තා.

විවාහය නිසා ඒ හැමදෙයක්ම අතරමඟ නතර කරන්න සිද්ධ වුණාද..?
ම්.. පොඩි සීමාවක් මමම දාගත්තා. මම විවාහ වුණේ 2015දී. මගේ සැමියාගේ නම සජීව රන්දික රණසිංහ. ඔහු මේ වෙද්දී ඔස්ට්‍රේලියාවෙයි ඉන්නෙ. සජීවව මට මුණගැහුණෙත් ඔස්ට්‍රේලියාවෙදීමයි. මගේ තාත්තගේ යාළුවෙක්. හැබැයි මේක විවාහ යෝජනාවක් මත සිදුවුණු විවාහයක් නෙමේ. මම පොඩි නිවාඩුවකට ඔස්ට්‍රේලියාවේ ගිය ගමනකදී එක්තරා උත්සවයකදී මට සජීවව මුණගැහුණා. ඊටපස්සෙ අපි කතාබහ කරලා ආදරේ කළා. අවසානයේදී අපි 2015දී විවාහ වුණා.

අද නදීෂානි පුංචි පුතෙකුගේ ආදරණීය මවක්..?
ඔව්.. අපිට දැන් චූටි පැටියෙක් ඉන්නවා. ඒ පැටියගේ වැඩත් එක්ක මේ දවස්වල කාලය ගෙවෙනවා තේරෙන්නෙ නෑ. පුතාට දැන් වයස අවුරුද්දයි මාස දහයයි. දැන් පුතාත් වෙළෙඳ දැන්වීම් දෙක තුනකට දායකවෙලා තියෙනවා. දැන් ඉතින් අපි දෙන්නගේ ලෝකය අපේ පුංචි පුතායි. මම මේ ක්ෂේත්‍රයට ඇත්තටම හරිම ආදරේ කරන කෙනෙක්. මම ගොඩක් වෙලාවට ඉදිරියෙදී ලංකාවේ ඉඳීද කියලා තවම දන්නෙ නැහැ. මගේ සැමියා වැඩිපුරම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ. අපිත් නිවාඩුවට එහේ යනවා. අපි දෙන්නවත් ඕස්ට්‍රේලියාවට ගන්න එයාගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මගේ තව නිර්මාණ කිහිපයක්ම ඉදිරියෙදී දැකබලාගන්න පුළුවන් වේවි. පුංචි පුතාගේ හුරතල් කාලෙදී මට එයාගෙන් ඈත්වෙන්න ලෝබයි.

ජයමාලි
දේශය