පෙමට එරෙහි වුණැයි දියණියගේ පෙම්වතා තිදරු මව මරා මළ සිරුර ළිඳකට දමා කල අපරාදය

ගල්කිරියාගම -බෝගස් වැව පදිංචි 60 හැවිරිදි තිදරු මවක් දියණියගේ පෙම්වතා විසින් මුගුරකින් පහරදී ඝාතනය කර ඇයගේ මළසිරුර නිවෙසට යාබද අනාරක්ෂිත ළිඳකට දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දියණියගේ පෙම්වතා බව පැවසෙන යුධ හමුදා සේවයෙන් නිත්‍යානුකුලව ඉවත්වූ 21
හැවිරිදි තරුණයෙකු ගල්කිරියාගම පොලිසිය මගින් 17 දින රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ සමරකෝන් මුදියන්සේලාගේ චන්ද්‍රා නාලිනි යන අයයි.

සිය සැමියා හා අවිවාහක බාල දියණිය සමග මියගිය කාන්තාව නිවසේ ජීවත්ව සිට ඇත. ඉකුත් 16 දින පස්වරුවේ මියගිය කාන්තාව තම නිවෙසට මීටර් 100 ක් පමණ ආසන්නයේ පිහිටි ළිඳේ දියනාමින් සිට ඇත. දියනාමින් සිටි තම බිරිඳ නිවෙසට නොපැමිණීම නිසා අසල්වැසියන්ගේ සහයෙන් සැමියා විසින් සොයා බැලීමේදී බිරිඳගේ මළසිරුර ළිඳේ තිබී සොයා ගෙන ඇත.

මියගිය කාන්තාවගේ බාල දියණියගේ පේ‍්‍රම සබ`දතාවට මියගිය කාන්තාව දැඩි ලෙස විරුද්ධත්වය පළකර තිබී ඇති බවත්,එම සබ`දතාව නිසා තම දියණිය වෙනත් ප‍්‍රදේශයක සඟවා සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙයින් උරණ වූ පෙම්වතා මීට දින කීපයකට ඉහතදී මියගිය කාන්තාවගේ නිවෙසට ගල්මුල් ප‍්‍රහාරයක්ද එල්ල කර තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුද එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.සී.පෙරේරා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක එස්.ජී.එම්. මහින්ද, කේ.එල්.චන්ද්‍රසේන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරති.

දඹුල්ල-සරත් එරමිනිගම්මන