කාම ආශාවන් ඉටුකරගෙන දෙදරු මවකට කළ කුරිරු අපරාධය අනාවරණය වෙයි

කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා යි.

හංවැල්ල, පහත්ගම ප‍්‍රදේශයේ පදිංචි 34 වියැති මොහු ඝාතනයට ලක් වූ කාන්තාවගේ අනියම් පුරුෂයා බව
ද පොලීසිය පැවසුවා.

මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට පත් වූයේ මුල්ලේරියාව පොලිස් වසමට අයත් කැලණිමුල්ල, ගඟබොඩ, වෙලේ දේවාලයේ ඇති කාලි දේව පිළිමය ඉදිරිපිටදී දෙදරු මවකට බෝතල් කටුවකින් අමානුෂික ලෙස ඇන, පසුව ඇයව ඇදගෙන ගොස් වතුර වළක ගිල්වා මැරීමේ සිද්ධියට අදාළව යි.

ඝාතනයට ලක්ව තිබුණේ කිරිඳිවැල, පැපිලිවල, වේරහැර පදිංචිව සිටි තමාරා දිල්රුක්‍ෂි සමරනායක නමැති දෙදරු මවක්.

42 හැවිරිදි ඇය ග‍්‍රාමාරක්‍ෂක නිලධාරියකු සමග විවාහවී සිට ඇති අතර එසේ සිටියදී එම ග‍්‍රාමාරක්‍ෂක නිලධාරියා ඇයගෙන් වෙන්වී වෙනත් විවාහයක් කරගෙන ඇති බව සඳහන්.

පසුව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ රියැදුරු ලෙස සේවය කළ තැනැත්තා මෙම කාන්තාව සමග අනියම් සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති බව වාර්තා වෙනවා.

සැකකරු ඇයව හෝටල්වලට පවා රැගෙන ගොස් අඹුසැමි සබඳතා ද පවත්වා ඇති බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශ කරනවා.

සිද්ධිය වූ දින ද අදාළ කාන්තාව හංවැල්ල බස් නැවතුම්පළට ගෙන්වාගෙන ඇති ඔහු ඇයව කැලණිමුල්ල හෝටලයකට ගෙන ගොස් එහි දී තම ආශාවන් ඉටුකරගෙන පසුව ඔහු ඇයව දේවාලය වෙත රැගෙන ගොස් ඇති බවත් එහි දී මෙම අපරාධය සිදුකර ඇතැයි හෙළිවූ බවත් මිරිහාන අපරාධ විමර්ශන ඒකකය වැඩිදුරටත් අනාවරණය කළා.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ අත් බෑගය බියගම පාලමින් කැලණී ගඟට විසි කර දමා තිබියදී සොයාගත් බව ද එම ඒකකය සඳහන් කරනවා.

වීදුරු බෝතලයක් කඩා අදාළ කාන්තාවට එයින් අනින අවස්ථාවේ සැකකරු ඇඳ සිටි ඇඳුම ලේ වලින් නැහැවී ඇති අතර සැකකරු අදාළ කාන්තාව වතුර වළක ගිල්වා මරා දැමීමෙන් පසු සිරුර කිඹුලන්ට කෑමට සලස්වා තිබෙනවා.

මේ පිළිබඳව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන්.