මොරගහකන්දේ ජලාශයේ අඩි 75ක් යට මඩ ගොහොරුවෙන් ටොන් 28ක් බර හිතාගන්න බැරි දෙයක් ගොඩ ගයි.

නියඟයෙන් පීඩා විඳි ජනතාව යළි නගාසිටුවනන්ට වරම් ලැබුණු මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අවසන් අදියර මේ දිනවල ආරම්භ වී ඇත්තේ විශාල ජලස්කන්ධයක් එක්රැස් කරවමින්ය.

පරාක්‍රම සමුද්‍රය මෙන් හයගුණයක ජල ධාරිතාවක් එක්රැස් කරවන මෙම ව්‍යාපෘතියේ ජලය පිරවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්
සංකේතවත් කිරීමෙන් පසු මේ වන විට ක්‍රම ක්‍රමයෙන් ජලාශ පිරී යමින් තිබෙන්නේය.

මොරගහකන්ද, කළුගඟ ජලාශ මේ දිනවල ජලයෙන් පිරී යන්නේ මාත‍ලේ, ලග්ගල ප්‍රදේශයේ පාරම්පරික ගම්මාන විසිහතරක් ශ්‍රී ලංකා සිතියමෙන් මකාලමින්ය.

තමන් උන්හිටි තැන් ජලාශයට යට වී යන හැටි බලා ගන්නට ලග්ගලට මේ දිනවල මහජන ගඟක් ගලන්නේද එවන් අවස්ථාවක් යළි උරුම නොවන නිසාය.

මහවැලි ගඟේ අතු ගංගාවක් වන කළු ගඟ හරහා වේල්ලක් යොදා ඉදිකළ ජලාශයේ අක්කර අඩි දෙලක්ෂයක ධාරිතාවක ජල කන්දක් එක් රැස් කරන්නට දවසින් දවස මීටරයක උසකින් ජලය මුදාහරින්නේය.

එවන් ජල කඳක් පුරවමින් යන අතරේ නාවික හමුදා කිමිදුම් අංශයට මින් පෙර නොකළ අලුත් මෙහෙයුමක් කළුගඟ ජලාශයේ කරන්නට නාවික හමුදා මූලස්ථානයෙන් නියෝග ලැබෙන්නේ පසුගිය සතියේදීය.

මහ මුහුදේ රළ පරයමින් ගැඹුරු මුහුදේ කිමිදුම් මෙහෙයුම්වල නිරත වූ නාවික හමුදා කිමිදුම් අංශයට මෙය අලුත් අත්දැකීමක් මෙන්ම අභියෝගාත්මක මෙහෙයුමක්ද විය.

අඩි හැත්තෑපහක් පමණ ගැඹුරක සිරවී ඇති ටොන් 28ක් පමණ බරැති බුල්ඩෝසරයක් ගොඩගැනීම නාවික හමුදාවට ලද අභියෝගයක් විය.

කළු ගඟ ජලාශය තුළ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ ආර්.එම්.ටී. ඉදිකිරීම් ආයතනයට අයත් බුල්ඩෝසරය ජලයෙන් වැසී යන්නේ පසුගිය ඔක්තෝබර් 23දා සිටය.

කළු ගඟ ජලාශයේ ඉවුරේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අතරේ කඳුකර ප්‍රදේශවලට මහ වැසි ඇද වැටීමත් සමග ජල මට්ටම ඉහළ එසවෙන්නට වූයේ නොසිතූ මොහොතකදීය. ඒ හේතුවෙන් බුල්ඩෝසරය ගොඩබිමට ගෙන එන්නට ගඟ අයිනෙන් වූ මාර්ගයක් දිගේ එද්දී ලිස්සා එරී යන්නේ යළි ගොඩගත නොහැකි ලෙසින්ය.

කළු ගඟ ජලාශයේ ඉදිකිරීම්වල නිරත වූ චීන සමාගමේ යන්තේ‍රා්පකරණ පවා ගෙනැවිත් මෙය ගොඩට ගන්නට උත්සාහ කළත් එයද ව්‍යර්ථ වන්නේය. රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා මෙම බුල්ඩෝසරය කෙසේ හෝ ගොඩට ගන්නට පුද්ගලික ආයතනවල සහාය ගන්නටද උත්සාහ ගත්තද ඔවුන් වාහනයේ මිලට වඩා වැඩි ලන්සු තබන්නට වූයේ බලා‍පොරොත්තු නොවූ පරිදිය.

අවසානයේ නාවික හමුදා මූලස්ථානයේ කරන ලද ඉල්ලීමක් අනුව නාවික හමුදාව මෙම මෙහෙයුමට අතගසන්නේ තම කිමිදුම් අංශයට මෙය අත්දැකීමක්ද වන නිසාය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහගේ නියෝග මත මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් පියල් ද සිල්වාට මෙම මෙහෙයුම පැවරෙන්නේ නාවුක හමුදාව සතු ‍‍‍ජ්‍යෙෂ්ඨතම කිමිදුම් නිලධාරියාද ඔහු නිසාය. ඔහුගේ මෙහෙයවීමෙන් නැගෙනහිර නාවුක ආඥාපති රියර් අද්මිරාල් ආනන්ද වීරසිංහ යටතේ වන නැගෙනහිර නාවුක කිමිදුම් අංශයට මෙම මෙහෙයුම සඳහා යෑමට නියෝග ලැබෙන්නේ.

නැගෙනහිර විධාන කිමිදුම් නිලධාරි ලුතිනන් කමාන්ඩර් එන්.එච්. බාලසූරිය යටතේ නාවුක හමුදාවේ අත්දැකීම් ඇති කිමිදුම්කරුවන් කණ්ඩායමක් ලග්ගල බලා එන්නේ මේ අනුවය.

ලග්ගල පැරණි නගරයේ උසාවිය ඉදිරිපිට සිට මෙහෙයුමට සූදානම් වන නාවික කණ්ඩායමට එක්වූයේ විදෙස් රටවල් ගණනාවක සුවිශේෂ පුහුණුව ලද කණ්ඩායමකි.

භූමියේ තොරතුරු හා ජලාශය යට පිහිටීම ගැන අවබෝධයක් ලබා ගත් කිමිදුම් කණ්ඩායම්වලට තිබූ අභියෝගය ජලාශයේ කිමිදීමේදී එහි ඇති නිවාස විදුලි හා දුරකථන රැහැන් ඉවත් කළ කොන්ක්‍රීට් කනු හා ගස්වලින් බේරී යාමය. වැඩිපුර ගැඹුරු ස්ථානයක කිමිදීමට සිදුවන නිසා වතුර යට සිටින කාලය අඩු කර ගන්නටද සැලසුම් කෙරිණි.

පළවැනි දවසේම අපි කිමිදුණා. ගස් ආශ්‍රයෙන් බුල්ඩෝසරය ගිලුණු තැන සොයා ගන්නට අඩි හැත්තෑපහක් යටට ගියා. නකල්ස්වලින් එන වතුර නිසා යට සීතල වැඩිය. දරාගන්න බැරි තරම්. වතුර බොර ගතිය නිසා වතුර යට මුකුත් පේන්නේ නැහැ. ටෝච්වලින්වත් යට එළියක් ගන්න බැහැ. වතුර යට ඩෝසරය සම්පූර්ණ මඩ අස්සේ හිරවෙලා තිබුණේ. ටොන් විසිඅටක් මේක බරයි කිව්වට මඩ අස්සේ හිරවුණු නිසා ටොන් හතළිහක් විතර බරක් එන්න පුළුවන් කියලා අපි අනුමාන කළා. යැයි ලුතිනන් කමාන්ඩර් බාලසූරිය තම නායකත්වයෙන් ඇරඹුණු මෙහෙයුම හෙළි කළේය.

කිමිදුම් මෙහෙයුමට එක්වූයේ පෙටි ඔෆිසර් ඩී.පී. මෙන්ඩිස්, පෙටි ඔෆිසර් කේ.ඩී. සූරිය බණ්ඩාර, පෙටි ඔෆිසර් එල්.එස්. ක්‍රිෂාන්ත, නායක නැවි ජී.පී. කුමාර, නායක නැවි ඩී.එල්. කන්නන්ගර, නායක නැවි එම්.සී. සමරතුංග, නායක නැවි එච්.අයි. චතුරංග, බළනැවි ඩී.එම්. බණ්ඩාර, ටී.එච්. විජේසිංහ, අයි.එල්. චන්දිම යන කණ්ඩායමය.

මෙම මෙහෙයුම සඳහා නාවික හමුදාව සතු ලිෆ්ටින් බැලුන් යොදවා බුල්ඩෝසරය ඉහළට ඔසවා ගැනීමට සැලසුම් කළද මෙය රැගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්නයක් මතු විය. දොඹකරයක් යොදවා හෝ ගොඩබිමට ඔසවා ගත හැකි තැනක් නොවූයේ එම ප්‍රදේශය කඳු බෑවුම් සහිත වූ නිසාය.

අපි ඒ නිසා බුල්ඩෝසරය ගෙනියන්න ජලාශයට යට වෙච්ච පාරක් හොයන්න තීරණය කළා. ඊට පස්සේ කිමිදිලා බුල්ඩෝසරය තිබුණු තැනට කිලෝමීටර් එකහමාරක් දුරින් තිබුණු පාරක් අපි හොයා ගත්තා. ඒක කළු ගඟ ජලාශයට වතුර පුරවද්දී වැහිලා ගිය පාවිච්චි කළ පාරක්. ලිෆ්ටින් බැලුන්වලින් පාර ළඟට වෙනකල් උස්සන් ඇවිල්ලා බුල්ඩෝසරය පාරට තියලා ඇදගෙන එන්න අපේ සැලසුම වුණා.

මෙම මෙහෙයුම සඳහා යාමට පෙර පිටතින් බුල්ඩෝසරයක් ගෙන්වා වතුරේ යට ඇති බුල්ඩෝසරයට බැලුම් ගැට ගසන්නට අවශ්‍ය තැන් ගැන අවබෝධයක් ගත්තේය. ඉහළට එසවෙද්දී සමතුලිත ලෙස බැලුන් සවි නොවුණහොත් මුනින් අතට පෙරළී බුල්ඩෝසරයට හානි සිදුවීමට ඉඩ ඇති නිසා හරිහැටි සවි කළ යුත් තැන් ගැන නිශ්චිත අවබෝධයක් ලබා ගැනුණි.

ඒ අනුව අපි ලිෆ්ටින් බැලුන් හුළං නැතිව වතුර යටට අරන් ගිහින් ලණුවලින් බුල්ඩෝසරයේ අවශ්‍ය තැන්වල ගැට ගැහුවා. වතුර යට හොඳටම සීතලයි. මඩ වතුර නිසා මෙලෝ දෙයක් පේන්නෙත් නැහැ. අපි බුල්ඩෝසරය අතගාලා තමයි තැන් හඳුනා ගත්තේ.

ටොන් දහයේ, ටොන් පහේ, ටොන් තුනේ බර දරාගෙන හැකි බැලුන් දොළහක් අරන් ගිහින් හතක් සවි කළා. ටොන් හතළිහක බරක් එන නිසා ඒ බරට හරියන්න බැලුන් ටික සවි කළේ. මුලින්ම ඒවාට හුළං ‍පොඩි ප්‍රමාණයක් ගහලා උඩට ඉස්සෙන්න ඇරියා. මේක මුහුදේ කරන මෙහෙයුමක් වගේ ‍නෙවෙයි. ‍පොළොව යට ගම්මානවල ගස්, ගෙවල් තිබුණ නිසා බැලුන්වල ඒවා නොවදින්න හයි කරන්නත් වුණා. බැලුන්වලට ඩැමේජ් වෙන්න නොදී අත් කියත් අරන් යටට ගිහිල්ලා ඒවායේ වදින්න පුළුවන් අතු කපලා දැම්මා.

ඊට පස්සේ බැලුන්වලට හුළං ගහලා පුම්බලා ගත්තම බුල්ඩෝසරයට ජලාශයේ පතු‍ලේ මඩ ගොහොරුවෙන් ගැලවිලා උඩට ඉස්සුණා. තත්පර කිහිපයක් ඇතුළත බැලුම් ටික ජලාශයේ උඩට මතු වුණා. වතුර මට්ටමේ ඉඳන් අඩි 17ක් යටයි ඩෝසරයේ යට කොටස තිබුණේ. එහෙම තියාගෙන කිලෝමීටර් එකහමාරක් දුරක් බෝට්ටුවෙන් ඇදගෙන පාර මතු වන තැනට අරන් ආවා.

ඒ යන ගමනද අති දුෂ්කර ගමනක් විය. පාර මතුවන කිලෝමීටර් එකහමාරක දුර ජී.පී.එස්. මාර්ගයෙන් මග සොයාගෙන යන්න තීරණය විය.ඒ කලින් දියේ ඵමිද එම මාර්ගයේ තිබූ ගස්, විදුලි කනු හා ගොඩනැගිලි නොමැති තැන් හඳුනාගෙන ජී.පී.එස්. මගින් යාමට මගක් සැලසුම් කළ නිසාය.

එදා සවස 7.30 වෙද්දී අපි පාර ළඟට ටච් කළා. එදා මෙහෙයුම නවත්තලා රෑ රෙස්ට් කළා. ආයෙ පහුවදා උදේ බැලුම්වල හුළං අඩු කරලා කඹ යොදලා පාර දිගේ අදින්න පුළුවන් විදිහට වතුර යට තියෙන පාරට තියා ගත්තා. එතැන ඉඳන් ගොඩබිමේ තිබුණු ඩෝසරයකින් ලණුව ඇදලා දවස් දහයක් වතුර යට තිබුණු බුල්ඩෝසරය ගොඩට ගෙනත් දුන්නා.

ඇත්තටම මුහුදේ සැල්වේප් ඔපරේෂන් කරද්දී ගිලිච්ච නැව් ගොඩගන්න එක පහසුයි. අපිට ඒ ළඟටම අපේ නැව අරන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. නමුත් මේ වගේ ජලාශයක අපි කරපු පළවැනි මෙහෙයුම මේකයි. මේක සීතල වතුරේ මේ වගේ මෙහෙයුමක් කරන්නේ කොහොමද කියලා අපට අත්දැකීමක් ගන්න හොඳම අවස්ථාව වුණා. අඩුම තරමේ බුල්ඩෝසරයටවත් කිසිදු හීරීමක්වත් නැතිව ගොඩට ගෙන එන්න නාවික හමුදා කිමිදුම් කණ්ඩායමට හැකි වුණා.

යුද්ධයේදී සතුරු භූමියට බෝට්ටු ළඟා වෙන්නට පෙර මුහුදේ කිමිදී සතුරු භූමියේ වෙරළ තීරය ආරක්ෂිත තැනක් බවට පත් කර දෙන්නේද කිමිදුම් භට කණ්ඩායම්ය. මුහුදු පත්‍ලේ ගිලුණු නැව් ගොඩගැනීමටත් මුහුදේ ඇති බෝම්බ සොයා යෑමටත් දස්කම් පාන කිමිදුම් කණ්ඩායම් තම නිපුණත්වය පෙන්වමින් කළු ගඟින් අඩි හැත්තෑපහක් යට ගිලුණු බුල්ඩෝසරයක් මතු පිටට ගෙන එන්නේ නැවුම් අත්දැකීමක් එක් කරමිනි.

උපුටාගැනීම:රිවිර.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා