ඒ හමුවීම ලොකු සර්ප්‍රයිස් එකක් - මීනා කුමාරි

කලා ලොවේ අහිංසකාව ඇයයි. එනිසාම ඇයගේ රංගන පරාසය ද විවිධ දිශානතීන් සොයා නව මංපෙත් සොයමින් දිව යයි. මීනා කුමාරි ඇය ලංකාවේ මීනා කුමාරිය. වේදිකාව, ටෙලි නාට්‍ය මෙන්ම සිනමාවද ඇගේ දක්ෂතා හා ප්‍රවීණත්වය මොනවට විදහා පෑ ත්‍රිවිධ කලා මාධ්‍යයන්ය. ලංකාව පමණක් නොව ජාත්‍යන්තර සිනමාවේ ද තම රංගන ප්‍රතිභාව මැනවින් සනිටුහන් කළ මීනා කලකට පසුව  කැඳවාගෙන ආවේ ඇගේ නවතම කලා තොරතුරු මෙන්ම ඇය පිළිබඳ නවතම තොරතුරු ද
ඔබ වෙත ගෙන ඒමේ අදහසිනුයි.

ඔබේ අලුත්ම තොරතුරුවලින් අපේ කතාබහත් අරඹමු?

මේ දවස්වල කලා නිර්මාණ කිහිපයක් සමඟම තමයි කාලය ගතවෙන්නේ. ඒ අතර රෙජිනෝල්ඩ් ජයමාන්න ගේ නවතම ටෙලිනාට්‍යයේ මම චරිත නිරූපණය කරනවා. ඊට අමතරව හිරු නාලිකාවේ 'සිද්ධාර්ථ ගෞතම' ටෙලි නාට්‍යයේ සුද්දෝධන රජුගේ මව ලෙස චරිත නිරූපණය කරනවා.

ඔබට බොහෝ නිර්මාණවලදී රඟන්නට ලැබෙන්නේ මවගේ චරිත?

මෙහෙමයි, මවගේ චරිත බොහොමයක් ලැබුණත් ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස් චරිත. සිද්ධාර්ථ ගෞතම හි මවගේ චරිතය වෙනස්ම ස්වරූපයක් ගත් චරිතයක්. ඇඳුමින් පැලැඳුමින් පවා එහෙමයි. සර්ව ආභරණ පළදලා ඇදුම් පැලඳුම් අනුව බොහොම කැප කිරීමකින් කළයුතු චරිතයක් එය. ඒ වගේම එය බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ ගැන කියවෙන්නක්. ඒ නිසා නිතරම අපි පේවෙලා තමයි ඒ චරිත රඟන්නේ. එය මට දැනෙන්නේ එක්තරා විදිහක භාවනාවක් වගෙයි.

ඔබ ඔබේ නම ජාත්‍යන්තර සිනමාවට රැගෙන ගිය රංගන ශිල්පිනියක්?

දැනට වසර කිහිපයටක එපිට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සාජි එන්. කරූන් ලංකාවට පැමිණ ඔහුගේ 'කුට්ටිෂාන්ක්' මලයාලම් චිත්‍රපටය සඳහා ලංකාවෙන් නිළියක් සෙව්වා. ඒ සඳහා මා ඇතුළු තව නළු නිළියනට සම්මුඛ පරීක්ෂණ පැවැත්වූවා. වාසනාවකට එයින් මට එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට අවස්ථාව ලැබුණා.

පසුගිය දා යාපනය සිනමා උළෙලේ දී ඔහු නැවත ඔබට මුණගැහෙනවා. මිතුදම අලුත් වුණාද?

(මීනා සිනාසෙයි...) ඇත්තටම 'කුට්ටිෂාන්ක්' චිත්‍රපටය යාපනය චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය වුණා. ඒ අවස්ථාවට සාජි එන්. කරුන් අධ්‍යක්ෂකතුමාත් පැමිණ සිටියා. කලකට පසුව ඔහු මට මුණ ගැහුණා. ඒ වගේම එතැන දී තවත් සුවිශේෂ දෙයක් සිදුවුණා. සාජි 1998 දී පළමුවරට පළමු චිත්‍රපටයේම සම්මාන දිනුවා. 'පිරවි' චිත්‍රපටය වෙනුවෙන්. එහි රඟපාන ප්‍රධාන නිළිය 'අර්චනා' මට එතැනදී අර්චනාව හමුවුණා. මම රඟපෑ 'කුට්ටිෂාන්ක්' චිත්‍රපටය නරඹලා ඇය මාව හමුවන්නට ඉතාම ආසාවෙන් ඉඳලා තිබෙනවා. මාව යාපනය සිනමා උළෙලේදී ඇයට හමු වුණාම එය ලොකු සප්‍රයිස් එකක් වුණා. මටත් ඒ වගේම තමයි. ඇය 'කුට්ටිෂාන්ක්' චිත්‍රපටයේ මම රඟපෑ 'කාලි' චරිතය ගැන හුඟක් කතා කළා. මගේ රංගනය ගැන හුඟක් සතුටුවෙන බව පැවැසුවා. ඒ චරිතය මවන කරන ආකාරයත් එමගින් එහි ප්‍රධාන චරිතය රඟන මමුතිගේ චරිතය ඉස්මතු වන ආකාරයත් ඇය ඉතාම ලස්සනට විග්‍රහ කළා. මට ලොකු සතුටක් දැනුණා.

ඔබ එහි රඟන චරිතය ගැන යළිත් කතා කරමුද?

මේ චිත්‍රපටය 1950 කාල වකාවනුව නියෝජනය කරමින් තමයි නිර්මාණය වෙන්නේ. වෙරළාශ්‍රිත කලපුවක ජීවත්වන 'කුට්ටිෂාන්ක්' නම් ධීවරයා වටා තමයි මෙය ගොඩනැගෙන්නේ. ඔහුගේ දිවියේ දී ඔහුට මුණ ගැසුණු විවිධ සමාජ මට්ටම්වල කාන්තාවන් තිදෙනෙක් වටාත්, ඔහු සේවකයෙක් ලෙස ගෙවන ජීවිතය මෙයින් කතාබහට ලක්වෙනවා. මේ චිත්‍රපටයේ තිබෙන විශේෂත්වය තමයි කතාවේ අවසානයෙන් චිත්‍රපටය ඇරැඹීම මෙහි 'කාලි' කියන කාන්තාවගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. කාලි ගොළු කාන්තාවක්. 'කුට්ටි' සැබෑවටම ආදරය කරන්නේ කාලිට.

'කුට්ටි' ලෙස ඔබත් සමඟ රඟන නළුවා ගැනත් කතා කරමු?

'කුට්ටිෂාන්ක්' චරිතය රඟන්නේ කේරල සිනමාවේ ප්‍රබල රංගන ශිල්පියෙක් වන මමුති. මමුති එක්ක රඟපාන්න ලැබීම ඇත්තටම වාසනාවක්. ඒ වගේම මෙහි අනෙක් ප්‍රධාන කාන්තා චරිත දෙක නිරූපණය කරන නිළියන් දෙදෙනාත් බොලිවුඩයේ පාසල අත්දැකීම් ඇති ෆිල්ම් ෆෙයාර් සම්මාන ලාභිනියන්. කමලා හසන් වැනි ප්‍රවීණයන් සමඟ රඟපෑ අය. ඔවුන් සමඟ රඟපාන්නට ලැබුණු අත්දැකීම ඇත්තටම රංගන ජීවිතයේ මට සුවිශේෂියි. මොකද ජාත්‍යන්තර මට්ටමේ කලාත්මක සිනමා නිර්මාණයකට ප්‍රධාන නිළියක ලෙස දායක වෙන්නට හැමදෙනාටම බැහැ. එය යම් රංගන ශිල්පිනියක් ලබන දුර්ලභ වාසනාවක්. රංගන ජීවිතය පුරාවටම මට මේ මා ලද අත්දැකීම සදාකල් මතක තියේවි. එයින් මා ප්‍රහර්ෂයට පත් වේවි. එය මට මගේ රංගන දිවියේ ලද සම්මානයකට වඩා වටිනවා වගේම පූජනීය අත්දැකීමක් ද වෙනවා.

සිනමාවට ඔබේ දායකත්වය?

චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. තවත් සමහර ඒවාට ආරාධිත රඟපෑම් සඳහා ආරාධනා ලැබුණා. නමුත් සැලකිය යුතු මගේ රංගන පරාසය පෙන්වීමට හැකි චරිත නම් නොලැබුණු තරම්. ඒ වගේම හොඳ චරිත මගේ පෞද්ගලික හේතූන් නිසා මා කෙරෙන් ගිලිහී ගිය අවස්ථාත් පහුගිය කාලයේ එමටව තිබුණා.

ඒ ගැනත් කතා කරමු?

මාගේ දියණිය සුභාර්තා බණ්ඩාරනායක. ඇය මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරනවා. ඉතින් ඇගේ උසස් පෙළ සමයේ මට ධර්මයුද්ධය චිත්‍රපටයේ මවගේ චරිතයට ඇරියුම් ලැබුණා. නමුත් දියණියගේ වැඩකටයුතු වෙනුවෙන් මට මූලිකත්වය දෙන්නට සිදුවූ නිසා එය ප්‍රතික්ෂේප කරන්න වුණා. මේ වගේ කාරණා නිසා මගෙන් සිනමාවට තරමක් දුරස් වුණා. ඒත් ජාත්‍යන්තර තලයට මට යන්ට අවකාශ ලැබුණෙ 'කුට්ටිෂාන්ක්' චිත්‍රපටයේ රඟපාමින්.

මොනවද ඔබගේ අලුත් බලාපොරොත්තු?

එහෙම ලොකු දෙයක් නැහැ. දුවගේ අධ්‍යාපනය සහ ඇගේ ඉදිරිය පිළිවෙළකට ගලායනවා දකින්න තමයි මම කැමැති. ඇය දිහා ඇය යන ගමන දෙය ආසාවෙන් ආදරයෙන් බලාගෙන ඇගේ සෙවණැල්ල සේ මම ඉන්නවා. ඒ ඇරෙන්නට බුදුදහමට අනුව, ජීවිතේ සතුටින් හා දැහැමින් ගත කිරීම තමයි අරමුණ. ජීවිතේ ගැන සතුටු වෙනවා හැර පසුතැවෙන්න මට කරුණක් නැහැ.

ඡායා - නිශ්ශංක විජේරත්න

gossip lanka