"මම අසනීප වෙද්දි හැමෝම මාව දාලා ගියා. ඒත් මගේ දරුවා අදටත් මා එක්ක ඉන්නවා" දෑස් නොපෙනෙන පියා රැක බලාගන්නා පුංචි පුතෙකුගේ සංවේදී කතාව - Photos

මේ දරුවා අපට හමුවූවේ වැලිතුඩුවේවත්ත, මීගහකිවුල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයට යාබදව පිහිටි ඔහුගේ නිවසේදීය.

ඔහු මීගහකිවුල ජාතික පාසලේ අටවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ආර්.එම්. ඉෂාර මලිඳුය. සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පිරිමි දරුවා ඔහුය.

අප පෙර කී පරිදිම ළමා කාලය අත් විඳිමින් කෙළි
දෙළෙන් ගත කළ ඉෂාර මලිඳුගේ ළමා කාලය ඔහුට අහිමි වන්නේ හිටිහැටියේම සිය පියා වන ආර්.එම්. පාලිතට වැලඳුණු දියවැඩියා රෝගයත් සමගින්ය. ඉෂාර මලිඳු ඇතුළු මේ පුංචි කැදැල්ල විසිරී යන්නේ ඉෂාර මලිඳුගේ පියාගේ මෙම රෝගී තත්ත්වයත් සමගින්ය.

රෝගී තත්ත්වය උත්සන්න වෙද්දී ඇතිවූ අග හිඟකම් නිසාම තම බාල දියණියද රැගෙන ඉෂාරගේ මව නිවසින් පිටව යන්නේ රෝගී පියා මෙන්ම බාල සහෝදරයාගේත් නිවසේ වැඩපළ සියල්ලත් හයක් හතරක් නොදන්නා ඉෂාරගේ කර පිට පටවමිනි.

සිය මව විසින් තම කර මත පැටවූ දරාගත නොහැකි වගකීම් සමූහය හමුවේ පලා නොගිය පුංචි ඉෂාර මහා දැනමුත්තෙකු සේ තම පියාද රැක බලා ගනිමින් නිවසක සියලු කටයුතු ඉටුකරන්නේත් ඒ අතරතුර හැකි අයුරින් පාසලට පමණක් නොව දහම් පාසලටද පැමිණෙන්නේත් සම වයසේ බොහෝ දරුවන්ට මහා ආදර්ශයක් ගෙන දෙමිනි.

සිය යටගියාවත් දෛනික දින චරියාවත් ගැන ඉෂාර මෙසේ කියයි.

අම්මයි, තාත්තයි, මල්ලියි නංගියි අපි හතරදෙනා මීට අවුරුදු පහකට විතර ඉස්සර මේ ගෙදර හරිම සතුටින් ජීවත් වුණා. ඒ අතරේ තමයි තාත්තට දියවැඩියාව හැදුණේ. ඊට පස්සේ තාත්තගේ කකුලේ ලොකු තුවාලයක් හැදුණ. කාලයක් තිස්සේ බෙහෙත් කළත් සනීප වුණේ නැහැ. තාත්තට වැඩක් පලක් කර ගන්න බැරි තත්ත්වෙට වැටුණා. වටේ පිටේ අය තමයි වියපැහැදම් දුන්නේ.

මෙහෙම කාලයක් යද්දී අම්මා නංගි අරගෙන ගෙදරින් පිට වෙලා ගියා. මල්ලී මමයි තාත්තයි ගෙදර ඉතුරු වුණා. තාත්තට වැඩක් පලක් කරන්න බැරි තරමටම ඔත්පළ වුණා. ඔය අතරේ තාත්තගෙ ඇස් දෙක ටික ටික පේන්නෙ නැතුව ගියා. දැන් හොඳටම ඇස් පේන්නෙ නැහැ. ඊට පස්සේ ගෙදර හැම දේම කරන්න වුණේ මට. දැන් අවුරුදු තුනක් ඉඳන් තාත්ත බලා ගන්නේ මම. කොච්චර වැඩ තිබුණත් ඉගෙනගන්න ආස නිසා පාසල් යන්නත් මට ඕනැ වුණා.

මේ නිසා ටික කාලයක් යද්දී මල්ලි ආච්චි අම්මලගෙ ගෙදර නතර කළා. දැන් මෙහේ ඉන්නේ තාත්තයි මමයි විතරයි. මම මාසෙකට සැරයක් ත්‍රීවීල් එකක් අරගෙන බදුල්ල රෝහලේ සායනයකට ගිහින් බෙහෙත් ගේන්න ඕනැ. මීගහකිවුල ඉස්පිරිතාලෙ සායනයටත් තාත්තා එක්ක යන්න ඕනැ. ඒ වගේම දවසක් ඇර දවසක් තාත්තාගේ තුවාලෙට බෙහෙත් දාන්නත් රෝහලකට ගෙනියන්න ඕනැ. මට මේ වැඩ ටික ඔක්කොම කර කරගන්න ඕනැ නිසා හුඟක් වෙලාවට මම උදේ 4.30 - 5.00 වෙද්දි නැගිටිනවා.

ඊට පස්සේ කෑම හදලා තාත්තට මුහුණ හෝදගන්න වතුර ලෑස්ති කරල දීල ගෙවල් මිදුල් අතුගාලා ළිප නිවලා, වතුර ගෙනත් තියලා තමයි ඉස්කෝලෙ යන්නෙ. ඉස්කෝලෙ යන්න ඉස්සෙල්ලා මම හැමදාම මතක් කරලා තාත්තගේ ඉන්සියුලින් බෙහෙත් එක ලෑස්ති කරලා දෙන්නත් ඕනැ. හවසටත් බේත් විදිනවා. ඉස්කෝලේ ඇරිලා ආපු වෙලාවේ ඉඳන් මට විවේකයක් නැහැ. ගෙවල් මිදුල් අතුගාන්න, කෑම හදන්න, වතුර ගේන්න දර පලන්න මේ හැම දේම මම කරගන්න ඕනැ.

තාත්තා දවස් දෙකකට සැරයක් වත් වතුර උණු කරල නාවනවා. එයාට වැසිකිළියට වත් යන්න ඇස් පේන්නේ නැහැ. ඒ හැමදේම මම කරන්න ඕනැ. ගෙට ටිකක් දුරින් තියන ළිඳෙන් වතුර ගෙනත් තමයි උයන පිහන වැඩ වගේම තාත්ත නාවන එක කරන්නේ. හවස් වෙද්දි දර ටිකක් හොයාගෙන ඇවිල්ලා තාත්තටයි මටයි කන්න මොනව හරි හදා උයාගන්නවා.

ඊට පස්සේ වෙලාවක් තියෙන විදිහට පොතක් පතක් පාඩම් කරනවා. තාත්තට බෙහෙත් ගේන්න යන්න වගේ විශේෂ දෙයක් නැත්නම් මං හැමදාම මේ වැඩ ටික කරලා ඉස්කෝලේ යනවා. දහම් පාසලටත් යනව. මොන වැඩ තිබුණත් මම ඉගෙන ගන්න ආසයි.

ඒ වගේම අපේ අසරණකම දැකලා මේ වටපිටාවේ අයයි පන්සලේ හාමුදුරුවරුයි ඉස්කෝලේ අයයි අපිට එක එක විදිහට උදව් කරනවා. ඒ අය තමයි අපිට පුළුවන් විදිහට සලකන්නේ. කවුරු දාලා ගියත් මම මගේ තාත්තා දාලා යන්නැතුව බලා ගන්නවා කියලා තමයි හැම වෙලාවේම මම හිතන්නේ. ඒ වුණාට අම්මයි මල්ලියි නංගියි මතක් වෙද්දි මට ලොකු දුකක් ඇති වෙනවා. මේ විදියට දුක් විඳගෙන හරි ඒ අයත් හිටියනං නේද කියලා මට හිතෙනවා.

සිය දරුවා පිළිබඳව පාලිත මහතා මෙසේ කීය,

“මම අසනීප වෙද්දි හැමෝම මාව දාලා ගියා. ඒත් මගේ දරුවා අදටත් තනියෙන් මාව රැක බලාගෙන ජීවත් වෙනවා. එයා උදේ පාන්දර නැගිටලා, උයලා පිහලා, ගෙවල් දොරවල් අතුගාලා, මගේ ඉන්සියුලින් බෙහෙත් එකත් සූදානම් කරලා දීලා, බුදු පහන තියලා මට වැඳලා තමයි ඉස්කෝලෙ යන්නෙ.

ඉස්කෝලේ ඇරිලා ආවත් එයා චුට්ටක්වත් නිකං ඉන්නේ නැහැ. මොනවා හරි වැඩක් පොළක් කරලා රෑට කන්න ලෑස්ති කරනවා. ඒ අතරේ වතුර ගෙනැල්ලා මාව නාවනවා. එයා ක්‍රීඩාවටත් දක්ෂයි. මේ දරුවා ඇත්තටම වයසට කරන්න පුළුවන් දේවල් නෙමෙයි කරන්නේ. අඩුම තරමේ කවුරු හරි පිංවතෙක් ඉදිරිපත්වෙලා මට එක ඇහැක් හරි පේන තත්ත්වෙට පත් කරනවා නම් මට මේ දරුවා කරන වැඩවලින් බාගයක් හරි කරල එයාට සහනයක් වෙන්න පුළුවන්.

වට පිටේ අය උදව් නොකරන්න මෙලහකට අපි මැරිලා. අඩුම තරමේ අපිට සමෘද්ධියවත් නැහැ. සමාජ සේවා ආධාරයක් ලැබෙන්නෙත් නැහැ.”

පාලිත මහතා කඳුළු වගුරවමින් එසේ කීවේය. මීගහකිවුල ශ්‍රී සුභද්‍රාරාමවාසී ඇල්ලන්දේ සුගුණවංශ හිමියෝ මෙසේ පැවැසූහ.

පාලිත මහත්තයයි මේ දරුවයි ගෙවන දුෂ්කර ජීවිතේ ගැන අපි හොඳටම දන්නව. මේ දරුව ලොකු මිනිහෙක් වගේ තාත්තගෙයි ගෙදරයි වැඩ ටික කරල තමා පාසලට යන්නේ. මොන ගැටලු තිබුණත් දරුව දහම් පාසලටත් එනව. ඉගන ගන්නත් දක්ෂයි. පන්සලයි වටේ අයයි එකතුවෙලා පුළුවන් විදිහට උදව් කරනව. ඒත් කවුරු හරි හොයල බලල මේ ඉහිරුණු පවුල යථා තත්ත්වයට අරන් මේ අයට සතුටින් ඉන්න වැඩ පිළිවෙළක් හදල දෙනව නම් ඒක ලොකු පිනක්.

මෙම අසරණ පවුලට ඔබේ දායකත්වය ලබා දිය හැකි අතර දුරකතන අංක 0763953686 ට ඇමැතීමෙන් විස්තර ලබා ගත හැකිය.

සටහන සහ ඡායාරූප : වියලුවේ නිශාන්ත කුමාර