"නාලක සිල්වා සුපිරි පුහුණුවක් එක්ක නවීන ආයුධ ඉල්ලලා" මෛත්‍රී - ගෝඨා ඝාතන කුමන්ත්‍රණයට තවත් සාක්ෂි හමුවේ!

දැඩි ආන්දෝලනයට තුඩු දුන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා සිදු කරන ලද කුමන්ත‍්‍රණය පිළිබඳව වැඩි දුරටත් සාක්ෂි ඉදිරිපත්ව තිබෙන බව මුද්‍රිත මාධ්‍ය වාර්තාකර තිබේ.

මෙතෙක් කලක් මෙම ඝාතන කුමන්ත්‍රණය සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව තිබුණේ නාමල් කුමාර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර සිදුවූ දුරකථන කතා බහට අදාළ හඬපට පමණය. එම හඬපට 124 න් 123 ක් සැසදෙන බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී තිබුණි. මීට අමතරව තවත් හඬපට ගණනාවක් මෑතකදී නාමල් කුමාර විසින් රහස් පොලිසියට භාරදී තිබූ අතර එම හඬපටද මේ දිනවල පරීක්ෂණ සඳහා භාජනය කරමින් පවතී.


මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවදානයට ලක්වූ සිදුවීමක් පිළිබඳව වාර්තා වේ.

මෙම වසරේ මැයි මස 12 වැනිදා පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් පොලිස් නිලධාරීන් පස්දෙනකුගෙන් යුත් විශේෂ මෙහෙයුම් නිලධාරීන් කණ්ඩායමක් නිර්මාණය කිරීමට සහ ඔවුන්ට විශේෂ කාර්යය බළකායේ පුහුණුව ලබාදීම සඳහා අවසර ඉල්ලා තිබේ.

අමතර වශයෙන් එම කණ්ඩායම සඳහා අවශ්‍ය අවි ලෙස, මිනි උෂි අවි පහක් සහ ඊට අවශ්‍ය උණ්ඩ, එල්.එම්.ජී. අවි දෙකක් සහ ඊට අවශ්‍ය උණ්ඩ, ටී- 56 අවි තුනක් සහ ඊට අවශ්‍ය උණ්ඩ ද පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙන බව සඳහන්. මෙවැනි විශේෂ පුහුණුවක්, අවි ආයුධ සහ නිල ඇඳුම් ගනිමින් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කටයුතු කරන ලද්දේ කුමන කාරණයක් නිසාද යන්න පිළිබදව මේ වන විට විමර්ෂණ සිදු කරමින් පවතින බව කියවේ.

ඉල්ලා තිබූ පුහුණුව සඳහා විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා විරෝධය පළකිරීම හේතුවෙන් එම කටයුත්ත ඇණහිට තිබූ බව සඳහන්ය. නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතා, විශේෂ කාර්ය බළකායෙන් ඉවත් කළ යුතු බවට නාලක සිල්වා විසින් කරන ලද ප‍්‍රකාශයක්, නාලක කුමාර විසින් නිකුත් කරන ලද පළමු හඬ පටයේ සඳහන් වේ.
gossip lanka