"චිත්‍රපටි ශාලාවලට කපල් ඇවිත් චිත්‍රපටි බලනවද, උන් කරන්නේ වෙන වෙන මඟුල්නෙ.." - මහේන්ද්‍ර පෙරේරා

ඕනෑම ක්ෂේත්‍රයක විශිෂ්ටයන් බිහිවීමට පුළුවන. එහෙත් අති විශිෂ්ටයින් බිහිවන්නේ ඉතාම කලාතුරකිනි. මහේන්ද්‍ර පෙරේරා විශිෂ්ටයින් අතර අති විශිෂ්ටයකු බවට අවිවාදිතය. ඔහුගේ එක අතක දිනූ සම්මානයන්ය. අනෙක් අත ඔහු හැදූ ගෝල බාලයින්ය. මනසේ ඇති දැනුම් සම්භාරය පාඨශාලාවක් තරම්ය. එහෙයින් මහේන්ද්‍ර පෙරේරා
යනු හුදෙක්ම හිස් කලාකරුවකු නොවන්නේය. මේ ඔහු ගැනය.

කොහොමද විස්තර?
මොනවද ඉතින් සුපුරුදු රාජකාරිම තමයි. මරු චරිතයක් ලැබුණා. ඩොක්ටර් නියෝමල් පෙරේරාගේ චිත්‍රපටයේ අමුතුම ඩ්‍රයිවර් කෙනෙක්. අමුතුයි කියලා කිව්වේ පොර ටිකක් පාතාලයට සම්බන්ධයි. ස්වාමි භක්තියකුත් තියෙනවා. කොයි වෙලාවෙත් සූදානම් ශරීරෙන් ඉන්නේ.

මෙතුවක් කල් ලැබිච්ච චරිත පිළිබඳ මොන වගේ හැඟීමකින් ද ඉන්නේ. මං ඇහැව්වේ රඟපාපු චරිත කරලා ගෙදර එනකොට තිබෙන තෘප්තිමත්භාවය ගැන?
කරන දේවල් කරපු දේවල් ගැන සෑහීමකට පත් වෙන්න වෙනවනෙ. පොඩි තෘප්තියකුත් තියෙනවා නැත්තෙම නැහැ.

පොඩි තෘප්තියක් කිව්වේ ඇයි?
මේකනෙ  අපේ රටේ සිනමාවෙ හෝ වේවා ටෙලි නාට්‍යවල හෝ වේවා චරිත කරලා ලැබෙන තෘප්තිය පොඩියි කියලයි මට දැනෙන්නේ. හැබැයි මේ චරිත ටිකම වෙන රටක කරලා තිබුණා නම්... හප්පා ... තෘප්තිය උතුරන්න තිබුණා. රටේ තියෙන ක්‍රමයට අනුව ලැබෙන චරිතය දෙවැනියට දාන්න වෙනවා. පැවැත්ම තියා ගන්නේ කොහොමද කියලයි හිතන්න වෙන්නේ.

ඇතැම් අවස්ථාවලදී ඔබ දැඩිව වානිජකරණයට ලක් වුණේ ඒ තත්ත්වය මතද? සල්ලි දෙනවා නම් මහේන්ද්‍ර පෙරේරා ඕන දෙයක් කරනවා කියලා ආරංචියකුත් පැතිරුණා?
මධ්‍යස්ථව ඔය ගැන හිතන්න වෙනවා. මං කවදාවත් සල්ලිවලටම යට වුණේ නැහැ . හැබැයි මං සල්ලි උදෙසා චරිත බාර ගත්තා. එතන්දි මං නැහැ කියන්නේ නැහැ. සමහර අවස්ථා අපට එනවා සල්ලිම බලන්න බැරි. ඇතැම් චරිත මට ලැබුණම මං අහන්නේ නැහැ මේකට මට කීයක් ගෙවනවද කියලා. එතෙන්දි චරිතයයි වැදගත් වුණේ. කලාකරුවන් වානිජකරණය වෙනවා. ඒක වලක්වන්න බැහැ. පොඩ්ඩක් හොයලා බලන්න වෙන රටවල ආර්ටිස්ලා ගැන. ඔවුන් අනිවාර්යයෙන්ම වානිජකරණයට හසුවෙලා. ඒ වුණාට උන්ට පුළුවන් තමන් ශාස්ත්‍රීය නළුවෙක් ද වානිජ නළුවෙක් ද කියන බෙදිල්ල තුළ ඉන්න. අපිට එහෙම බැහැ. මං වුණත් ඔය ඇතැම් චරිතවලට කොටු වුණේ ඒකයි , අපි නළුවො තමයි. මොන දේ වුණත් මාසෙ අන්තිමේට බිල් ටික එනවනෙ.

මහේන්ද්‍ර පෙරේරා නමැති අධ්‍යක්ෂවරයා නිද්‍රාශීලීව සිටියා ඇති කියලා හිතෙන්නේ නැතිද?
ටෙලියක් කරලා අත්දැකීම් කෝටියක් ගත්තනෙ. ආයෙ ටෙලියක් කරන්න හිත් දෙන්නේ නැහැ. නිෂ්පාදකගේ සල්ලි එක්ක සෙල්ලම් කරන්නේ කොහොමද මං. දැන් ටෙලියක් කරනවා කියන්නේ පිස්සු හැදෙන කේස් එකක්. විකාශය කරගන්නත් කොච්චර ලෙඩ ටිකක් දාගන්න වෙනවද.

ඔය චැනල්වල ඉන්න ලොකු ලොක්කො මහේන්ද්‍ර අයියගේ සමීප මිත්‍රයොනෙ? ඔබ නාට්‍යයක් නිර්මාණය කරලා දුන්නොත් ඔවුන් විකාශය නොකර ඉන්න එකක් නැහැ?
ඔය හැඳුනුම්කම් සියල්ල ඒ අයගේ ප්‍රතිපත්තිවලට යටයි. එහෙන් මෙහෙන් තැලිලා පොඩි වෙලා කොටු වෙලා ඇඹරිලා තමයි නාට්‍ය කරන්න වෙන්නේ. ඊට වඩා හොඳයි මෙහෙම ආතල් එකේ මුකුත් නොකර ඉන්න එක. හැබැයි මෙහෙම අයිඩියා එකක් තියෙනවා

මං ඔය අශෝකලාගේ, විමුක්තිලාගේ චිත්‍රපට බලද්දී උන් උන්ට ඕන දේවල් ඒ ඔස්සේ කියනවානේ. ස්වාධීනව උන් ඒවා කරලා. මමත් චිත්‍රපටයක් කළා නම් එහෙම ස්වාධීනව මට ඕන දේ කරන්න පුළුවන්. ටෙලි නාට්‍ය වගේ නෙවෙයිනෙ, අන්න ඒ හින්දා චිත්‍රපටයක් කරන්න අයිඩියා එකක් තියෙනවා. බලමුකො.

ඔබේ ගුරුවරයා, ඔබේ වීරයා, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා. එතුමාණන් ඔබට ලබා දුන් ගුරුහරුකම් අතරින් ජීවිතයට වඩාත් බලපෑම් කළ වදන් පේළිය මතකද?
එය හොඳටම මතකයි. 'හැකි ඉක්මනින් ආධුනික ගතියෙන් මිදෙන්න' කොහොමද ලොක්කගෙ අයිඩියා එක. හැකි ඉක්මනින් ආධුනික ගතියෙන් මිදියන්. එතුමා මට අදහස් කෝටියක් මේ එකම වාක්‍යකින් ලබා දුන්නා.

ගාමිණී ෆොන්සේකාගෙන් හොරා ගත් දේවල් මොනවද තියෙන්නේ?
හොරා ගන්න හැදුවා  ඒත් බැරි වුණා. ඒක තමයි වෙලාවට වැඩ කරන එක.

මහේන්ද්‍ර පෙරේරා බිහි කරපු හොඳම ගෝලයා කවුද?
නිශ්චික උත්තරයක් මම තවම හොයනවා.

දසුන් පතිරණ?
දස්සා නළුවෙකු වීම ගැන සතුටුයි. ඊටත් වඩා ඌ විෂයානුබද්ධව ඉන්න එක ගැන සතුටක් තියෙනවා. අදටත් මං දස්සව හම්බු වුණොත් ඌට අභ්‍යාස කරවනවා. අඩුපාඩු තැන් කියනවා.

ඔබ හා දසුන් එකම වේදිකාවේ අවස්ථා කිහිපයකදීම හොඳම නළුවා සඳහා නිර්දේශ වෙනවා. එක්තරා තැනකදි ඔහු ඔබ පරාද කරනවා?
පරාදවීමක් නෙවෙයිනෙ  විනිශ්චය මණ්ඩලයේ තේරීම මොනවා වුණත් ඌයි මමයි එකට තරඟ වැදීම හරි සුන්දරයි. එක දිගටම එහෙම වුණානේ.

හිරු සම්මාන උලෙළේ දස්සා ගත් හොඳම නළු සම්මානය ඔබට ප්‍රදානය කරනවා. ඔබ එය බාර ගන්නවා. නමුත් විය යුත්තේ ඒ සම්මානය යළි ඔහුටම බාරදීම කියලයි මට හිතෙන්නේ?
දෙනෝ දාහක් ඉස්සරහ දණ නවලා ඌ මට සම්මානෙ දෙන්න කතා කරද්දී මං නොගියා නම් ඌ එතෙන්දි අපහසුතාවයට ලක් වෙන්න තිබුණා. ඌ හිත හොඳින්නෙ එහෙම කළේ. මං ඒ වෙලාවේ කිව්වේ දස්සව හොඳම නළුවා කළ චිත්‍රපටයේ ඩිරෙක්ටර්ට ඒ සම්මානය දෙමු කියලා. එයා ආවේ නැහැනෙ ගන්න.

කෝ දැන් ඒ සම්මානය?
මෙහෙ තියෙනවා.

විශාල ගෝලයින් සංඛ්‍යාවක් බිහි කළ ඔබේ රංග ශිල්ප ශාලිකාවට අද ඉබි යතුරු දාලා?
බැහැ මේවා කරන්න. අලුත් උන් අමාරුවේ දාන්න බැහැ. ඔය දස්සා දෙදහස් හතරෙ ඉඳලා මගෙත් එක්ක ඉඳලා මං ගාව ඉන්නවා. ඌ සම්මාන ගත්තේ දෙදහස් දහ අටේදී. ඒ කාලය තුළ දී දසුන් කොතරම් දේවල් රංගනය නිසා අත හරින්න ඇතිද. මගෙ අප්පේ හිතා ගන්නවත් බැහැ මචං. අද එහෙම එවුන් කෝ, දස්සා එහෙම හොඳම නළුවා සම්මානෙ අරන් ගෙදර ඉන්නකොට අද ඊයේ ආව උන් නිකම් රඟපානවා. දස්සාට වැඩවලට කතා කරනවා. ඌ දැන් සම්මාන ගත්ත එකානෙ. කලින් ගානට රඟපාන්නත් බැහැනෙ. ඉතින් ඌ තමන්ගේ වටිනාකම කියනවා. ඌට ඒ ගාන දීලා ඒ වැඩේට ගන්න බැහැ කියනවා. බජට් ප්‍රශ්න. ඌ ගෙදර. මං කිව්වා අලුත් කට්ටියට උඹලා මේ රංගනය කිය කිය මෙතනට වෙලා වාතවෙවී ඉන්න එපා. අයි. ටී. කෝස් එකක් කරපං කියලා. ජීවිතයේ දේවල් ලබා ගන්න බැරි වෙනවා මෙතනට වෙලා හිටියම කියලත් කිව්වා.

මොකද මේ ක්ෂේත්‍රයට වෙලා තියෙන්නේ?
තමන්ගේ බඩ වඩා ගැනීමනෙ මෙතන වෙලා තියෙන්නේ  හොඳ තිර රචකයින් නිහඬයි. නළු නිළියන් නිහඬයි. උන්ට කරන්න දෙයක් නැහැ. කිරි දොවනවා වගේ වැඩ කරන නළු නිළියන්ගෙන් වැඩ ගන්නවා. හැකියාව තියෙන එකා ගෙදර. ඒක හරියට මේ වගේ. අපේ ගෙදර ඇඳුම් ගොඩක් තියෙනවා, ඒත් යන්න පාර්ටි නැහැ.

සතියේ දින පහේම එකම නාට්‍යය විකාශය වීම ගැන ඔබ තදින්ම විරුද්ධ වූ කෙනෙක්. ඒ වගේම චිත්‍රපට ශාලාවක ෂෝ ටයිම් හතරක් නොතිබිය යුතුයි කියන මතයක ඉන්නවා?
ලෝකෙ කොයි රටකද  එක ශාලාවක චිත්‍රපට හතරක් පෙන්වන්නේ. එහෙම කොහේවත් නැහැ. මේක නිසා කවුද අපහසුතාවයට පත් වන්නේ, සාමාන්‍ය ප්‍රේක්ෂකයායි. මමත් දවසක් අමාරුවේ වැටුණා චිත්‍රපටයක් බලන්න ගිහින්. මගේ චිත්‍රපටයක් බලන්න කියලා දහවල් දර්ශනය ඇති වෙලාවට ගියා. යද්දි පෙන්නන්නේ ඉංග්‍රීසි මඟුලක්. මගේ චිත්‍රපටය උදේ පෙන්නුවලු කපල්වලට. කපල් ඇවිත් බලනවද බං චිත්‍රපට. උන් වෙන වෙන මඟුල්නෙ කරන්නෙ. ඉතින් කොහොමද අලුත් පරපුරක් බිහි වන්නේ. කවුද අපේ රඟපෑමක් බලලා විවේචනයක් කරන්නේ. ඉස්සර මතකද උඹට සම්භාව්‍ය පස්වැනි මණ්ඩලය කියලා එකක් තිබුණා. මිනිස්සු දන්නවා එතනට එන්නේ කලාත්මක චිත්‍රපට කියලා. වෙනමම තරුණ කණ්ඩායමක් හැදුණා පස්වැනි මණ්ඩලයේ සිනමාපට බලන්න. ඒවා බලලා ඒවගේ නිර්මාණ කරන්න හිතාගෙන සිනමාවට යොමු වෙච්ච අය මගේ අප්පේ කොච්චරක් නම් හිටිය ද. ටෙලිවිෂනයෙත් ඒකමනෙ මේ වෙලා තියෙන්නේ. දවස් පහේම එකම නාට්‍යය පෙන්වනවා. මිනිස්සු ඉබේම ඒකට හුරු වෙනවා. දන්නවා මචං වෙන කරන්න දෙයක් නැහැ කියලා. ඒක හරියට සමස්ත සමාජයම ගල් අරක්කු බොනවා වගේ වැඩක්. එකෙක් කියනවා ගල් අරක්කු සෝඩා එක්ක රහයි කියලා. ඔක්කොම උන් ඒක බොනවා. ඔක්කොම උන් එහෙම බොනවා. ඔය අස්සේ තවත් එකෙක් දෙනවා ගල් අරක්කුවලට ෆෘට් ජූස් දාලා. ඒකත් බොනවා. මොනවා වුණත් මචං අන්තිමේ ඔක්කොම බීලා තියෙන්නේ ගල් අරක්කු.

ප්‍රසාද් සමරතුංග