දිනූ ජය හෑල්ලු කළ බුකි විවේචනවලට මහාමායා දියණියන්ගෙන් උත්තර

කන්ද උඩරට අභිමානවත් දියණියන් පස්දෙනකු ගැන පසුගිය සතියේම සමාජ ජාලා තුළ දැඩි කතාබහක් ඇතිවන්නේ ඔවුන්ගේ පාස‍ලේ වර්ණ ප්‍රදානෝත්සවයට ගිය මොහොතේ ගත් ඡායාරූපයක් කරළියට ඒමත් සමගය.

ලක්බිමේ හෙළ බොදු කුල කතුන්ගේ මුඳුන් මල්කඩ වූ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ දැරියන්ගේ
ආත්ම ශක්තිය විදහා ලන්නට මෙය මහඟු රුකුලක් විය.

මහනුවර රොබරෝසියා පාරාදීසයක පිහිටා ඇති මහමායා විදු පියසෙන් බිහිවූ දක්ෂ දැරියන් අතරේ සිටි දෙස් විදෙස් තරගවලින් රටට කීර්තියක් අත්කර දුන් දැරියන් පස්දෙනකු ගැන මෙම කතාබහ ඇතිවිය.

සැබැවින්ම තමන් දුක් මහන්සි වී තම ආත්ම ශක්තිය විදහාලමින් මහමායා මවුන්ගේ නාමය බබළවන්නට එකී දැරියන් කළ මෙහෙවර අපමණය.

එවන් මෙහෙවරක් කළ දැරියන් තම දක්ෂතාවලින් ලබාගත් පදක්කම් බ්‍ලේසරයේ රඳවාගෙන ආඩම්බර ලීලාවෙන් තම පාස‍ලේම වර්ණ ප්‍රදානෝත්සවයට එන්නේ ඔවුන් පාසලට ආඩම්බරයක් වූ අභිමානවත් දියණියන් වූ නිසාය.

විදෙස් රටවල පාසල්වල උත්සවවලදී මෙවන් දර්ශන දැක ගන්නට තිබුණද මෙම දැරියන් පස්දෙනාගේ ඇද කුද සොයමින් සමාජ ජාලා තුළ බොහෝදෙනා හැසිරුණේ රටක් වශයෙන් අප ආඩම්බර විය යුතු මොහොතකය.

මේ නිසාම සමාජ ජාලා තුළ කතාබහට ලක්වූ දැරියන් පස්දෙනා සොයා ඔවුන් රටටත්, විදුහල් මෑණියන්ටත් ලබාදුන් කීර්තිය ගැන රටට හෙළි කරන්නට අප සිතුවේ එයද සමාජ වගකීමක් නිසාය.

පසුගිය විසි වසර පුරාවටම සමස්ත ලංකා පිහිනුම් ශූරතාවය දිනා ගන්නට මහනුවර මහමායා බාලිකා විදුහලට හැකිවන්නේද මෙම දැරියන් පස්දෙනා ඇතුළු අනෙකුත් දැරියන්ගේ දක්ෂතාවත්, විදුහල්පතිවරියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ දක්ෂතාවත් නිසා බව කිව යුතුමය. එම දැරියන්ගේ දක්ෂතාවය ගැන අප මුලින්ම විමසුවේ මහමායා බාලිකාවේ ප්‍රධාන පිහිනුම් උපදේශක සුදත් උයනහේවා මහතාගෙනි.

මහනුවර මහමායා බාලිකාවේ මෙන්ම ධර්මරාජ විද්‍යාලයේද ප්‍රධාන පිහිනුම් උපදේශක වන හෙතෙම වසර දහඅටක් තිස්සේ මෙම පාස‍ලේ උපදේශකයා ලෙස කටයුතු කරන්නේය. සුදත් උයනහේවා මෙන්ම ඔහුගේ වැඩිමල් සොහොයුරු පෙම්ලත් උයනහේවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රධාන පිහිනුම් උපදේශක ලෙස කටයුතු කිරීමත්, බාල සොහොයුරු ජගත් උයනහේවා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පිහිනුම් උපදේශක ලෙසත් කන්ද උඩරටටම පිහිනුම් ශූරයන් බිහිකරන්නට කරන කැපකිරීමත් විශේෂත්වයකි.

මම මහමායා බාලිකා එකේ අවුරුදු දහනවයක් පිහිනුම් උපදේශක ලෙස කටයුතු කරනවා. එදා මෙදා තුර දක්ෂ දැරියන් රැසක් විදුහලෙන් බිහිවුණා. ඒ අය ජාත්‍යන්තර මට්ටමේ මෙන්ම ජාතික මට්ටමේ තරගවලදිත් වාර්තා රැසක් බිහිකළ දැරියන්. මේ සතියේ කතාබහට ලක්වුණු නිසලී දිසානායක, විනෝලි සිරිවර්ධන, තිළිණි තෙන්නකෝන්, කේෂානි කෝනේෂරාජ් යන දැරියන් සිව්දෙනාම ජාත්‍යන්තර මට්ටමේ තරගවලටත් සහභාගි වූ දැරියන්. ඒ අය එක්ක ඉන්න නෙතුනි ද සිල්වා ජාතික මට්ටමේ තරගවලදිත් දක්ෂතා පෙන්වූ දැරියක්. මේ වගේ දක්ෂතා දැක්වූ කනිෂ්ඨ හා
‍‍‍ජ්‍යෙෂ්ඨ දැරියන් අසූදෙනකු පමණ පාසලට කීර්තියක් ගෙන දෙන්නට කටයුතු කළා.

සමස්ත ලංකා පිහිනුම් ශූරතාවය අවුරුදු විස්සක් එක දිගටම දිනාගන්න මහමායා බාලිකාවේ දැරියන්ට හැකිවුණා. මේ දැරියන්ගේ දක්ෂතාව පෙන්වන්න තියෙන්නේ තමන් දුක් මහන්සියෙන් දිනාගෙන ගෙදර තියෙන මෙඩ්ල් ටිකයි. කලර්ස් නයිට් එකට පැලඳගෙන ඇවිත් තමන්ගේ අභිමානය පෙන්වන්න තියෙන්නෙත් මේකයි. මේ අයව දැක්කම ජූනියර්ස්ලා තවත් මෝටිවේට් වෙනවා. ඒ මෝටිවේෂන්  එක අනාගතයට තවත් දක්ෂයන් බිහි කරන්න වැදගත් වෙනවා. ඇත්තටම මේ දරුවන්ගේ ගෙදරට ගියොත් ඇරෙන්න ඔවුන්ගේ දස්කම්වලට ලැබුණු පදක්කම් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ෆේස්බුක්වල මොනා ගියත් අපේ දරුවන්ගේ දක්ෂතාව තමයි විදහා දක්වන්නේ යැයි පිහිනුම් උපදේශක සුදත් උයනහේවා මහතා ආඩම්බරයෙන් කියාපාන්නේය.

මහාමායා මවුන්ගේ නාමය බබළවන්නට කටයුතු කළ අභිමානවත් දියණියන් සමග කතා කරන්නටද අප සිතුවේ ඔවුන් සැබැවින්ම අගය කළ යුතු නිසාවෙන්ය.

නිසලි දිසානායක පාස‍ලේ පළමු පන්තියේ පටන්ම පිහිනුම්වලින් දක්ෂතා දැක්වූ දැරියක වූවාය.
මම එකේ පන්තියේ ඉඳන් හතේ පන්තිය දක්වා හිල්වුඩ් එකේ ඉගෙන ගත්තේ. අවුරුදු හතේදී ලය ආර තරගාවලියෙන් ලංකාවෙන්ම පළවැනියා වුණා. ඒ නිසාම මාව එවකට මහාමායා බාලිකා විදුහල්පතිනිය හිටපු අයි. විතානච්චි විදුහල්පතිනිය විසින් මහාමායා එකට අරගත්තා. එතැන් පටන් වත්මන් විදුහල්පතිනි හිමාලි සේනාධීර මැඩම් යටතේත් අපි දක්ෂතා පෙන්නුවා.

නවය ශ්‍රේණියේදී සාර්ක් තරගාවලියේ පිහිනුම් තරග සඳහා යාමට සංචිතයටත් තේරුණා. 2016දී දකුණු ආසියානු තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ රටවල් හයක් සමග තරග කරලයි. ලංකාවේදීත් ශූරතා හතක් දිනා ගත්තා. ඒ වගේම දෙකේ පන්තියේ ඉඳන් සමස්ත ලංකා තරගවලින් එක, දෙක, තුන ස්ථානවලට එන්න පුළුවන් වුණෙත් අපි කළ කැපවීම නිසයි.

විද්‍යාලයේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළ නිසලි සෑමවිටම අධ්‍යාපන කටයුතුවලටත් මුල්තැන දුන්නේය. පසුගි වසරේ වාණිජ අංශයෙන් උසස් පෙළට පෙනී සිටිමින් ‘ඒ’ සාමාර්ථ දෙකක් සහ ‘බි’ සාමාර්ථ දෙකක් ගත්තේද ක්‍රීඩාවට මෙන්ම ඉගෙනුමටත් කාලය වෙන් කරගත් නිසාය.

අපි උදේ පාන්දර 4.30 ඉඳන් ස්විමින් පැක්ට්‍රිස් කරලා රෑ 8.00-9.00 වෙනකම්ම එය ප්‍රගුණ කරනවා. ඒ මහන්සිය නිසා ලැබුණු මෙඩ්ල් තමයි අපි පැලඳගෙන ගියේ. මම මේ වෙනකන් මෙඩ්ල් තුන්සියයක් පමණ දිනාගෙන තියෙනවා.
තිළිණි තෙන්නකෝන් පිහිනුම් ශූරියක ලෙස පළමු පන්තියේ පටන් ගමනක් ඇරඹූ තවත් දැරියකි. ජාතික ශූරතාවලියේ පදක්කම් දිනා ගන්නට පාස‍ලේ තුනේ පන්තියේ පටන් ඇය දක්ෂ වූවාය. පසුගිය ඔක්තෝබර් 26දා මහනුවර මහාමායා බාලිකා විදුහ‍ලේදී පැවැති වර්ණ ප්‍රධාන රාත්‍රියේදී තිළිණි, නිසලි, විනෝලි, නෙතුනි, කේෂානිද වර්ණ ප්‍රදානයන් සඳහා උරුමකම් කීවාය.

අපි ස්කූල් කලර් නයිට් එකට ආපු වෙලාවේ ආපු අය ගත්ත ‍පොටෝස් ෆේස්බුක්වලට දාලා තිබුණා. ඒක ගැන තමයි හැමෝම කතා කරන්න ගත්තේ. සෝෂල් මීඩියාවල මේවා අපි ගත්ත පදක්කම් ‍නෙවෙයි කියලා සමහරු කියලා තිබුණා. ඒත් අපි ‍පොඩි කා‍ලේ ඉඳන් පීනලා, අමාරුවෙන් පැක්ට්‍රිස් කරලා ගත්ත ඒවායි අපි ගහගෙන ආවේ. යැයි තිළිණි පවසන්නීය.

ඇය පිහිනුම් තරගවලින් පාසලට ජාතික මට්ටමේ පදක්කම් දිනා දෙන්නට කැපවුණු අතර පදක්කම් සියයකට වඩා දිනා ගන්නට දස්කම් දැක්වූවාය. ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් උසස් අධ්‍යාපනයද ජය ගන්නට තිළිණිට හැකි වන්නේය.

නෙතුනි ද සිල්වා මොවුන් සමග සිටි තවත් දක්ෂ පිහිනුම් ශූරියකි. ඇයද දෙකේ පන්තියේ සිටම ජාතික පාසල් තරගාවලි සඳහා එක්ව දක්ෂතා දැක්වූ පිහිනුම් ශූරියක වූවාය. ස්වීමින්වලින් දැක්වූ දක්ෂතා නිසා අපේ පාසලට සමස්ත ලංකා පිහිනුම් ශූරතාව වසර විස්සක් ගෙන දෙන්නට අපි සියලු දෙනා කැප වුණා. ඒක පාස‍ලේ හැමෝම ලබපු ජයක්. යැයි නෙතුනි පවසන්නීය.

ක්‍රීඩාවලට වැඩි කාලයක් යොමු කළද උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටිමින් අධ්‍යාපන කටයුතු මගහැර නොගත් නෙතුනි විභාගයට මාසයක් තිබියදීත් පිහිනුම් තරගාවලි සඳහා එක් වූවාය.

මෙම දැරියන් පස්දෙනා අතර සිටින විනෝලි සිරිවර්ධන දැරිය වයස අවුරුදු දහතුනේදී මීටර් පනහ පසුපස ආර ශ්‍රී ලංකා වාර්තාවක්ද තබන්නට සමත් පිහිනුම් ශූරියක වූවාය.

මම අවුරුදු හයේ ඉඳන් ස්විමින් කළා. 2011 දී ආසියානු තරගාවලියටත් සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකා පාසල් නැගී එන ක්‍රීඩිකා ලෙසටත් නිර්දේශ වුණා. 2016 දී සවුත්ඒෂියන් ඇත්ලටික් චැම්පියන් ෂිප් එකේදී සිල්වර් මෙඩ්ල් තුනක්, බ්‍රෝන්ස් මෙඩ්ල් දෙකක් හම්බ වුණා. ගිය අවුරුද්දේ දක්ෂතම ක්‍රීඩිකාවත් වුණා. මේ සියල්ල අතරේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළත් සමත් වුණා.

අවුරුදු හයේ ඉඳන් අපි දුක් මහන්සි වෙලා ගත්ත පදක්කම් තමයි කලර්ස් නයිට් එකට ඇඳගෙන ගිය බ්‍ලේසර එකේ තිබුණේ. යැයි විනෝලි සිරිවර්ධන පවසන්නීය.

කේශානි කෝනේෂරාජ් මෙම කන්ඩායම සමග සිටි අනෙක් පිහිනුම් ශූරිය වූවාය. ඇයද වාණිජ අංශයෙන් පසුගිය වසරේ උසස් පෙළට පෙනී සිටි දැරියක වූවාය.

අපි ‍පොඩි කා‍ලේ ඉඳන් ගහපු මෙඩ්ල් එක්ක කලර්ස් නයිට් එකට ගිය ‍පොටෝ සෝෂල් මීඩියාවල වැරදි විදිහට පළ කෙරෙද්දී අපිට දුක හිතුණා. මේවා අපි දුක් විඳලා ගත්ත පදක්කම්.

දකුණු ආසියානු තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කේෂානිද අන් දැරියන් පරයමින් ජාතික මට්ටමේ වාර්තා තබන්නට වූවාය. ජාතික පාසල් ඇතුළු තරගාවලි සඳහා පාස‍ලේ එකේ පන්තියේ පටන් දැක්වූ දක්ෂතාවන් නිසා ඇය මෙම පදක්කම්වලට උරුමකම් කීවාය.

අසූහය වසරක ඉතිහාසයක් ඇති මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ නාමය බබළවන්නට මෙම දැරියන් කළ මෙහෙවර අපමණය. එවන් තවත් දරු දැරියන් දහස් ගණනක් රට පුරා පාසල්වල දකින්නට ඇත. ඔවුන් දෙස්, විදෙස් තරගවලට එක්වෙමින් පාසලට මෙන්ම රටටද කීර්තියක් අත්කර දෙමින් දක්වන දක්ෂතාවන් ජාතියක් වශයෙන් රටක් වශයෙන් අප අගය කළ යුත්තේය.