ඒ ලෙවල් චිත්‍රපටයේ අහිංසාට දෙවැනි වතාවටත් ඇගැයීමක්

ළහිරුකාට පසුගිය දවසක ඇගැයීමක් ලැබුණානේ ඒ ගැන මුලින්ම කියමු

ඔව්. ඒ ලෙවල් චිත්‍රපටයේ මගේ රංගනයට කුසලතා සම්මානයක් ලැබුණා හිරු රන් සම්මාන උළෙලෙදී.

පළමු රංගනයට මේ වගේ ඇගයීම් ලැබීම ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි. ඒ වගේම පුදුමයි.


මේ ළහිරුකාට ලැබුණු පළමු ඇගැයීම නෙවෙයි නේද?

මට මුල්ම සම්මානය ලැබුණේ දෙරණින්. ඒකත් ජූරි සම්මානයක්. ඒත් හිරු රන් සම්මාන උළෙලින් ආරාධනා පත්‍රයක් එයි කියලා හිතුවේ නැහැ. සම්මාන උළෙලට ආරාධනා පත්‍රයක් ලැබුණා වගේම මට ඇගැයීමකුත් ලැබුණා. ඒක ඇත්තටම මට පුදුමයක්.

ඒ කියන්නේ ඇගැයීමක් ගැන විශ්වාසයක් තිබුණේ නැද්ද?

සම්මාන උළෙලෙදී කුසුම් රේණු ඇන්ටිට සම්මානය දීලා ඉවර වෙලා ලොකු විස්තරයක් කිව්වා. මම හිතුවෙ නැහැ ඒ මම ගැන කියලා. ඊට පස්සේ "ඒ ලෙවල්" චිත්‍රපටය කියලා කිව්වම මම හිතුවේ ඒ සම්මානය උමාලි අක්කිට කියලා. පස්සෙ අහිංසාගේ චරිතය කිව්වම මාව උඩ ගියා හුඟක් පුදුම හිතුණා.

රංගනය කියන්නේ ඔයාගේ ජීවිතයට අහඹු දෙයක් නේද?

ඔව්. ඇත්තටම මම රඟපාන්න හිටිය කෙනෙක් නෙවෙයි. ඒත් අහම්බෙන් රංගනයට එන්න අවස්ථාව ලැබුණා.

"ඒ ලෙවල්" චිත්‍රපටයෙන් පස්සෙ තවත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?

ඔව්, ඒත් මේ අවුරුද්දෙ මම උසස් පෙළ කරපු නිසා ඒවට සම්බන්ධ වෙන්න බැරිවුණා.

දැන් ආයෙත් නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවාද?

හොඳ චරිතයක් ලැබුණොත් භාර ගන්නවා.

හොඳ චරිතයක් කියලා අදහස් කළේ?

මම සම්බන්ධ වුණ පළමු චිත්‍රපටයේ වගේ හැමෝටම මතක හිටින චරිතයක් වෙන්න ඕනෙ. ඒ වගේම කතාවත් ඉතින් හොඳ එකක් වෙන්න ඕනෙ.

පුංචි තිරයේ නිළියක් වෙන්න කැමැති නැද්ද?

නාට්‍යවල රඟපාන්න නම් මම ඒතරම් කැමැත්තක් නැහැ.

ඒ ඇයි?

කොහොමටත් මම ලොකුවට නාට්‍ය බලන කෙනෙකුත් නෙවෙයි. අනිත් එක මෙගා නාට්‍යවලට යන්න මම කැමැති නැහැ. කෙටි නාට්‍යයක් ලැබුණොත් හොඳයිද බලලා කරනවා.

"මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්නත් ළහිරුකාට ආරාධනා ලැබුණා කියලා ආරංචියි?"

මියුසික් වීඩියෝ එකකට කතා කළා. ඒත් එයාලා ඒ ගැන හරියට විස්තර කිව්වේ නැහැ. මට දෙපාරක් තුන්පාරක් කතා කරලා එන්නම කිව්වා. ඒ රූගත කිරීම තිබුණෙ මාතලේ. අනෙක ඒ දවස්වල මම හිටියේ කොළඹ. ඉතින් යන්න වුණේ නැහැ.

වේදිකා නිර්මාණයකට එකතු වෙන්න අවස්ථාවක් ලැබුණොත්?

මේ ප්‍රශ්නෙ දැන් අහනකම්ම මට ඒ ගැන හිතුණේ නැහැ. ඒත් මම පාසල් වේදිකාවට සම්බන්ධ වෙලා තියෙනවා. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට වගේම මධ්‍යම පළාත් නාට්‍ය උළෙලවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියෙදි ඒ වගේ ආරාධනා ආවොත් හිතලා බලනවා.

ළහිරුකා ඉදිරියට යන්න රංගනය තෝරා ගන්න එකක් නැද්ද?

රංගන ක්ෂේත්‍රයෙන් නම් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැහැ. විනෝදාංශයක් වගේ තමයි රංගනයට දායක වෙන්නෙ.

රංගන ක්ෂේත්‍රය ඔයාට ගැළපෙනවා කියලා හිතෙනවද?

රංගන ක්ෂේත්‍රය මට ගැළපෙනවද කියලා තාම අදහසක් නැහැ. හැමෝම තේරුම් අරගෙන හිටියොත් ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන් ඉතින්.

"ඒ ලෙවල්" චිත්‍රපටයෙ හිටිය අය එක්ක තාමත් යාළු මිත්‍රකම් තියෙනවද?

ඔව්. අපි අදටත් කතා කරනවා. චිත්‍රපටයේ ළමයි ඔක්කොම 27 ක් විතර හිටියා. ඒ හැමෝම එක්ක තවම මම කතා කරනවා.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

මම ඉගෙනගත්තෙ වාණිජ විෂය. ඉගෙනීම් කටයුතුවලට මුල්තැනක් දෙන්න තමයි මම හිතාගෙන ඉන්නෙ.

ලක්ෂිකා දිව්‍යාංජලී
වීරකෝන්