කාලයකට පස්සේ තමයි කලා කටයුතුවලට එකතු වුණේ

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයක දකින කිෂානි අලංකි පෙරේරා තරුණ පිරිස් වඩාත් ආදරය කරන රංගන ශිල්පිනියකි. ගීත රූප රචනා හරහා කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය දැනට ටෙලි හා සිනමා නිර්මාණ රැසකටම සිය දායකත්වය සපයා ඇත. මේ දිග හැරෙන්නේ ඇය  අප සමග කළ කතා බහයි.

කාලයකට පස්සේ කිෂානිව අපි ටෙලි නිර්මාණවලින් දකිනවා?
ඔව්, පසුගිය කාලයේ ව්‍යාපාරික කටයුතු නිසා ගොඩක් කාර්ය බහුල වුණා. ටෙලි හා සිනමා නිර්මාණ රැසකට ආරාධනා ලැබුණත්, කාර්යබහුල වෙලා හිටිය නිසා ඒ නිර්මාණවලට එකතු වෙන්න
බැරි වුණා. දැන් නම් ටිකක් විතර ව්‍යාපාරික පැත්තෙන් කාර්ය බහුලත්වය අඩු වෙලා තියෙනවා. මොකද, මගේ අම්මාගේ උදව් ලැබෙන හින්දා.

දායක වෙන ටෙලි නිර්මාණ ගැන කතා කළොත්?

ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘පැකේජ්’ හා ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ‘රාහු’ කියන ටෙලි නාට්‍යය දෙකේ මාව මේ දිනවල දකින්න පුළුවන්. ‘පැකේජ්’ ටෙලි නාට්‍යයේ මම ‘මිඩීයාෆර්ම්’ එකක වැඩ කරන තරුණියක් විදිහට රඟපානවා. එහි මම රඟපාන්නේ ‘ප්‍රභාෂි’ ගේ චරිතය. ‘රාහු’ ටෙලි නාට්‍යයේ ‘පූර්ණිමා’ කියන වෛද්‍යවරිය විදිහට රඟපානවා. මේ චරිත දෙක ගත්තොත් එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඒ වගේම තමයි කාලයකට පස්සේ මට රඟපාන්න ලැබුණ හොඳ චරිත දෙක්ක කිව්වොත් හරි.

ලැබෙන චරිත තෝරා ගැනීමක් කරනවාද?

ඔව් අනිවාර්යයෙන්ම. මට කරන්න පුළුවන් දේ විතරයි මම භාර ගන්නේ. බැරි දෙයක් භාර අරගෙන කරලා වැඩක් නැහැනේ. මම කරන චරිතයට සියයට සියයක් සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන චරිත තමයි මම භාරගෙන වැඩ කරන්නේ. ‘පැකේජ්’ ටෙලි නාට්‍යයේ ‘ප්‍රභාෂි’ වගේම ‘රාහු’ ටෙලි නාට්‍යයේ ‘පූර්ණිමා’ කියන චරිත දෙකම හොඳ නිර්මාණ. මම හිතනවා ඒ චරිතවලට මම උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා.

ඔබ නිතීඥවරියක් ලෙසත් පසුගිය කාලේ කටයුතු කළා?

ඔව්, ඒත් දැන් සම්පූර්ණයෙන්ම මම කාලය යොමු කරලා තියෙන්නේ මගේ සාරි ව්‍යාපාරයට. කාලයක ඉඳලා මගේම කියලා ව්‍යාපාරයක් කරන්න තමයි අදහස තිබුණේ. මගේම දෙයක් නිසා නිදහසේ වැඩ කරන්නත් පුළුවන්. ඒ අතරේ අම්මාගේ සහයත් මේකට නිතරම වගේ ලැබෙනවා. ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අතරේම කලා කටයුතුවලට දායක වෙන්නත් වෙලාවක් හදාගන්න පුළුවන්.

දැනට නිර්මාණ කොපමණ ප්‍රමාණයකට කිෂානි දායක වෙලා තියෙනවාද?

ටෙලි නාට්‍යය පැත්තෙන් ගත්තොත් දහයකට විතර. චිත්‍රපට නම් තුන හතරකට විතර. ක්ෂේත්‍රයට ඇවිල්ලා කාලයක් වුණත්, මම නිර්මාණවලට දායක වුණේ ගොඩක් අඩුවෙන්. කරපු නිර්මාණ අතරින් සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘සිතට වහල් වීම’ ටෙලි නාට්‍යයේ ‘දම්මි’ගේ චරිතය ගොඩක් මිනිස්සු අතරට ගියා.

ඔබව අපි මුලින්ම දැක්කේ ගීත රූප රචනාවක් හරහා?

ඔව්, දැනට මම ගීත රූප රචනා 20කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. අන්තිමට කළේ මධුමාධව අයියාගේ ගීතයක්. ගීත රූප රචනාවලට නම් අඩුවක් නැතිව ආරාධනා ලැබෙනවා. නමුත්, ඒ ලැබෙන ආරාධනාවල හොඳ ඒවා නැහැ. ගීත රූප රචනාවක් වුණත් මම හොඳ නිර්මාණ විතරයි තෝර ගන්නේ. එහෙම ආරාධනාවක් ලැබුණොත් සලකලා බලනවා.

බුද්ධික සේනාධීර

ඡායාරූප - චානුක කුලසේකර

gossip lanka