මුල්වරට මුහුදු ගිය තරුණයාට පහර දී කළ නවක වදය මරණයකින් කෙළවර වුණු හැටි

ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් සිටියදී අතුරුදන්වූ බව කී 18 හැවිරිදි තරුණයා ධීවර යාත්‍රාව තුළදී සෙසු ධීවරයන්ගේ පහර කෑමට ලක්ව මියගිය පසු මුහුදට දමා ඇති බව අනාවරණය වී ඇති අතර ඊට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ එම ධීවර යාත්‍රාවේ ගමන් ගත් සෙසු ධීවරයන් පස් දෙනා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ බේරුවල කරුඳගොඩ පදිංචිව සිටි තාරක අරවින්ද සිල්වා නම්
වූ 18 හැවිරිදි අයෙක්.

'සුබ පැතුම් - 4' ධීවර යාත්‍රාවෙන් ඉකුත් ඔත්තෝබර් 15 වැනිදා ධීවර රැකියාව සඳහා බේරුවල ධීවර වරායෙන් මොවුන් පිටත්ව ගොස් ඇති අතර මෙම ඝාතනය සිදු වී ඇත්තේ නොවැම්බර් 17 වැනිදා මුහුදු සැතපුම් 180ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී බව අනාවරණය වී තිබෙනවා.

ජීවිතයේ මුල්වරට මුහුදු ගොස් ඇති මෙම තරුණයාට නවක වධය දෙන මුවාවෙන් සෙසු ධීවරයන් දිගින්දිගටම පහරදී ඇති අතර නොවැම්බර් 18 වැනිදා මොහු මියගිය පසු සිරුර ධීවර යාත්‍රාවේදී දැල් දෙකක ඔතා ගල් දමා ඔහුගේ සිරුර මුහුදට දැමූ බව අනාවරණය වුණා.

මොහුගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයකු මෙම ධීවර යාත්‍රාවේ ගමන් කර ඇති අතර පවුලේ ආරවුලක් මත මින් පෙර සිදු වූ ගුටි බැට හුවමාරුවක් සහ පරණ කෝන්තරයක්ද මීට සම්බන්ධ බවට පොලිසිය සැක කරනවා.

මෙම ධීවර යාත්‍රාවේ ගමන් ගත් 58 හැවිරිදි පුද්ගලයකුගේ පුත්‍රයාද මීට මාස තුනකට පමණ පෙර ත්‍රිකුණාමලය මුහුදේදී විදේශීය සංචාරක කාන්තාවක් සමඟ 'වෝටර් ජෙට්' යාත්‍රාවකින් යමින් සිටියදී මුහුදට වැටී අතුරුදන් වී ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.

මියගොස් සිටින තරුණයාගේ මව මේ පිළිබඳව සැකයක් ඇති බව කියමින් පළමුව බේරුවල පොලිසියට පැමිණිලි කර තිබූ අතර ඒ අනුව ධීවර යාත්‍රාව බේරුවල වරායට පැමිණි පසු සෙසු ධීවරයන්ගෙන් ප්‍රශ්න කර මුදා හැර තිබුණා.

ඉන් පසු එම මාතාව මේ පිළිබඳව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමෙන් පසුව මෙම ධීවරයන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ඝාතනයේ තොරතුරු හෙළිවී ඇති බව සඳහන්.

මියගිය ධීවර තරුණයාගේ සිරුර සොයා ගැනීම සඳහා මේ වන විට නාවික හමුදා කිමිඳුම්කරුවන් ගැඹුරු මුහුදේ මෙහෙයුමක යෙදී සිටිනවා.

සැකකාර ධීවරයන් පස් දෙනා බේරුවල පොලිසියට භාරදී ඇති අතර ඔවුන් පෙරේදා (29දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.


gossip lanka