මියගිය සැමියාගේ සිරුර භාර ගන්න බිරියන් දෙදෙනකු ඇවිත් - දෙදෙනා අතම විවාහ සහතික

හෘදයාබාධයක්‌ හේතුවෙන් මියගොස්‌ සිටි 49 හැවිරිදි අයෙකුගේ මෘත ශරීරය භාර ගැනීමට බිරියන් දෙදෙනකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන් දෙදෙනා අතම නීත්‍යානුකූල විවාහ වූ විවාහ සහතික තිබීම විශේෂයක්‌ විය.

මෙසේ මියගොස්‌ තිබුණේ දකුණු කළුතර පන්විල ටෙරස්‌හි පදිංචිව සිටි කෝට්‌ටගොඩ කංකානම්ගේ
ප්‍රේමසිරි ප්‍රනාන්දු නම්වූ අයෙකි.

කළුතර තොටුමුණ හදිසි මරණ පරීක්‍ෂක එස්‌. ඒ. කුමසාරු මහතා ඉදිරියේ පැවැති එම හදිසි මරණ පරීක්‍ෂණයේදී චමිලා හර්ෂණී ජයසේකර ගුණවර්ධන (අවු.52) යන අය සාක්‍ෂි දෙමින් මෙසේ කීවාය.

මියගොස්‌ ඇත්තේ මගේ ස්‌වාමි පුරුෂයායි. අප විවාහ වී අවුරුදු 15 ක්‌ වෙනවා. අපට එක්‌ පුතකු සිටිනවා. සැමියා වෙළෙඳ නියෝජිතයකු ලෙස සේවය කළා. සැමියාත් මාත් දරුවාත් අපේ ගෙදර ජීවත් වුණා.

සිද්ධිය වූ දින උදේ මම පුතා සමග පාසලට ගියා. මා පාසල ළඟ සිටින විට මගේ අයියාගේ බිරිඳ පැමිණ මොහු වැටී රෝහලට ගෙන ගිය බව කිව්වා. මා නාගොඩ රෝහලට ගොස්‌ බලන විට සැමියා මියගොස්‌ තිබුණා.

මෙහිදී සබ්නා දීපිකා ජයසේකර (අවු.54) යන අය සාක්‍ෂි දෙමින් මෙසේ කීවාය.

මියගොස්‌ ඇත්තේ මගේ නංගීගේ සැමියායි. මා නිවසේ සිටින විට ප්‍රේමසිරි අයියා වැටිලා ඉන්නවා කියල පණිවුඩයක්‌ ලැබුණා.

මා එතැනට ගොස්‌ බලන විට ප්‍රේමසිරි අයියා පාර මැද වැටිලා සිටියා. ඔහුගේ බයිසිකලය පාරේ වැටී තිබුණා. මා කතා කළත් ඔහු කතා කළේ නැහැ. මම ත්‍රීවීල් එකකින් ඔහුව කළුතර නාගොඩ රෝහලට ගෙන ගියා.

ඔහුව පරීක්‍ෂා කළ වෛද්‍යවරයා ඔහු මියගොස්‌ ඇති බව කිව්වා.

මෙහිදී චමිලා හර්ෂණී ජයසේකර යන අය නැවත වරක්‌ සාක්‍ෂි දෙමින් මෙසේ ප්‍රකාශ කළාය.

මියගොස්‌ සිටින සැමියා මීට පෙර වෙනත් අයකු සමඟ විවාහ වී සිටියා. මේ සම්බන්ධව ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක්‌ පැවරූ අතර ඉන් සැමියා වරදකරු වුණා. ඒ අනුව මොහුගේ සිරුර පළමු බිරිඳවූ අරුමාදුර ශිරානි සිල්වා යන අයට භාරදීම අයිතියක්‌ ඇති බව පිළිගන්නවා.

මෙහිදී පානදුර නල්ලුරුවේ පදිංචි අරුමාදුර ශිරානි සිල්වා (48) යන අය සාක්‍ෂි දෙන ලදී.

මොහු දෙවන වර විවාහ කරගත් බිරිඳ පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබුණා. ඒ අනුව ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවෙන් මොහු වරදකරු වුණා. ඒ අනුව ඔහු බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා. ඉන්පසු අප ආරවුල සාකච්ඡා කර විස¹ ගත්ත බව ප්‍රකාශ කර මොහු බන්ධනාගාර ගතකරන එක නතර කර ගත්තා.

මෙහිදී ඉදිරිපත් වූ සාක්‍ෂි මත කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව මරණ පරීක්‍ෂකවරයා පැවැසුවේ හෘදයාබාධයක්‌ හේතුවෙන් සිදුවූ මරණයක්‌ බව නිගමනය කළේය.

මොහුගේ පළමු විවාහක බිරිඳට මළ සිරුර භාරදීමට තීරණය කළ මරණ පරීක්‍ෂකවරයා අවමංගල්‍යයට සහභාගිවීමට දෙවැනි බිරිඳට හා දරුවාට ඉඩකඩ ලබාදෙන ලෙසද ප්‍රකාශ කළේය.

දකුණු කළුතර පොලිසියේ සැරයන් (19444) සුසන්ත මහතා මෙහිදී සක්‍ෂි මෙහෙයවීය.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ