"පෙම්වතියක් ඉන්න අතරේ බැඳපු අක්කා කෙනෙකුත් සෙට් වුණා" කුඩු සහ මත් පෙති නිසා සල්ලං වී හිඟමනට වැටුණු මැණික් ව්‍යාපාරිකයා

අපි ඔහු ‘ලකී’ ලෙස හඳුන්වමු.

මේ පෙළගැසෙන්නේ ලකීගේ අවලස්සන කතාවයි.

‘‘මම පදිංචි වෙලා ඉන්නේ කළුතර දිස්ත්‍රික්කයේ. ඉස්කෝලේ ගියේ බස්නාහිර පළාතේ ජනප්‍රියතම පාසලකට. අපේ තාත්තා මහා පරිමාණ මැණික් ව්‍යාපාරිකයෙක්. අම්මත් ඒ ව්‍යාපාරයටම සම්බන්ධ වෙලා තාත්තට උදව් කරනවා. අම්මයි, තාත්තයි දෙන්නම ව්‍යාපාර ලෝකයේ හිටිය නිසා අක්කටයි, මටයි උපරිම නිදහස තිබුණා. අත දිග හැරලා වියදම්
කරන්න සල්ලිත් තිබුණා. ඒත් අක්කා ලැබුණු නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නෑ. මම තමයි වැරදි මාර්ගයේ ගියේ. ඉස්කෝලේ නවය වසර පන්තියේ ඉගෙනගන්න කාලේ ඉඳලා මත්ද්‍රව්‍ය ගත්තා. වැරැදි මාර්ගයට වැටීමට ප්‍රධාන හේතුව වුණේ ඉස්කෝලේ රගර් ටීම් එකට එකතුවීම තමයි...’’

‘‘ඒ කාලේ හැමදාම හවසට රගර් ෆ්‍රැක්ටිස් කරන්න ඉස්කෝලේ නතර වුණා. ඒ නතර වෙච්ච සෑම දවසකම අපි සිගරට් ගංජා බිව්වා. එතකොට ටීම් එකේ හිටිය වයස අඩුම කෙනා මමයි. ඒත් මම ගංජා සුරුට්ටු උරනකොට කවුරුවත් එපා කිව්වේ නෑ. නොදන්නාකමට දුම ඉස්පොල්ලෙ යන්නම අදිනකොට අයියලා කිව්වේ ‘මල්ලියා හොඳටම කර ගන්නවනේ‘ කියලා. එහෙම කියනකොට මට හරි සතුටුයි. අයියලා මාව මෝරා කරනවා කියලා නිකමටවත් හිතුණේ නෑ. අන්තිමේ කන්න බොන්න සේරටම වියදම මගෙන් විතරයි. එහෙම ටික දවසක් ගිහින් ෆැක්ටිස් කරන අතරේ බියර් ටින් ගෙනත් බොන්න පටන් ගත්තා. ඊට පස්සේ අරක්කු බෝතල් ගෙනත් බිව්වා. මම ඒ මොනවා කරලා ගියත් ගෙදර කිසිම කෙනෙක් දන්නේ නෑ. තම, තමන්ගේ කාමරවලට ගියාට පස්සේ නැවත එළියට එන්නේ උදේ පාන්දර. ඒ අපේ ගෙදර හැමෝම පුරුදු වෙලා හිටිය හැටියි. ඒ වාසියත් මම උපරිමයෙන් අරගෙන හොඳ හැටි යාළුවොත් එක්ක සතුටු වුණා...’’

‘‘මම කරන්නෙ වැරැදි වැඩක් කියලා හිතලා කිසිම මත්ද්‍රව්‍යයක් ගන්නේ නැතිව මාස ගණන් ඉඳලා තියෙනවා. මත්ද්‍රව්‍ය ගන්න විත්තිය මගේ කෙල්ල දැනගෙන මාත් එක්ක රණ්ඩු වෙලා, යාළුවන්ට බැණලා පිස්සු නැටුවට පස්සෙත් මාස ගානක් සිගරට් එකක්වත් නොබී හිටියා. කෙල්ලත් මගේ පස්සෙන්ම වැටී ගෙන හිටියා. කෙල්ල මට ගොඩක් ආදරය කළා. නවය වසර පන්තියේදී තමයි අපේ සම්බන්ධය පටන් ගත්තේ. දුරින් ඥාති වෙන පවුලක ළමයෙක්. අපි දෙන්නගේ හිතවත්කමට ගෙවල්වලිනුත් අකැමැත්තක් තිබුණේ නෑ. ඒත් මගේ නරක පුරුදු අතහරින්න බැරි වුණා. යාළුවොත් එක්ක පාටියකට සෙට් වෙලා කෑවා බිව්වට පස්සේ ආයෙමත් මත්ද්‍රව්‍යයට හුරු වුණා. ඊට පස්සේ එක දිගට පාවිච්චි කරනවා. ඒ මොන දේ කළත් සාමාන්‍ය පෙළ විභාගය හොඳටම පාස් වෙලා උසස් පෙළට තෝර ගත්තේ ගණිත අංශය. ඒත් ඒ වෙනකොට මම හොඳටම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා හිටියේ. දිගින්, දිගටම මතටම ඇළෙනකොට කෙල්ලත් අඬලා වැළපිලා කියන්න ඕනා හැම විදිහටම මට තේරුම් කරලා දුන්නා. ඒත් මම ඒ කාලේ කවුරුවත් කියන දේවල් ඇහුවේ නෑ. මට හිතෙන දේ මම කළා. අන්තිමේ කෙල්ලට මාව එපා වුණා. කිසිම දවසක එහෙම දෙයක් වෙයි කියලා මම හිතුවේ නෑ. ඒත් එහෙම වුණා. ඒ වෙන්වීම මට දරාගන්න අමාරු වුණා. හිතට මහා වේදනාවක් එක්ක පාළුවක් දැනුණා. දැනෙන තනිකම, වේදනාව මකා ගන්න වැඩි, වැඩියෙන් මත්ද්‍රව්‍ය ගත්තා. ඒ නිසා උසස් පෙළ විභාගයත් ගොඩ දාගන්න බැරි වුණා. එස් දෙකයි. විභාගය ෆේල්. දෙවැනි පාර විභාගය කළෙත් නෑ. තාත්තාගේ බිස්නස්වලට ජොයින්ට් වෙනවා කියලා හිතාගෙන ගෙදර නතර වුණා. ඒත් යාළුවන්ගේ ඇසුර දුරස් වුණේ නෑ. ගෙදර ඉන්නකොට වෙනදාටත් වඩා යාළුවොත් එක්ක සෙට් වෙලා ආතල් ගත්තා...’‘

‘‘අපේ ආදර සම්බන්ධය නතර වුණාට කෙල්ලට මාත් එක්ක කතා නොකර ඉන්න බැරි වුණා. එයා වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් ගෙන තියෙද්දී, අපි දෙන්නා නිතර කතා බහා කළා. ඒ කතා කරන හැම වේලාවේව කිව්වේ ‘ඔයාගේ නරක පුරුදු අතහැරලා. අපි හොඳට ඉමු’ කියලා. මමත් ඒ ගැන කල්පනා කරලා සියලූ මත්ද්‍රව්‍ය නතර කරලා මැණික් ව්‍යාපාරය සම්බන්ධයෙන් මොරටු විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවක් කළා. ඒ දැනුමත් එක්ක බාප්පා එක්ක එකතු වෙලා මැණික් ව්‍යාපාරයට ආවා. මගේ වාසනාවට හෝ අවාසනාවට එක දිගට සල්ලි ගලාගෙන එන්න පටන් ගත්තා. හොඳ පාලනයකින් මුදල් වියදම් කරලා බිස්නස් එක හොඳටම දියුණු කර ගත්තා. මගේ දියුණුව දැකලා අම්මයි, තාත්තයි පුුදුම විදිහට සතුටු වුණා...’’

‘‘උදේ පාන්දරින් පටන්ගෙන හවස එක විතර වෙනකොට අපේ ජොබ් එක ඉවරයි. වැඩ ඉවර වෙච්ච ගමන් මම ගෙදර ගිහින් ෆිල්ම් එකක් බලලා පාඩුවේ හිටියා. ඔහොම ඉන්නකොට නැවත පරණ යාළුවො සෙට් වෙන්න ගත්තා. ටිකෙන්, ටික පරණ පුරුදුත් පටන් ගත්තා. ටික කාලයක් යනකොට නැවත මම හොඳටම මත්ද්‍රව්‍යයට හුරු වුණා. ගංජා, අරක්කුවලින් එහාට ගිහින් මත්පෙති බොන්න පටන් ගත්තා. උදේ නැඟිටලා තේ එක බීලා ඊට පස්සෙ මත්පෙත්තක් බිව්වා. දවසට තුන් හතර වතාවක් කේ.ජී. සුරුට්ටුවක් බිව්වා. මුළු දවසම මත්ද්‍රව්‍යයත් එක්ක ඉන්න ගානට පත් වුණා. ඒත් ව්‍යාපාරය හරියට කළා. හොඳ බිස්නස් එකක් කළාම වෙනසකටත් එක්ක පිටරට ගිහින් ෆන් එකක් අරගෙන ආවා. මම අරක්කු, සිගරට් බොන විත්තිය ගෙදරිනුත් දැනගෙන හිටියා. ඒත් මම හොඳ බිස්නස්මන් කෙනෙක් නිසා අම්මා, තාත්තා ඒ ගැන වැඩිය හිතුවේ නෑ...’’

‘‘ඔය විදිහට කාලය ගෙවිලා යනකොට මගේ ගර්ල් ප්‍රෙන්ඞ් නැවත මට ළං වෙන්න පටන් ගත්තා. එතකොට එයා කැම්පස්. මම අක්කා කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන්ගෙන තිබුණේ. අලූත් සම්බන්ධය ගැන මම කෙල්ලට කිව්වා. ‘ඔයාට එයාව ගැලපෙන්නෙ නෑ...’ කියලා මගේ කෙල්ල හොඳටම මට ළං වුණා. මම කෙල්ලගේ ගෙදර ගියා. අපි දෙන්න ටුවර් ගියා. මමත් හරිම සතුටින් ජීවත් වුණා. ඒත් අක්කා එක්ක තිබිච්ච සම්බන්ධය නතර කළෙත් නෑ. ඒ අක්කා කසාද බැඳපු කෙනෙක්. ඒත් වෙඩින් එක අරගෙන තිබුණේ නෑ. ඒ අතර කාලේ තමයි මාත් එක්ක සම්බන්ධයක් පටන් ගත්තේ. ඊට පස්සේ මම කෙල්ලො දෙන්නටම ලව් කළා. පෙති වැඩියෙන් පාවිච්චි කරන්න වුණා. විශේෂයෙන්ම අක්කත් එක්ක කොහේ හරි යනකොට පෙති වැඩිපුර අරගෙන යන්න වුණා. ඔය කාලේ වෙනකොට අපේ ගමේ මගේ යාළුවො කිහිප දෙනෙක්ම හෙරොයින්වලට ඇඩික් වෙලා හිටියා. ‘යකෝ වස බොන්න එපා...’ කියලා උන්ට මම නිතර බැන්නා. බෙහෙත් අරගෙන දෙන්න වෛද්‍යවරු ළඟට අරගෙන ගියා. ඒත් උන් කුඩුවලින් ගැල වුණේ නෑ.

ඔහොම යනකොට නැවත අලූත් වෙච්ච පරණ කෙල්ල එක පාරටම වෙනස් වුණා. එයා මාව මගහැරියා. ඒ සිද්ධිය මගේ හිතට වද දෙන්න පටන් ගත්තා. මට පිස්සු හැදුණා වගේ වුණා. ඔළුව විකාර වුණාට පස්සේ මැරෙන්න කියලා හිතාගෙන පෙති, අරක්කු ඇති වෙන්න බීලා යාළුවන්ගෙන් ඉල්ලගෙන කුඩුත් බීලා. කුඩු බොන විත්තියක් මම දන්නේ නෑ. ඒ තරමට මට වෙරි.

කෙල්ලගෙන් පළිගන්න මගේ ජීවිතය විනාශ කර ගන්නම තමයි එහෙම කළේ. සතියක් දෙකක් යනකම් ඒ කාලකණ්ණි ජීවිතය ගත කළා. අන්තිමේ මම දන්නේම නැතිව කුඩුවලට ඇඩික් වෙලා. දවස ගානේ කුඩු බොන තැනට පත් වුණා. ඊට පස්සේ මගේ යාළුවො තනි තනියෙන් ඇවිත් ‘කට්ටියම ඕන නෑ අපි දෙන්නා විතරක් සෙට් වෙමු...’ කියලා මාව අරගෙන ගියා. ඒ යාළුවන්ටත් කුඩු බොන්න සල්ලි වියදම් කළේ මමයි. එතකොට අපේ ගමේ කුඩු බිස්නස් එක කළේ හමුදාවේ වැඩ කරන අයියා කෙනෙක්. එයා කෑම්ප් එකේ හිටිද්දී ගෝලයො දම්මලා වැඬේ නියමෙට කළා. ඒත් මම කුඩු බොනවා කියලා ඒ අයියා දැනගෙන හිටියේ නෑ. යාළුවන්ගේ මාර්ගයෙන් තමයි මම කුඩු ගත්තේ...’’

‘‘මම කුඩු බිව්වා කියලා බාහිර රූපය කිසිම වෙනසක් වුණෙත් නෑ. මම කොච්චර සිගරට්, ගංජා බිව්වත් තොල් දෙකවත් කළු වුණේ නෑ. මගේ රූපේට, පදින වාහනවලට හිටු කියලා කෙල්ලොත් රැවටුණා. අපේ ගමේ පොඩි නංගි කෙනෙක් මට සෙට් වුණා. ටික දවසක් යනකොට එයා මට ගොඩක්ම ළං වුණා. එයාගේ ආදරයත් එක්ක මම අක්කත් එක්ක තිබුණු සම්බන්ධයත් නතර කළා. ඒත් මට මත්ද්‍රව්‍යවලින් ඈත් වෙන්න බැරි වුණා. ඒ වෙනකොට මට කුඩු නැතිවම බැරි වුණා. කුඩු බිස්නස් කරන අයත් ගොඩක්ම සෙට් වෙලා හිටියා. මම කියන සුනංගුවට කුඩු පැකට් එකක් එවන තරමට ඒ අය මට හිතවත් වෙලා හිටියා. ඔහොම ඉන්නකොට පහුගිය අවුරුද්දේ අප්‍රියෙල් මාසේ ලොකු නැන්දා එක්ක සිංගප්පූරු ගියා. ඒ යනකොටත් මම කුඩු පැකට් දෙකක් අරගෙන ගියා. දවසක් යනකොට ඒ පැකට් දෙක ඉවර වුණා. ඊට පස්සේ මක්කරලවත් ඉන්න බැරි වුණා. ඇඟ රිදිලා උණ ගැනුණා. තව දවසක් දෙකක් යනකොට ඔළුව උස්සගෙන ඉන්නම බැරි වුණා. හිටගෙන නින්ද ගියා. ඊට පස්සේ මම යාළුවකුට කතා කරලා කිව්වා... ‘ආ... ඕක ගනං ගන්න එපා. ඇවිල්ලා කුඩු චුට්ටක් ගත්තම හරියයි...’ කියලා යාළුවා ඇඟට නොගෙන කිව්වා. මමත් ඉවසගෙන හිටියා. ලංකාවට ආපු ගමන් ගෙදර අයත් එක්ක අනුරාධපුරයේ ටි‍්‍රප් එකක් ගියා. දවස් හතරයි. ඒ ටිකෙත් කුඩු බිව්වේ නෑ. ඒ ඇවිල්ලත් සතියක් විතර කිසිම මත්ද්‍රව්‍යයක් ගන්නේ නැතිව හිටියා. ඇඟට හොඳ ෆිට් එකක් දැනුණා. එහෙම ඉඳලා දවසක් යාළුවොත් එක්ක සෙට් වුණා. අපි හතර දෙනෙක් එක්ක උදේ ඉඳලා හවස් වෙනකොට කුඩු පැකට් දහයක් බීලා තිබුණා...’’

‘‘එදා ඉඳලා ආයෙමත් දවස ගානේ කුඩු බිව්වා. ඊට පස්සේ මට තියෙන හැඳුනුම්කම් එක්ක පිටින් කුඩු ගෙනත් කෑලි කඩලා පැකට් කරලා විකුණලා අපිත් බිව්වා. ඒ කාලය වෙනකොට මැණික් බිස්නස් එකටත් වඩා හිත නතර වෙලා තිබුණේ කුඩු බිස්නස් එක ළඟ. මැණික් ව්‍යාපාරය වැටුණා. අතේ තිබුණු සල්ලි සේරම කුඩුවලටම දිය වෙලා ගියා. අත පය වැල් කූරු වෙලා, ඇස් ගිලිලා සම්පූර්ණයෙන් අවලස්සන පුද්ගලයෙක් වුණා. අමුතු ඩයල් එක්ක එහේ, මෙහේ යනකොට ගමේ අයටත් මාව චාටර් වුණා. මම කුඩු බොන විත්තිය තාත්තට, බාප්පටත් ආරංචි වෙලා තිබුණා. මදාවි යාළුවන්ව ආශ්‍රය කරන්න එපා කියලා කෙල්ලත් නිතරම මට නෝක්කාඩු කිව්වා. කෙල්ලට තියෙන ආදරයටම කිසිම මත්ද්‍රව්‍යයක් ගන්නේ නැතිව ටික දවසක් හිටියා. දවල් දවසේ කෙල්ල එක්ක ඉඳලා රෑට ගෙදර ගියා. ඒ දවස් ටිකේ පුදුම වේදනාවක් වින්දා. ඇඟ තලා දාලා වගෙයි. හොටු බේරෙනවා. මටම මාව එපා වුණා. ඒත් කෙල්ල මාව දාලා ගියේ නෑ. පස්සේ මම කෙල්ලට සම්පූර්ණ විස්තරය කිව්වා. එයා අපේ ගෙදරට කියන්න උත්සාහ කළා. ඒත් මම කියන්න දුන්නේ නෑ. මම කියන දේකට පිටින් එයා ගියේ නෑ. ඒත් කුඩු වසංගතයෙන් බේරෙන්න ඕන කියන දේ මට හොඳට තේරිලා තිබුණේ. දවසක් බාප්පා මට කතා කරලා කුඩු බොනවා නේද කියලා කෙළින්ම ඇහුවා. මම ඇත්තම කිව්වා...’’

‘‘කලබල වෙන්න ඕන නෑ. මම ගෙදරට කියන්නෙත් නෑ. මම තැනකට ගෙනියන්න, ඔයා කැමැති ද...’ කියලා ඇහුවා. මම කැමැති වුණා. ඊට පස්සේ බාප්පා ඩොක්ටර් කෙනෙක් ළඟට අරගෙන ගිහින් බෙහෙත් අරගෙන දුන්නා. ඒ හරි ගියෙත් නෑ. ඒත් මම කුඩු හොයාගෙන ගියේ නෑ. ගෙදරින් යන්න දුන්නෙත් නෑ. ඇඟට දැනෙන වේදනාවට මුළු දවසම ෆුල් එකට බැහැලා හිටිය දවස් තිබුණා. රෑට නිදාගත්තෙත් ෆුල් එක ළඟ ටයිල් පොළොවේ. කුඩු සික් එකත් එක්ක දැනෙන වේදනාව කියාගන්න බෑ. ඊට පස්සේ මම යාළුවකුට කතා කරලා තිස්සමහාරාමෙ හෝටලයක වැඩට ගියා. එහේදී හොඳ හැටි ගංජා බිව්වා. එකෙන් කුඩු සික් එකත් කැඩුණා. එහෙම ඉඳලා මාස තුනකින් විතර ගෙදර ආවා. යාළුවොත් එක්ක සෙට් වෙලා ෆන් එකේ හිටිද්දී කුඩුත් බිව්වා. ඒ පිම්ම දිගටම කුඩු බොනකොට මගේ කෙල්ල තමයි මේ පන්සල හොයාගෙන මට කිව්වේ. ඊට පස්සේ මම බාප්පට කියලා අපි දෙන්න එක්ක මෙතැනට ආවා. පහුගිය මැයි මාසේ ආවේ. දැන් මට මෙතැන ගෙදර වගෙයි. මත්ද්‍රව්‍යවලිනුත් ඈත් වෙලා ජීවිතයත් හදාගෙන තමයි පන්සලෙන් පිට වෙන්නේ...’’

‘ලකීට කිසිම අඩුවක් නැති බව සැබෑය. එහෙත් ඔහු නැවත නරක මිතුරු මිතුරියන් ඇසුරට ගියොත් වළට වැටෙන බව සිකුරුය. ඔහු ඇසුරු කර ඇත්තේ යහළු යෙහෙළියන් නොව මාරයෝය. ඔහුගේ ජීවිත කතාවෙන් ඒ බව හොඳින් අවබෝධ වේ. එමෙන්ම අද සමාජයේ සත්පුරුෂයන් දුර්ලභ බව ද සැබෑය. එහෙයින් ලකී පමණක් නොව සමාජයේ ඕනෑම කෙනෙක් මිතුරු ඇසුරේදී අතිශය බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.