මස් පුලුස්සන් කන්න බාබකිව් මැෂින් එකක් අරන් හෝර්ටන්තැන්නට ගිය අයට වෙච්ච් දේ

ආහාරයට ගැනීම පිණිස මස් පුලුස්සා ගැනීමට යොදා ගන්නා 'බාබකිව්' යන්ත්‍රයක් සහ පොල්කටු අඟුරු ආදිය රැගෙන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ කඳවුරුලාගෙන සිටි පුද්ගලයන් දහ දෙනකු වනජීවී නිලධාරීන් විසින් පෙරේදා (29දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම 'බාබකිව්' යන්ත්‍රය සහ පොල්කටු අඟුරු ආදිය රැගෙන ජාතික වනෝද්‍යානය තුළට ඇතුළු නොවන
ලෙසට අවවාද කර තිබියදී මෙම පිරිස එම උපකරණද රැගෙන රක්ෂිතයට ඇතුළු වී එහි කඳවුරු ගසාගෙන සිට ඇතැයි වනජීවී නිලධාරීන් පවසනවා

හෝර්ටන්තැන්න උද්‍යාන භාරකරු ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් පරිදි ටී.පී. දයාරත්න, ඉන්දික ආරියදාස, රවීන්ද්‍ර ලක්මාල්, කේ. යෝගචන්ද්‍රන් යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සියලු දෙනාම අලුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවන් වන අතර හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ චිමිනිපූල් ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි බව නිලධාරීන් පවසනවා.

සැකකරුවන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයකුට රුපියල් විසි දහස බැගින් සියල්ලන්ට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කර තිබේ.