ඇමරිකාවේ සිට ලංකාවට ඔලිම්පික් පදක්කමක් සොයන සුරූපිනියගේ ධෛර්යවන්ත කතාව - Photos

එලෙස පැවසුවේ, අමෙරිකාවේ පදිංචිව සිටිමින් ශ්‍රී ලංකාව නියෝජනය කරන මලල ක්‍රීඩිකාවක්. හිරුණි විජයරත්න නමැති ඇය සිය දෙමාපියන් සමග අමෙරිකාවේ පදිංචියට ගොස් ඇත්තේ, ඇය 9 වන වියේ පසු වෙද්දි.

වෘත්තියෙන් අලෙවි කළමනාකාරවරියක ලෙස අමෙරිකානු සමාගමක සේවය කරන හිරුණි සිය මලල ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වන්නේ, විවේකයක් ලද විටකයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විවිධ
ජයග්‍රහණ අත් කරගෙන ඇති හිරුණි විජයරත්න පසුගිය සෙනසුරාදා (නොවැ 03) අමෙරිකාවේදී ශ්‍රී ලංකාවේ නම බැබළවීමට සමත් වුණා.

ඒ, ඉන්ඩියානාපොලිස් මොනියුමන්ටල් මැරතන් ධාවන තරගයේ කාන්තා අංශයේ දෙවන ස්ථානය හිමි කර ගනිමින්.

කිලෝමීටර් 30 ක් දුරැති එම ධාවන තරගය හිරුණි නිම කළේ, පැය 2 විනාඩි 38 තත්පර 34 ක කාලයකින්.

ඒ අනුව, ලබන වසරේ කටාර්හිදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට ද ඇය සුදුසුකම් ලබා ගත්තා.

"මගේ ලොකු ම බලාපොරොත්තුව තමයි ඔලිම්පික් පදක්කමක් ශ්‍රී ලංකාවට ලබා දෙන එක. ඒ සඳහා මම ගොඩක් කැපවීම් කරමින් ටිකෙන් ටික ළං වෙනවා,"

හිරුණි විජයරත්න පවසනවා. මේ වසරේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී මැරතන් තරග ඉසව්වෙන් හිරුණි විජයරත්න 11 වන ස්ථානය හිමි කර ගත්තා.

"ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙන්න මුදල් සහ ගුවන් ටිකට් පත් මට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබෙනවා. ඒත් මගේ පුහුණුකරු, මගේ ආහාර වගේ අනික් වියදම් ඔක්කොම මගේ පෞදිගලික වියදමෙන් කරගන්නෙ. ඒත් මම ක්‍රීඩා කරන එක සතුටින් කරන්නෙ."

හිරුණි විජයරත්න පවසන්නේ, ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජය මගින් මීට වඩා නිසි පුහුණුවක් සහ පහසුකම් ලබා දිය යුතු බවයි.

එසේ කළහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් විශාල ජයග්‍රහණ අත් කර ගත හැකි වනු ඇති බව ඇයගේ විශ්වාසයයි.

gossip lanka