"අනුෂ්ක අයියා නිසා තමයි මේ ජනප්‍රියත්වය ලැබුණේ.." - වස්තිලාගේ වීඩියෝවෙන් ජනප්‍රිය වූ නයනි කියන කතාව මෙන්න

මේ දිනවල යූ – ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් ප්‍රචාරය වන වීඩියෝවක් තමයි වස්ති ප්‍රඩක්ෂන් නිර්මාණය කළ “වස්ති නිව්ස්”. මේ වීඩියෝ එක හරහා ජනප්‍රිය වුණු චරිතයක් තමයි නදීරා කියන්නේ. නදීරා කියනවාට වඩා “නයනි” කිව්ව ගමන් ඇයව හඳුනාගන්න පහසුයි. ඉතින් නදීරාට සාරවිට ඉඩක් වෙන් කළේ මේ විදිහට.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

මගේ නම නදීරා දෙව්කි. දැනට මම ශ්‍රී ලංකා එයාර්ලයින් එකේ ගුවන් සේවිකාවක් විදිහට පුහුණු වෙනවා. මගේ වයස අවුරුදු 23යි. මම ඉන්නේ ජා – ඇල.

නදීරා එකපාරටම ජනප්‍රිය වුණේ කොහොමද?

වස්ති වීඩියෝ එකක් නිසා. වස්ති ප්‍රඩක්ෂන් අළුත්ම නිර්මාණය වන “වස්ති නිව්ස්” එකේ නයනි කියන චරිතය නිසා.

“නයනි” චරිතය ලැබෙන්නේ කොහොමද?

අනුෂ්ක අයියා මගේ හොඳම යාළුවෙක්. මම මීට කලින් වස්ති ටැලන්ට් ෂෝ වීඩියෝ එකෙත් හිටියා. අනුෂ්ක අයියා මට කතා කරා පොඩි කොටසක් තියෙනවා එන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් එහෙම තමයි මට නයනි කරන්න අවස්ථාව ලැබුණේ. මම හිතුවේ නැහැ මේක මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. මොකද ඒ කොටස පොඩි කොටසක් නිසා.

“නයනි” චරිතය හරි හරියට සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වුණා නේද?

ඔව්. නයනි නිසා හොඳ පැත්තෙන් වගේම නරක පැත්තෙනුත් ප්‍රතිචාර ලැබුණා. මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් ෆොටෝස් අරගෙන පේජ්වල කට්ටිය එක එක පෝස්ට් හදලා තිබුණා. මම කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කළ නිසා මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මොඩ්ලින් ෆොටෝස් තිබුණා. ඒවා අරගෙන පෝස්ට් හදලා තිබුණා. මේ ජනප්‍රියත්වය මම එහෙම ලොකුවට හිතන්නේ නැහැ.

“නයනි”ට පාර තොටේදි ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩාක් වෙලාවට පිරිමි ළමයිගෙන් ප්‍රතිචාර ලැබෙනවා වැඩියි. පාරෙදි දැක්කාම පිරිමි ළමයි නයනී කියලා කෑ ගහනවා. එක්කෙනෙක් මාව අඳුනාගත්තොත් ඇති. ඊටපස්සේ වටේම ඉන්න අය වට කරගෙන කෑ ගහනවා. ගේ ළඟිනුත් යද්දි කෑ ගහගෙන යනවා සමහරු.

මේ ජනප්‍රියත්වයෙන් පස්සේ තවත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ෆොටෝ ෂූට් වලට නම් ගොඩක් ආරාධනා ලැබුණා. මේ ජනප්‍රියත්වය තියෙන වෙලාවෙම කරමු කියලා. ඒ ඇරෙන්න නම් වෙන ආරාධනා ලැබුණේ නැහැ.

නදීරා ඉදිරියේදීත් මේ වගේ වීඩියෝවලදි දකින්න ලැබෙයිද?

දැනට එහෙම අදහසක් නැහැ. කොහොමත් මම වෙන වීඩියෝවලට සම්බන්ධ වෙයි කියලා කියන්න අමාරුයි. බොහෝ විට මේ වීඩියෝ එක මගේ අන්තිම වීඩියෝව වෙයි.

ඒ කියන්නේ නදීරාට කලාවට සම්බන්ධ වෙන්න ආසාවක් නැද්ද?

එහෙම බලාපොරොත්තුවක් නැහැ. මගේ රැකියාව නිසා තවත් පැත්තකට කාලයක් වෙන් කරන්න බැහැ.

ගෙදරින් කොහොමද ලැබුණු ප්‍රතිචාර?

ෆේස්බුක් එකේ පෝස්ට් එහෙම අම්මාට පෙන්නුවා. එයාලටත් සතුටුයි. ගෙදර අයත් සමහර වෙලාවට විහිළු කරනවා. ගෙදර අය හිතුවෙත් නැහැ මේක එකපාරටම ජනප්‍රිය වෙයි කියලා.

නදීරාගේ ඉදිරි වැඩකටයුතු ගැන කියමු?


මගේ අධ්‍යාපන කටයුතු තවම ඉවර නැහැ. ඉතින් අධ්‍යාපන කටයුතු නිසා වෙන දේවල්වලට යොමු වෙන්න අමාරුයි. ඉතින් ඒ වැඩකටයුතු සාර්ථක නිම කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

විශේෂයෙන් මතක් කරන්න ඕන පිරිසක් ඇතිනේ?


ඔව්. විශේෂයෙන්ම ස්තූතියි කරන්න ඕනේ අනුෂ්ක උදාන අයියාට. අනුෂ්ක අයියා නිසා තමයි මේ ජනප්‍රියත්වය ලැබුණේ. අනුෂ්ක අයියා කෝල් කරලා එහෙම අහනවා දැන් සතුටුයිද කියලා. ඊටපස්සේ දුලාජ් අයියට ස්තූතියි කරන්න ඕනේ. ඒ වගේම මගේ අම්මාව මතක් කරන්න ඕනේ. වස්ති ටීම් එක, එතකොට මට හොඳ සහ නරක කමෙන්ට් දුන්නු හැමෝටමත් වීඩියෝ එක බලපු හැමෝටමත්, මගේ යාළුවන්ටත් ස්තූතියි කරනවා.

(කැළුම් දේවින්ද)