"සුදු චරිත වගේම කළු චරිතත් අපිට කරන්න වෙනවා රංගන ශිල්පිණියක් වුණාම" - ගීතිකා රාජපක්ෂ - Photos

ගීතිකා රාජපක්ෂ කියන්නේ පුංචි තිරයේ ඉන්න කටකාර චරිතයක්. ඒ නිසා ඇයට බොහෝ දෙනෙක් ආදරය කරන්න පටන් ගත්තා. පසුගිය කාලයේ විවාහ ජිවිතයට මුල් තැන දුන්න ගීතිකාව පුංචි තිරයෙන් හරියට දකින්න ලැබුණේ නැහැ. මේ ගැන ඇය පුවත්පතකට කියලා තිබුනේ මෙහෙමයි.

ගීතිකා දැන් වැඩිය පේන්න නැහැ ?

ඔව්. මම කාලයක් වැඩ කරන්නේ නැතුව හිටියා. ඇත්තටම මට එහෙම ඉන්න අමාරුයි. මම කලාවට
ගොඩක් ආදරෙයි සහ ආසයි. ඒ නිසා මම ආයෙත් වැඩ කරන්න තීරණය කළා. ඒ නිසා ඉස්සරහට නිතරම දකින්න ලැබෙයි.

විවාහය නිසා වැඩ අතපසු වුණාද?

ඔව්. මම විවාහයත් එක්ක කේෂේත්‍රයෙන් ඈත්වුණා. ඒත් මට තේරුණා රංගනය ජීවිතයෙන් ඈත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මොකද මං ඒ දේවල් ළඟා කර ගත්තේ ගොඩක් අමාරුවෙන්. ඒ නිසා මං ඒ දේවල් රැකගෙන හෙමින් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

සැමියා තහංචි දාන්නේ නැද්ද?

එයා මට එහෙම තහංචි දාන්නේ නැහැ.

මේ විදියට රංගනයෙන් ඈත් වුණාම ප්‍රේක්ෂකයන්ට ඔබව අමතක වෙනවා නේද?

ඇත්තටම මම රඟ පෑ චරිතවලට ආදරය කරන අය තවමත් ඉන්නවා. කාලයත් එක්ක අපි රූපයෙන් වෙනස් වෙනවානේ. ඒත් සමහරු තාමත් මගේ කටහඬින් මාව අදුරගන්නවා.

පවුලට වැඩි බරක් දෙනවද?

ඔව්. එහෙම තැනක් දීලා හිටියා. නැවත මම රංගනයට ආවා කියලා මගෙන් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. කලා ජීවිතේ දේවලූත් ගොඩ නගාගෙන ඉදිරියට යනවා. කලාව කියන්නෙත් මගේ ජීවිතේ.

විවාහ වුණාම අධ්‍යක්ෂකවරුන්ගෙන් ආරාධනා ලැබෙන්නේ නැහැ කියන්නේ ඇත්තද?

ඔව්” ඒක ඇත්ත. ඒකට හේතුව අද ගොඩක් තියෙන්නේ මෙගා ටෙලිනාට්‍යය. ඉතින් විවාහයත් එක්ක ඊළඟ බලාපොරොත්තුව දරුවෙක්නේ. ඉතින් ඒ වැඩ එක්ක කාර්යබහුලත්වය වැඩිවුණහම නිර්මාණයකට අසාධාරණයක් වේවි කියන බයටයි එහෙම වෙන්නේ.

ඔබට එහෙම බලාපොරොත්තුවක් තියෙනවාද?

අපෝ නැහැ. මට තව ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න තියෙනවා.

ඔබ ක්ෂේත්‍රයට එන්නේ රංගන ශිල්පිණියක් විදියටමද?

විශ්ව විද්‍යාලයේ stylish marketing pageant එකෙන් තමයි මුල්ම අඩිතාලම ලැබුණේ. එතැනින් පස්සේ මුලින්ම සම්බන්ධ වුණේ වෙළෙඳ දැන්වීම්වලට. ඊට පස්සේ ගීත රූප රචනාවලට සම්බන්ධ වුණා. එතැනින් තමයි රංගනයට ආරාධනා ලැබුණේ.

සිනමාවට ආරාධනා ලැබෙන්නේ නැද්ද?

ඒ දවස්වල නම් ගොඩක් ආරාධනා ලැබුණා. හොඳ සාධාරණයක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන් භාර ගන්නවා.
  
වැඩ බාර ගන්නේ තෝරලා බේරලාද?

එහෙම නැහැ. සුදු චරිත වගේම කළු චරිතත් අපිට කරන්න වෙනවා. රංගන ශිල්පියෙක් ශිල්පිණියක් වුණාම ඕනෑම අභියෝගයක් භාර ගන්න හැකියාව තියෙන්න ඕනෑ.

ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි තියෙනවාද?

ඕනම රැකියාවක කැපිලි කෙටිලි තියෙනවා. මේකේ විතරක් නෙවෙයි.