"සුද්ධෝදන රජු චරිතයකට පණ පොවන්න ලැබීම ඇත්තටම ලොකු අභියෝගයක්" - ගයාන් වික්‍රමතිලක - Photos

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යය ඔබව වෙනස් මුහුණුවරකින් ප්‍රේක්ෂකයින් අතරට ගෙනත්...? 

මම මීට කලින් රජ කතාවල චරිත කරලා තියනවා. නමුත් සුද්ධෝදන රජතුමාගේ චරිතය මට වෙනස්ම අත්දැකීමක්. සිද්ධාර්ථ කුමාරයාගේ පියාගේ චරිතය කරන්න ලැබුණු එක මගේ භාග්‍යයක්. ඒ ලැබුණු
අවස්ථාව මිල කරන්න බැහැ.



චරිතය අභියෝගයක් වුණාද..? 

ඔව්. මොකද සුද්ධෝදන රජතුමා කියන චරිතය සහ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ කියන චරිත දෙකම එක ප්‍රදේශයකට, එක කලාපයකට, එක මහද්දීපයකට සීමා වුණු දෙයක් නෙවයි. මුළු මහත් විශ්වයටම පොදු කාරණාවක්. විශ්වය අවධානය දිනාගත්ත විශ්ව ධර්තමතාවයක්. ඉතින් එහෙම චරිතයකට පණ පොවන්න ලැබීම ඇත්තටම ලොකු අභියෝගයක්. සුද්ධෝදන රජු බුදු හාමුදුරුවන්ගේ ධර්මය ඇහුවා මිසක ඔහු මුලින්ම බෞද්ධයෙක් නෙවෙයිනේ. නමුත් මම බෞද්ධයෙක්. අන්න එතනදී ඒක මට අභියෝගයක් වුණා.

චරිතය සාර්ථක කරගන්න කොයි තරම් මහන්සි වුණාද? 

මුල ඉඳලම චරිතය ගැන ලොකු අවධානයකින් සහ ලොකු කැපවීමකින් චරිතයට සුදානම් වුණේ සහ චරිතය කරගෙන යන්නේ. මේක මට වෙනස්ම අත්දැකීමක්. අපිට ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරලා චිත්ත රූප ඇඳිලා තියනවා. නමුත් අපි සුද්ධෝදන රජතුමාගේ පැත්තනේ හිතලා නැහැ. එතුමා මොන යම් ආකාරයකින් කටයුතු කරන්නැද්ද කියලා මම කවරදාකවත් හිතලා නැහැ. නමුත් මෙම චරිතය ඇතුළේ එවැනි කරුණු කාරණාවලට යනකොට ඇත්තටම හිතෙනවා සුද්ධෝදන රජතුමා වුණත් පිතෘවරයෙක් නේද කියලා. එතකොට සමහර වෙලාවට සුද්ධෝදන රජුගේ චරිතය ගැන හිතනකොට අනුකම්පා හිතෙන අවස්ථාවකුත් එනවා.

ඔබ චරිතයට සාධාරණය ඉෂ්ඨ කළා කියලා හිතනවද? 

ඒක සාපේක්ෂයි. මගේ පැත්තෙන් මට ලැබෙන වෙලාව තුළ මට කරන්න පුළුවන් උපරිමය මම කරනවා. මේක දීර්ඝ ටෙලි නාට්‍යයක් විදිහට විකාශය වෙන නිසා ගොඩක් වෙලාවට දෛනිකව කිරීමට අවශ්‍ය සීන් ප්‍රමාණයක් තියනවා. ඒ නිසා දර්ශනයක් වෙනුවෙන් සුදානම් වෙන්නත් දර්ශනය කරගෙන යන්නත් ලැබෙන වෙලාව අඩුයි. ලැබෙන වෙලාව තුළ මට කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා.

නිර්මාණය වෙනුවෙන් කරන කැපකිරීමට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙන්න පුළුවන්ද? 

ඇත්තටම ප්‍රතිචාර ගොඩක් හොඳයි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කියන ටෙලි කතාව මේ වෙනකොට කුඩා දරුවන්ගේ සිට තරුණ, වැඩිහිටි හැමෝම බලනවා. ඒ නිසා ටෙලි නාට්‍යයට හොඳ ප්‍රතිචාර තියනවා. ඉදිරියට විකාශය වීමට තියෙන කොටස් එක්ක තවත් ආකර්ශනය වැඩිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ගයාන් නිර්මාණ තෝර ගනිද්දි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන දේවල් මොනවද? 

නිර්මාණ තෝර ගනිද්දි විශ්ෂයෙන්ම තිරපිටපත, අධ්‍යක්ෂකවරයා, සහ කරන නිෂ්පාදන සම්බන්ධව සැලකිලිමත් වෙනවා. ඊට පස්සේ නිර්මාණයට සම්බන්ධ වෙන අනෙකුත් රංගන ශිල්පීන් පිළිබඳවත් බලලා ඔය කාරණා ගළපගන්න පුළුවන් නම් මම අනිවාර්යෙන් ඒ නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

චිත්‍රපටිවල වැඩිය දකින්න නැත්තේ ඇයි..? 

විශේෂ හේතුවක් නැහැ. චිත්‍රපටිවලට ලොකුවට ආරාධනා ආරාධනා ලැබුණෙත් නැහැ. ආරාධනා ලැබුණු ඒවායේ යම් යම් ගැටලු මතු වුණා. සමහර ඒවායේ තිර පිටපතත් එක්ක ගැටලු ආවා. සමහර චිත්‍රපටිවල මිල ගණන් ප්‍රශ්න ආවා. අධ්‍යක්ෂණයට ආවට පස්සේ කාලයක් ගයාන්ට වැඩ අඩු වුණා.

දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා වගේ? 

ඔව්. මම අධ්‍යක්ෂණය කරන්න ගත්තට පස්සේ චරිත නිරූපණය කරන්න ලැබුණු වෙලාව අඩුවුණා. නමුත් දැන්නම් මට වෙනත් අධ්‍යක්ෂකවරු එක්ක වැඩ කරන්න ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ අතරින් මම ඉතා හොඳ නිර්මාණ තෝරා බේරා ගනිමින් වැඩ කරමින් ඉන්නවා. මගේ අධ්‍යක්ෂණ කටයුතුත් එක්ක ඒ වැඩ කටයුතුත් සමබරව කරගෙන යනවා.

මේ දවස්වල කරන අනිත් වැඩකටයුතු මොනවද? 

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයත්, උරුමයක අරගලය ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා. ඒකේ මම වීර පුන්අප්පුගේ චරිතය කරනවා.

ඔබේ අධ්‍යක්ෂණයෙන් අලුත් නිර්මාණයක් ප්‍රේක්ෂයින් අතරට එන්නේ කවදද? 

මගේ අධ්‍යක්ෂණයෙන් ටෙලි නාට්‍යයක් ළඟදීම එනවා. එහි සංගීත පටිගත කිරීම් සහ සංස්කරණ කටයුතු මේ දවස්වල කරගෙන යනවා. ඔය අතරේ අලුතින් චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ හැමදේම සමබරව කරගෙන යනවා.

චතුරිකාත් එක්ක නැවත එකට ටෙලි නාට්‍යයක දකින්න අවස්ථාවක් ලැබෙයිද? 

දකින්න පුළුවන්. මම අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍යයෙන් නැවත අපිව එකට දකින්න පුළුවන්.

-ඉරේෂා කල්හාරි සේනාධීර