අනියම් සම්බන්ධයට හා ලිංගික ඇසුරට අකමැති වූ කාන්තාවට මරණ තර්ජනය කළ පුද්ගලයා කොටු වෙයි

තරුණ කාන්තාවකට අයුතු ලිංගික යෝජනා කර ඇය ඒවාට එකඟ නොවීම නිසා ඇසිඩ් ගසන බවටත් ඇගේ කුඩා දියණිය සහ සැමියා ඇතුළු මුළු පවුලම විනාශ කරන බවටත් දිගින් දිගටම තර්ජනය කළැයි කියන පුද්ගලයකු මේ මස 27 වැනිදා දක්‌වා තවදුරටත් රිමාන්ඩ් සිර භාරයේ තබන ලෙස ගංගොඩවිල මහෙස්‌ත්‍රාත්තුමා නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු රත්මලානේ පදිංචි
තිලංක කනකරත්න නමැති පුද්ගලයෙක් බවයි සදහන් වන්නේ.

ඔහු පෞද්ගලික ආයතනයක අනියම් සේවකයකු ලෙස කටයුතු කර තිබෙන අතර අදාළ කාන්තාවට ඇසිඩ් ගසන බවට සැකකරු යෑවූ SMS පණිවුඩ විශාල ප්‍රමාණයක්‌ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුගේ මෙම ක්‍රියාකලාපය ගැන මෙයට පෙර ද බොරලැස්‌ගමුව පොලිසියට පැමිණිලි කරන ලදුව සිද්ධිය සමථයකට පත් කිරීමට බොරලැස්‌ගමුව පොලිසිය උත්සාහ දරා තිබෙනවා. එහෙත් සැකකරු එම උත්සාහය නොසලකා පැමිණිලිකාරියට නිරුපද්‍රිතව මහමඟ බැස යැමට නොහැකි තත්ත්වයක්‌ ඇති කරන බවට තර්ජනය කර ඇගේ චරිතයට හානි වන අයුරින් කටයුතු කරන බව SMS පණිවුඩ මඟින් දන්වමින් ඇය ජීවත්වන ප්‍රදේශයේ නිවාස රාශියකට ඇය ගැන සඳහන් කර අසභ්‍ය ලියුම් යවා ඇති බව පැමිණිල්ලෙන් කියවෙන බවත් සදහන්. මෙම ලිඛිත  සාක්‍ෂි විශාල ප්‍රමාණයක්‌ සහ මෙම සැකකරු තවත් අයකුට කරන ලද මරණ තර්ජනයක පැමිණිලි පිටපතක්‌ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව තිලංක කනකරත්න නමැති මෙම සැකකරු මානසික රෝගියකු ද යන්න සොයා බැලීම සඳහා බන්ධනාගාරය හරහා වාර්තාවක්‌ කැඳවන ලෙස සැකකාර තිලංක කනකරත්න උසාවියට ඉදිරිපත් කිරීමට අධිකරණය නියම කර තිබෙනවා. සැකකරු නොවැම්බර් 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී ඔහු නොවැම්බර් 27 වැනිදා දක්‌වා රිමාන්ඩ් සිරභාරයේ තබාගන්නා ලෙස ගංගොඩවිල මහෙස්‌ත්‍රාත්තුමා නියෝග කර තිබෙන බවත් සදහන්.

කාන්තාවක්‌ අනියම් සම්බන්ධකම් සඳහා පොළඹවා ගැනීමට උත්සාහ කර එය නොහැකි වූ තැන ඇසිඩ් ගසන බවට තර්ජනය කරන මෙවැනි පුද්ගලයන් විවෘත සමාජයේ තැබීම ඉතාම අන්තරාදායක බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විදුර පී. මංචනායක මහතා උසාවියට කියා තිබෙනවා.