ෆේස් බුක් එකේ අපහාසාත්මක පෝස්ටුවක් නිසා පාසල් ගුරුවරු අසනීප නිවාඩු ගිහින්

ගම්පොල සහිරා ජාතික පාසලේ සිසුවකුගේ පියකු විසින් ගුරුවරුන්ට ඉතා අපහාසාත්මකව බැන වැදී එය මුහුණු පොතට දැම්මයි විරෝධය දක්‌වා ඊයේ (01 දා) දින සියලු ගුරුවරුන් අසනීප නිවාඩු දමා පාසල වෙත පැමිණියේ නැහැ.

මේ සමග පාසල වෙත පැමිණ ඇති සිසු සිසුවියන් ගුරුවරුන් නොමැති වීමෙන් අනාරක්‌ෂිත තත්ත්වයට පත්ව ඇති බව දැන ගත් දෙමාපියන් මෙම තත්ත්වය ඔවුන්ට නොදැන්වූවායි ඇති වූ බහින්බස්‌වීම්වලින්
පාසල තුළ උණුසුම්කාරී තත්ත්වයක්‌ ද ඇති වුණා.

මෙම පාසලේ ගුරු මණ්‌ඩලයේ 172 දෙනෙක්‌ සිටින අතර සිසුහු 3600 දෙනෙක්‌ සිටියි.

සියලු ගුරුවරුන් මෙම බැන වැදී අපහාස කිරීමට විරෝධය දැක්‌වීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පති ඒ. එල්. සිරාඡ් මහතා ගම්පොල පොලිසිය වෙත හා කලාප කාර්යාලය වෙත පැමිණිලි කර ඇති බව සඳහන්.

ගුරුවරුන් නොපැමිණීමෙන් නොසන්සුන් වූ සිසුන් පාලනය කිරීමට නොහැකිව සිටියදී සිද්ධිය දැනගත් සමහර දෙමාපියන් පාසල වෙත පැමිණ තිබෙනවා.

විදුහල්පතිවරයා දුරකථනයෙන් මාධ්‍යවේදීන්ට පවසා සිටියේ පාසලේ කීර්ති නාමය විනාශ කිරීමට කටයුතු කරන සියලු දෙනා පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කළ බවයි.

ගම්පොල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ආර්. ජයන්ත මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ උදැසන සිටම පාසලේ දරුවන්ගේ ආරක්‌ෂාව හා පාසලේ ආරක්‌ෂාව සඳහා සිටි බව වාර්තා වෙනවා.


gossip lanka