"අපේ ස්ත්‍රී පුරුෂ භාවය පවා වෙනස් කරගන්න පුළුවන් කාලයක මගේ වයස මට තීරණය කරගන්න බැරි ඇයි?" වයස අඩු කරගන්න අධිකරණයේ පිහිට පැතූ මිනිසා

සිය වයස අඩු කර ගැනීම සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කළ කලාකරුවෙකු පිළිබඳව නෙදර්ලන්තයෙන් (ඕලන්දය) වාර්තා වෙනවා.

එමිල් රැට්ල්බෑන්ඩ් නමැති 69 හැවිරිදි ඔහුට අවශ්‍ය වී ඇත්තේ, 1949 මාර්තු 11 උපත ලබා ඇති ඔහුගේ උපන් දිනය 1969 මාර්තු 11 ලෙස වෙනස් කර ගැනීමටයි.

"අපි ජීවත් වෙන්නේ අපේ නම අපේ ස්ත්‍රී පුරුෂ භාවය පවා වෙනස් කරගන්න පුළුවන් කාලයක. ඉතින් මගේ වයස මට තීරණය කරගන්න බැරි ඇයි?"
ඔහු ප්‍රශ්න කරනවා.

නෙදර්ලන්තයේ ආර්න්හැම්හි අධිකරණයකදී තවත් සති 4කින් එම නඩුව විභාගයට ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත්, බලධාරීන්ගේ අදහස වී ඇත්තේ, මෙම නඩුව ජය ගැනීම සැක සහිත බවයි.

ඔවුන් පවසන්නේ, යම් පුද්ගලයෙකුට සිය උපන් දිනය වෙනස් කිරීමට අවසර දිය හැකි නීතිමය යාන්ත්‍රණයක් නොමැති බවයි.

යම් හෙයකින් රැට්ල්බෑන්ඩ්ගේ වයස අවුරුදු 20කින් අඩු කළහොත් කුමක් සිදුවේදැයි එක් විනිසුරුවරයෙකු ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා

"එතකොට ඔබ කුඩා කාලෙ ඔබව හදාවඩා ගත් දෙමාපියන්ට මොකද වෙන්නේ? ඒ කාලෙ හිටිය පුංචි ළමයා කවුද?" 

රැට්ල්බෑන්ඩ් පවසන්නේ, වයස නිසා තමන්ට සමාජයේදී වෙනස්කම් සිදුවන බව තමන්ට දැනෙන බවයි.

රැකියා අවස්ථා සම්බන්ධයෙන් ද එය බලපාන බව ඔහුගේ අදහසයි.

"මගේ වයස 69ක් නම් මගේ ජීවිතය සීමා වෙනවා. ඒත් මගේ වයස 49ක් වුණොත් මට අලුත් ගෙයක් මිල දී ගන්න පුළුවන්, වෙනස් කාර් එකක් පදවන්න පුළුවන්, ඒ වගේ ම මට තව රැකියා අවස්ථා හිමි වෙනවා"

සිය වෛද්‍යවරයා පවසන පරිදි තමන්ගේ සිරුර 45 හැවිරිදි පුද්ගලයෙකුගේ මෙන් සෞඛ්‍ය සම්පන්න වන අතර ඔහු තමන්ව හඳුන්වන්නේ "තරුණ දෙවියෙකු" ලෙසයි.

ඔහු පසුගිය වසරේදී ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙහි සඳහන් කර තිබුණේ, තමන්ට වයසට යාම පිළිබඳව බියක් නොමැති අතර හැකි තාක් කාලයක් ජීවිතය සුව පහසුවෙන් ගත කිරීමට අවශ්‍ය බවයි.

ඔහු පවසන්නේ, සිය උපන් දිනය වෙනස් කළහොත් සිය විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කරන බවයි.

නෙදර්ලන්ත ව්‍යවස්ථාව අනුව වයස පදනම් කරගෙන රැකියා අවස්ථා අහිමි කිරීම තහනම් වේ.

එමිල් රැට්ල්බෑන්ඩ් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කර ඇති අතර මේ වන විට ධනාත්මක චින්තන උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කරනවා.

ඔහු මේ වසර මුලදී බුදු දහම වැළඳ ගත්තා.

Pixar සමාගමේ Cars 2 චිත්‍රපටයේ ඕලන්ද භාෂා නිෂ්පාදනයේ ව්ලැඩිමීර් තෘන්කොෆ්ගේ චරිතයට හඬ කවා ඇත්තේ ද ඔහු විසින්.


gossip lanka