gossip lanka

මං නපුරු රඟ­පාද්දි විත­රයි - එලීෂා මුසයියනා

සිඳු ටෙලි නාට්‍යයේ 'හිරුණි' ලෙස රඟපාමින් රංගනට පිවිසෙන එලීෂා මුසයියනා, අද වනවිට නම්දැරූ ළමා නිළියකි. මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන 'සකූ' හි 'ශනූ' ලෙසින් රඟපාන ඇය, එම රංගනය නිසා රසික ප්‍රසාදයට ලක්ව සිටී.

 සකූ ටෙලි නාට්‍යයේ 'ශනු' ගැන මොකද හිතෙන්නෙ?

හරි ම සතුටුයි. සිදූ ටෙලි නාට්‍යයේ හිරුණිටත් වඩා ශනූගෙ චරිතය මම හොඳට කරනවා කියලා හැමෝම කියනවා. සිදු එකේ හිරුණි කියන්නෙ බොහොම සංවේදී ළමෙයක්. හැබැයි, 'ශනූ' නම් බොහෝ නපුරු, හිතුවක්කාර ළමයෙක්. බොහෝ අය ශනූ දිහා බලලා , "ඔයා හරි ම නපුරුයි" කියලා කියනවා. සකූට ඔච්චර නපුරුකම් කරන්න එපා කියනවා.

සකූට නපුරු කම් කරද්දි, දුක හිතෙන්නෙ නැද්ද?

සකූට රඟපාන සහේළි මගෙ යාළුවෙක්. මම එයාට නපුරුකම් කරන්නෙ, රඟපාන වෙලාවට විතරයි.

ඒලීෂා ඇත්ත ජිවිතයෙදි හිරුණි වගේද? ශනූ වගේද?

මම ඔය දෙකම මැද ඉන්න ළමයෙක්. වෙලාවකට නපුරුයි. වෙලාවකට අහිංසකයි. හැබැයි මම ශනූ වගෙ මුරණ්ඩු ළමයෙක් නම් නෙමෙයි. මම හැම කෙනෙක් එක්කම යාළුවෙලා ඉන්න කැමැතියි. මම වැඩියෙන් කතා කරනවා කියලත් සමහරු කියනවා.

රඟපාන්න ගියහම, පාසලේ වැඩ අතපසු වෙන්නෙ නැද්ද?

සති අන්තයෙ තමයි රූගත කිරිම් තියෙන්නෙ. ඒ නිසා, පාසලේ වැඩ පාඩු වෙන්නෙ නැහැ. ගුරුතුමීලයි, මගෙ යාළුවොයි මට උදවු කරන නිසා, දෙයක් අතපසු වුණත්, ඒක අහගන්න පුළුවන්.

ඔබේ රංගනයට පාසලෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම අධ්‍යාපනය ලබන්නෙ ඕ. කේ. අයි ජාත්‍යන්තර පාසලේ. යාළුවන්ගෙන්, ගුරුතුමීලගෙන් මට හොද ප්‍රතිචාර ලැබෙනවා. හැම දෙනාම කියන්නෙ, මම ලස්සනට රඟපානවා කියලයි.

අනාගතයෙත් ඔබ නිළියක් වෙන්නද හිතාගෙන ඉන්නෙ?

ලොකු වුණාම මම වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් සිටින්නේ. ගායිකාවක් වෙන්නත් කැමැතියි. අමතරව හරි, රඟපාන්න හිතාගෙන ඉන්නෙ.

රඟපාන එක හැරුණහම, ඔබ ගීත ගායනයටත් දක්ෂයිද?

පාසලේ පවත්වන වැඩසටහන්වලට සිංදු කියලා තියෙනවා. පාසලෙන් ගායනා තරගවලට ගිහින්, ගීත ගායනා කරලා, දිනලා තියෙනවා.

ඔබගෙ කලා කටයුතුවලට වැඩියෙන් ම උදවු කරන්නෙ කවුද?

අම්මයි, තාත්තයි. ඒ දෙන්නා මාත් ඒක්ක රඟපාන්න යන්න එනවා. මා බලා ගන්නවා. අපේ නෑදෑයො හැමෝටම රඟපාන්න පුළුවන්. එයාලා මගේ රංගනයේ හොඳ, නරක කියලා දෙනවා. මගෙ මාම ට රඟපාන්න පුළුවන්. එයා වෙළෙඳ දැන්වීම්වල රඟපානවා.

ඔබගෙ ඉදිරි වැඩ මොනවද?

වෙන ටෙලි නාට්‍ය රඟපාන්න බාර අරගෙන නම් නැහැ. තවම සකූ ටෙලි නාට්‍යයෙ රංගන කටයුතු තියෙනවා. හැබැයි, වෙළෙඳ දැන්වීම් නම් කරන්න බාර අරගෙන තියෙනවා.

සකූ ටෙලි නාට්‍යයේ ඉන්න යාළුවන්ගෙන් ඔයාට උදවු ලැබෙනවද?

හිමායා කියලා දේදුනුට රඟපාන එක්කෙනයි, සකූට රඟපාන සෙහ්ළියි, ටීනා අක්කයි, චානුක අයියා වගේ අය තමයි රඟපාද්දි උදවු කරන්නෙ. මට වැඩියෙන් ම රඟපාන්න තියෙන්නෙ, එයාලා එක්කනේ. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ අපට බොහෝ දේ කියලා දෙනවා.

ඔබගෙ අධ්‍යාපන කටයුතු ගැන විස්තර කිව්වොත්?

මම දැන් ඉගෙන ගන්නෙ හත ශ්‍රේණියෙ. මම කැමැති ම, ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය කියන විෂයයන්වලටයි.

ඔබගෙ පවුලෙ තොරතුරු පිළිබඳ පැවසුවොත්?

අපි පදිංචි වෙලා ඉන්නෙ වත්තල, වැලිසර. මගෙ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා එන්.ජී. ඕ එකක වැඩ කරන්නෙ.

ඔබට පළමු වරට ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණෙ කොහොමද?

මම දෙක වසරෙ ඉද්දිත්, ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක් දැකලා, ලක්ෂපති කරනවා කියලා ගෙදර ඉඳන් ඒ වැඩසටහන කළා. ඒක දැකලා, අම්මා රෑපවාහිනියෙ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට මා එක්කගෙන ගියා. ඒකෙ තිර පරීක්ෂණයෙන් පස්සේ තමයි හිරුණිගෙ චරිතයට ගත්තෙ.

ඔබට රඟපාන්න චිත්‍රපට ලැබිලා නැද්ද?

මම චිත්‍රපටවල රඟපාලා නැහැ. චිත්‍රපටයක රඟපාන්න කැමැතියි. මට එක චිත්‍රටයකට රඟපාන්න කතා කළා. ඒක රූපගත කිරීම් තිබුණෙ අපට විභාගෙ තියෙන දවස්වල. ඒ නිසා, ඒකට යන්න බැරි වුණා.


gossip lanka