"ඔයානේ මට බෙහෙත් දුන්නේ" මරණය අතේ තියන් හිටපු සිඟිති දියණියට ජීවිතය දුන්නු වෛද්‍යවරයා මුණ ගැහුනු හැටි, සංවේදී කතාවක්!

නිදහස් අධ්‍යාපනයෙන් උගෙන නිදහස් සෞඛ්‍ය සේවයට එක්වන අප රටේ සෞඛ්‍ය වෘත්තිකයන් රට වෙනුවෙන් සිදු කරනා සේවය සුලුපටු නොවේ. රජයේ රෝහල් වලට ප්‍රථිකාර ගැනීමට පැමිණෙන බොහෝ මිනිසුන් සුව කිරීමට දිවා රැ වෙහෙස වී ඔවුන් සිදු කරනා සේවය සැබැවින්ම සුලු පටු නොවේ. එම සේවයෙන් ඔවුන්ට ලැබෙනා වැටුපට සහ දීමනාවට වඩා අහිංසක මිනිසුන්ගේ ආශිර්වාදයන්
අගනේය.

එවැනි වෛද්‍යවරයෙකු සිය අත්දැකීමක් පිළිබඳව ෆෙස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ තැබූ සංවේදි සටහනක් අපට හමු වුනා. තෙනුවන් තරංග නම් වෛද්‍යවරයෙක් සිය ෆේස්බුක් ගිණුමේ මෙම සටහන තබා තිබුනා.

එම සටහන පහතින්,

නුවර යන්න උවමනාවක් තිබුනා. ඊයේ night shift එකක් කරපු හින්දා drive කරන එක නොකර ඉන්න හිතුවා.

උදේ කෝච්චියේ ඉරිදා වෙලත් සෙනග.දවල්ට කෑම එකක් අරන් යන්න තැනක් නංගි කෝල් කරලා මතක් කලා.ඒ හින්දම කඩුගන්නාවෙන් බැස්සා. කෝච්චියේ 2nd class එකෙන් බැහැලා එනකොට ticket check කරන කෙනාගේ මූනේ තිබුනේ "මූ නම් 3rd class ticket එකකින් 2nd class හිහින්" වගේ බැල්මක්. මට මොකෝ, ඇගේ වදින්නේ නෑනේ. එලියට ඇවිත් ඉතුරු ටික යන්න බස් එකක් එනකන් ඈත බලන් හිටියා.

මට පිටිපස්සෙන් "අන්න එයා" කියන පොඩි කටහඩක් ඇහුනා. ඒ එක්කම three wheeler එකක ඉදපු පොඩි දුවෙක් දුවන් ඇවිත් මගේ අතේ තිබුනු බෑග් එකේ එල්ලුනා.
පොඩි එකා වෙන කවුරු හරි කියලා රැවටිලා. මට හිතුනා.
මූන දිහා බලනකොටම "මාව මතකයිද ඔයාට" ඇහුවා.
වැරදිලා තියෙන්නේ මටද. මම කල්පනා කලා.
මූනේ මොකද්දෝ හුරුවක් තිබුනට මගේ ඔලුවේ ප්‍රශ්න ගොඩක්.
එතකොටම කෙල්ලට තේරිලා, "ඔයා මට බෙහෙත් දුන්නේ" කිව්වා.
මගෙත් කල්පනාවේ තරම, මතක් වෙන්නේම නෑනේ මේ කතාවේ අගක් මුලක්.
අමාරුවෙන් හිනා වෙලා මම "මොකද්ද පුතේ නම" කියලා ඇහුවා. එහෙමවත් යමක් මතක් කරගන්න.
"විමර්ශි බන්ඩාර"
මතකයේ කොහෙදෝ ඈත තැනක ඒ නම තිබුනා මතක් උනා.

එතකොටම අර three wheeler එකෙන් අම්මා කෙනෙක් බැහැලා ආවා. හොදට පුරුදු මූනක්.
"මහත්තයා ගම්පොල නෑ නේද දැන්"
"නෑ දැන් ටික දවසක් මාරු වෙලා ගිහින්"
"ඒක තමයි clinic එකේ දැක්කේ නැත්තේ මහත්තයාව"
"මට අම්මගේ මූනයි, දුවගේ නමයි මතකයි, ඒත් කතාව මතක නෑනේ" ඇත්තම කිව්වා.
ඒ අම්මා අතේ තිබුනු මල්ලකින් පොතක් අරන් දුන්නා.
"දුවට උන. මේ බෙහෙත් අරන් යන ගමන්. Clinic පොත අරගෙනමයි යන්නේ. මහත්තයාමයි එහෙම ගෙනියන්න කිව්වේ"

ගම්පොල Paediatric Clinic පොතක්. මුල පිටු හතරේම මම ලියලා තියෙන්නේ. ඒක උඩින් පල්ලෙන් කියවනකොට මට මුලු සිද්ධියම මතක් උනා.
2014 අග මාසේක දවසක්. මම oncall. රෑ ward round ඉවර වෙනකොට 10.30 විතර උනා. මම අත සෝදන වෙලාවේ ලෙඩෙක්ව ට්‍රොලියේ දාගේන වේගෙන් වාට්ටුවට ආවා. අවුරුදු 3ක විතර fit එක හැදුන ලමයෙක්. විස්තර අහනකොට විනාඩි 45ක fit එකක් කිව්වා.
මුලික ප්‍රතිකාර කරලා fit එක නවතින්න දෙන බෙහෙත් වර්ග ඔක්කොම දුන්නත් කිසිම අඩුවක් තිබුනේ නෑ. තවත් fit එක තියෙන එකෙන් වෙන හානිය තේරුන නිසා ලමයාව paralyze කරලා කෘතිමව ශ්වසනය දෙන්න ඕනේ කියලා තීරනය කලා.ඒත් එක්කම ලමයගේ heart එකත් නතර උනා. Heart එක නැවත පනගන්වන්න එක පැත්තකින් උත්සහා කරන අතරේ අනිත් පැත්තෙන් ශ්වසනය දෙන්න බටයක් දැම්මා. එතන එකම යුද්දයක්. ඒ ලමයගේ අම්මා ලමයව බේරලා දෙන්න කියලා කෑ ගහනවා.
"ආම්මට ඕනේ ලමයා බේරන්න අපිට උදව් කරන්නද?"
"අනේ ඔව් මහත්‍තයෝ, මේ ලමයගේ තාත්තා නෑ, කලින් මගේ ලොකු පුතත් වාහනේකට හැප්පිලා මැරුනා. මට මෙච්චරයි ඉන්නේ මහත්තයෝ, තේ කඩලා මේ ලමයව මම තනියෙන් හදාගන්නේ"

අම්මට වැඩිය මාව අසරන උනා. මේ අම්මා කියන්නේ මගේ අතේ තියන වගකීමේ බර තරම.
එත් මගේ ඔලුව අවුල් කරගෙන බෑනේ මේ කතා වලින්.
"අම්මා අපිට කරන ලොකුම උදව්ව තමයි වාට්ටුවෙන් එලියට ගිහින් අඩන එක" මම කිව්වා.

ලොකු උත්සහයකින් පස්සේ, යන්තන් heart එකට පන ආවා. මට heart එකේ සද්දේ ඇතුලෙන් අර අම්මා කිව්ව ඒවා ඇහෙනවා.
ඒ වෙනකොට තවත් doctor කෙනෙක් මගේ උදව්වට ඇවිත්. වාට්ටුවේ ඉදපු junior doctors ලා දෙන්නත් ගොඩක් වෙහෙසුනා.
වෙලාවේ නරක කමට ලග පාත ICU එකක හිස් ඇදක් හොයාගන්න නෑ.
කීප දෙනෙක්ගේ උදව්වෙන් හති වැටෙනකල් මහන්සි වෙලා කුරුනෑගල ICU එක set කරගත්තා.
දවස් 3ක් මැශින් එකෙන් ශ්වසනය දීලා, තවත් සතියක් විතර වාට්ටුවේ තියන් ඉදලා discharge කරලා අපේ clinic එකට එවලා තිබුනා.

මාසයක් ගානේ clinic එකේ මම ඉන්න තැනම හොයාගෙන මගේ ලගටම මේ කෙල්ල එනවා. චිත්‍ර එහෙමත් ඇදගෙන ඇවිත් පෙන්නනවා.
මගේ අතට දුන්න clinic පොතේ 95% ලියලා තියෙන්නේ මමමයි. ඒ කාලේ මගේ අකුරු වල ලස්සන කියලා නෙමෙයි මට හිතුනේ, දැන් අකුරු වල කැත විතරක් කියලා.

"ඉස්කෝලේ වැඩ හොදට කරනවද" මම බයෙන් ඇහුවේ... ගොඩක් වෙලා fit එක තිබුනාම ස්නායූ වලට හානි වෙනවා. ආයේ recover වෙන්නේ නෑ.
"අනේ ඔව් මහත්තයා, පන්තියේ මුල තුන් දෙනාට එනවා කොහොම හරි, ගිය පාර දෙවෙනියා උනා කියලා හරි හිත් අමාරුවෙන් උන්නේ. මගේ කෙල්ලගේ මොලේ බේරලා දුන්නට මම මැරෙනකල්ම පිං දුන්නත් මදි මහත්තයාට"
මට දැනුනු දේවල් වචන කරන්න ගියොත් හුගාක් අසාධාරණයි..

ඉතින් මම මේ දුවට මොනවද දෙන්නේ... සාක්කුවේ පෑන් දෙකක් විතරයි තිබුනේ. එකක් අරන් ඒක දුන්නා, මාව මතක් වෙන්න තියාගන්න කියලා.
අහිංසක මූන පැත්තට හරවලා, හිනා උනේ මහා ලොකු දෙයක් හම්බුනා වගේ.
ඇත්තටම පව්.

"මහත්තයා, මේ ලග අපේ ගෙවල්, වීල් එකේම යන්න පුලුවන්, තේ එකක් බොන්න යමුද"
"අනේ ලොකු කමකට කියලා හිතන්න එපා අම්මේ, මම මේ වැඩ කීපයක් දාගෙන ආපු ගමන්"
"එදා ඇදුමක්වත් නැතුව උන්න මගේ කෙල්ලගේ පන නැති ඇග, නිකම්ම අත් දෙකෙන් උස්සලා, ඇම්බුලන්ස් එකේ ඇද උඩින් තිබ්බ මහත්තයගේ ලොකු කම් නෑ කියන එක සත්තක්"
මම මොකද්ද දෙන උත්තරේ කියන්නකෝ...

ටිකක් වෙලා තාමත් මගේ බෑග් එක අල්ලන් ඉන්න විමර්ශි දිහා බලලා "එහෙනම් ගිහින් එන්නම් පුතේ" කිව්වා.
"මහත්තයා දැන් නුවරද"
"නෑ දැන් කොලබ වැඩ" මම කිව්වා.
අනේ මේ අම්මා ඇස් වල කදුලු පිහිනවා.
"මහත්තයා මෙහෙන් යන්නම ගිහින්"
"ආයේ කවදා දකින්නද"
මටම පුදුමයි, මේ මනුස්සකම විදලා...

"පුතාගේ ඉස්සරහා වැඩ වලට කොලබ ඉන්න එක පහසුයි, ඒකයි. ඒත් ඕනේ තරම් ආයේ හම්බෙයි"

"අනේ මහත්තයාගේ පුතාට නම් කවදාවත් අසනීපයකින්
දුක් විදින්න වෙන්න එපා, මගේ දරුවා බේරලා දුන්න පිනම ඇති මහත්තයාගේ පුතාට හරියන්න"

මම මගේ පුතා වෙනුවෙන් කරන වටිනම ප්‍රාර්ථනය , කිසිම ලාබයක් , වාසියක් නැතුව, මුලු හිතෙන්ම කිව්වේ ආයෙත් කදුලු පිහදදා...
ඒක දැනෙන තරම කොච්චර සුවදඳ කියලා විදලම බලන්න ඕනේ.

මම පාත් වෙලා, අර කෙල්ලගේ අතේ,මම දුන්න පෑනෙන්ම මගේ phone number එක ලිව්වා.
"අම්මේ... මේක මැකෙයිද කියලා මට බයයි"
"නෑ, පරිස්සම් කරගමු, ඔයානේ දොස්තර අංකල්ව ඈතදිම දැකලා අදුරගෙන මටත් පෙන්නුවේ"

මම හිනා වෙලා ලග එන බස් එකට අත දැම්මා.
බස් එක වංගුව පහු වෙනකල්ම අම්මයි දුවයි බලාගෙන හිටියා.
හරි අමාරුවෙන් මේ තරමට හරි මේක ලිව්වේ.

හැගීම් වලට අදාල වචන තෝරන්න ලේසි නෑ....//

උපුටා ගැනීම : තෙනුවන් තරංග