රතු පලස මතින් ඇවිදගෙන යද්දි මගේ මතකය වේගයෙන් අතීතයට දිවගියා- දිනෙත් ද සිල්වා - Photos

දිනෙත් ද සිල්වා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා රංගන ක්ෂේත්‍රය පා තැබූ නවකයින් අතර සුවිශේෂි චරිතයක්. කාලයත් සමඟ සිනාමාවට අවතීර්න වුණු දිනෙත් තම රංගන දිවියේ පළමු පියවරේදීම සම්මාන පිට සම්මාන ලබන්නේ වාර්තාවකුත් තබමිනුයි. පසුගියදා පැවති හිරු සම්මාන උළලේදී අනාගතයේ මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා ලෙසින් රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ ඔහු ආ ගමන් මඟ
ගැන පුවත්පතක පළවූ සටහනක්.


දිනෙත් අද ඔබ සම්මානනීය නළුවෙක් වෙලා. නමුත් තවමත් ඔබගේ මාධ්‍ය නිරූපණයද? රංගනයද?

මම අදටත් නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා. මගේ ආරම්භය නිරූපණ ක්ෂේත්‍රය. මම අවුරුදු නවයක් දහයක් විතර හිටියේ එංගලන්තයේ. මම ලන්ඩන් යන්න කලිනුත් වරින් වර නිවාඩුවට ලංකාවට ඇවිදින් නිරූපණ කටයුතු වල නිරත වුණා. 2009 වර්ෂයේ ලංකාවට ආවා. ඊට පස්සේ මම ඒ ක්ෂේත්‍රයට ආස කරපු නිසා රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණය හැදෑරුවා. එතැනින් නොනැවතී ලංකාවේ හිටපු බ්‍රයන් කර්කෝවෙන් ඉන්දියානු නිරූපණ ශිල්පියෙක් වන ප්‍රසාද් පිණ්ඩප්පයා ලංකාවට පැමිණි විටත් නිරූපණය ගැන තව දුරටත් ඉගෙන ගත්තා. නිරූපණ ශිල්පියෙක් ලෙස වැඩ කරමින් ඉද්දි මම වෙළෙද දැන්වීමක රජ කෙනෙකු විදිහට නිරූපණයේ යෙදෙනවා දැකලා චත්‍ර වීරමන් භාරත ගිහාන් හෙට්ටිආරච්චි හා ධනුෂ්කගේ ආරාධනාවෙන් ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ උට්ඨිය ඇමැති කියන දැවැන්ත චරිතය ලැබුණේ.

ඔබට රටේ වටිනා කියන සම්මාන කිහිපයක්ම හිමිකර දී තිබෙනවා ?

2017 වර්ෂයේ සරසවි සම්මාන උළෙලේ හොදම නැගී එන නළුවා ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් හිමිවෙනවා. ඊට පස්සේ 2017 වර්ෂයේ සුමති ටෙලි සම්මාන උළෙලේදී සී රජ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොදම නැගී එන නළුවා ලෙස මට සම්මාන ලැබෙනවා. ඊයේ පෙරේදා හිරු සිනමා සම්මාන උළෙලේ අනාගත බලාපොරොත්තු තැබිය හැකි නළුවා ලෙස සම්මාන හිමිවෙනවා. එයත් ආලෝකෝ උදපාදි රංගනය වෙනුවෙන්. සමහරු කියනවා මේක එක්තරා වාර්තාවක් කියලා. එකම අවුරුද්දක එකම මාසයක ක්ෂේත්‍රයන් දෙකක නැගී එන නළුවා සම්මානය හිමිවීමත්.

පළමු චිත්‍රපටය ප්‍රදර්ශනය වීමටත් පෙර ඔබට හොද නිර්මාණවල ප්‍රධාන පෙළේ චරිත හිමිවෙන්න බලපෑ කාරණය ලෙස ඔබ දකින්නේ ?

ආලෝකෝ උදපාදි රූපගත කරලා එම චිත්‍රපටය තිරගත වෙන්න අවුරුදු දෙකක් ගතවුණා. එම කාලය තුළ එහි පූර්ව ප්‍රචාරක පට එම නිර්මාණයේ වැඩ කරපු අනෙකුත් ශීල්පින් දුටුවා මම රංගනය වෙනුවෙන් දරණ වෙහෙස හා කැපවීම. ඉන්පසුව දිගින් දිගටම මට ටෙලි නාට්‍ය හා චිත්‍රපට වලට ආරාධනා ලැබෙන්න හේතුව වෙන්නේ එයයි.

මේ වනවිට දිනෙත්ගේ රංගන දායකත්වය ලබාදී ඇති නිර්මාණ මොනවාද ?

ආලෝකෝ උදපාදි බිම්බා දේවි පැණි මකුළුවෝ කන්දක් සේ මා 1970 ලව් ස්ටෝරි හිතුමතේ ජීවිතේ සහ මේ දිනවල ශ්‍රී ශිද්ධා කියන චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරත වෙනවා.

හිරු සම්මාන උළෙලේ සම්මානයක් හිමිකර ගැනීමෙන් පසු ඔබ කරන ලද ප්‍රකාශය නළුවෙකුගේ දිවිය හා බැදුන ප්‍රේක්ෂකයා නොදකින ඇත්තක් ප්‍රකාශමාන කළා ?

එදා හිරු සම්මාන උළෙලට රතු පලස මතින් ඇවිදගෙන යද්දි මගේ මතකය වේගයෙන් අතීතයට දිවගියා. පළමු හිරු සම්මාන උළෙල පැවැත්වෙන අවස්ථාවේ මගේ ලොකු ආසාවක් තිබුණා මේකට සහභාගි වෙන්න. එදා මම යාළුවන්ගෙන් ඇරයුම් පතක් ඉල්ලූවා. නමුත් මට ඇරයුම් පතක් ලැබුණේ නැහැ. පළමු හිරු සම්මාන උළෙල නැරඹුවේ අම්මත් එක්ක ගෙදර ඉදන්. එදා මම රූපවාහිනිය ඉදිරියේ හිදගෙන අම්මාට සම්මාන ලබන නළු නිළියන් පෙන්වමින් අම්මේ මේ මගේ යාළුවෙක් කියමින් මගේ සමකාලීන නළු නිළියන් අම්මට පෙන්නුවා. දෙවැනි හිරු සම්මාන උළෙලත් ආවා. මම බොහොම ආසාවෙන් හිටියා ඒකටවත් යන්න ලැබෙයි කියලා. ඒකෙදිත් මට ඒ දේම වුණා. මම හිතුවා තුන්වන සම්මාන උළෙලට මම යන්නේ මගේ නමටම ලියැවුණ ඇරයුම් පතක් මගේ නමට ගෙන්වාගෙන කියල. ඒ ගමනේදී මම හිස් අතින් ආපහු එන්නේ නැහැ කියලත් හිතුවා. මේ වගේ ස්ථිර අධිෂ්ඨානයකින් ගමනක් යන්න මගේ පසුපස සිටින ශක්තිය මගේ තාත්තායි. මම ඔහුව සිහිපත් කරනවා ආදරයෙන්. ඔහු තමයි මගේ පළමු ගුරුවරයා ඒ වගේම මගේ අම්මත් මා පසුපසින් ඉදගෙන ආදරයෙන් මට උදවු කරනවා.

ඔබේ පවුල කලාවට සම්බන්ධ පවුලක්ද ?

නැහැ. මගේ තාත්තා අවුරුදු 43 ක් පොලීසියේ සේවය කරලා පොලිස් අධිකාරිවරයෙක් විදිහට විශ්‍රාම අනන් ඉන්නේ. අම්මා රැකියාවක් කළේ නැහැ. මට රගපාන්න ඇරයුමක් ලැබුණම පළමුව තාත්තා එක්ක ඒ ගැන කතා කරනවා. දැන් බිරිදත් එක්කත් කතා කරනවා. තාත්තා එක්ක කතා කරලා එම නිර්මාණයෙන් සමාජයට පරිසරයට පණිවිඩයක් දෙන්න පුළුවන්ද කියලා තෝරා බේරාගෙනයි මම නිර්මාණයට සම්බන්ධ වෙන්නේ.

රංගනය අස්ථාවර වෘත්තීය මට්ටමක් නැති රැකියාවක් ලෙස බොහෝ දෙනා දැක්කත් ඔබ අද බොහොම සතුටින් මේ වෘත්තියට ප්‍රවේශවෙලා සිටිනවා ?

තෝරා බේරාගෙන නිර්මාණවල වැඩ කරන නිසා ජීවත්වීම සදහා මේක වෘත්තියක් කරගන්න බැරි නිසා නිරූපණ පාසලක් පවත්වාගෙන යෑම හා වෙනත් කටයුතුවල නිරතවෙලා ඉන්නවා.

-ධම්මිකා සුරංජි පතිරණ-