"අපි තාත්තාගේ මූණවත් බලන්න කැමති නැහැ.." - පියාගේ මරණ පරීක්‍ෂණයේදී දියණිය මෘත ශරීරය භාර ගන්න බැහැ කියයි

"අපි තාත්තාගේ මූණවත් බලන්නට කැමති නැහැ" යෑයි තම පියාගේ මරණයට අදාළ මරණ පරීක්‍ෂණයේදී මළ සිරුර බැලීම ප්‍රතික්‍ෂේප කරමින් දියණිය වන වික්‍රමතන්ත්‍රිගේ සුභාෂිනි අනුරාධා (අවු. 48) යන අය ප්‍රකාශ කර තිබෙනවා.

මෙසේ මියගොස්‌ ඇත්තේ උතුරු කළුතර ජාවත්ත වත්තේ පදිංචිව සිටි වික්‍රමතන්ත්‍රිගේ ආරියදාස නම්වූ 70 හැවිරිදි අයෙක් බවයි සදහන් වන්නේ.

කළුතර තොටමුණ හදිසි මරණ පරීක්‍ෂක එස්‌.ඒ.
කුමසාරු මහතා ඉදිරියේ කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති එම හදිසි මරණ පරීක්‍ෂණයේදී තවදුරටත් සාක්‍ෂි දුන් සාක්‍ෂිකාරිය වැඩිදුරටත් සදහන් කරන්නේ,

"මියගොස්‌ ඇත්තේ මගේ පියායි. ඔහු මියගොස්‌ සිටින බව මා දැන ගත්තේ මගේ නැන්දාගෙන් හා බාප්පාගෙන්.1995 වසරේ සිටම තාත්තා අප සමග කිසිම සම්බන්ධයක්‌ නැහැ. ඒ නිසා තාත්තාගේ සිරුර භාර ගැනීමට අපට කිසිම අවශ්‍යතාවයක්‌ නැහැ. තාත්තාගේ සිරුර මෙහි පැමිණ සිටින නැන්දාට හෝ බාප්පාට භාරදෙනවාට අපේ කිසිම විරුද්ධත්වයක්‌ නැහැ. ඔහුගේ සිරුර භූමදාන කිරීමේ වියදම සඳහා යම් මුලක්‌ ලබාදීමට බලාපොරොත්තු වෙනවා..."

මෙහිදී වික්‍රමතන්ත්‍රිගේ දයාවතී (අවු. 75) යන අය සාක්‍ෂි දෙමින් මෙසේ කියා තිබෙනවා.

 "මියගොස්‌ ඇත්තේ මගේ සහෝදරයායි. ඔහු පදිංචිව සිටියේ මගේ ගෙදරයි. ඔහු වසර 25 ක පමණ කාලයක සිට බිරිඳගෙන් වෙන්වී සිටියා. මා දන්නා තරමින් ඔහුට බරපතළ අසනීපයක්‌ තිබුණේ නැහැ. පොඩි මල්ලී ළිඳේ පැනලා කියල අපේ ගෙවල් කිට්‌ටුව අයෙක්‌ පැමිණ කිව්වා. මම ළිඳ ළඟට ගිහින් බැලුවා. මල්ලිගේ සිරුර එහි පාවෙමින් තිබුණා. මීට කලිනුත් මල්ලී දෙවතාවක්‌ම මේ ළිඳටම පැනල දිවි නහ ගන්න හැදුවා. ඒ වෙලාවේ කිට්‌ටුව අය මල්ලීව බේරා ගත්තා. ඒ නිසා මල්ලී ළිඳට පැන දිවි නසා ගන්නට ඇතැයි මා විශ්වාස කරනවා. මරණය ගැන සැකයක්‌ නැහැ..."

මෙහිදී කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්‌.එස්‌. අත්තනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරික්‍ෂණ වාර්තාව හා ඉදිරිපත් වූ සාක්‍ෂි සලකා බැලූ මරණ පරීක්‍ෂකවරයා මෙය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක්‌ බව නිගමනය කර තිබෙනවා.