"අති දක්ෂ රොෂේන්ලා ඉවත් කොට නුසුදුස්සන් ඇතුලට" චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම විනාශ කිරීම අරඹයි!

පසුගිය දා නිමාවට පත්වූ ශ්‍රී ලංකා එංගලන්ත පලමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයකට ලක්විය. ඒ සදහා හේතුන් ලෙස ශ්‍රී ලංකා පිතිකරණ ලයිස්තුවේ සිදු කළ වෙනස්කම් කැපී පෙනෙන සාධක වී තිබේ. මෙම වෙනස්කම් සියල්ල කණ්ඩායම් පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් සිදු කර තිබේ. මේ වනවිට චන්දික හතුරුසිංහ විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැඩි ඒකාධිපතිත්වයක් ගොඩ නගා තිබෙන බව වාර්තා වෙන අතර කණ්ඩායමේ
සියලූම වෙනස්කම් සිය පෞද්ගලික වාසි උදෙසා සිදු කරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය කාලයේ තරග පාවාදීමේ චෝදනා වගකීම් විරහිත ක්‍රීඩකයන් සහ නායකයන් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අර්බුධයකට ලක්ව තිබුනි. බංග්ලාදේශයේ පුහුණුකාරීත්වය හෙබවූ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන්වා ගන්නේ එවැනි සමයක ය. ඒ සදහා දිගින් දිගටම සිදුවූ මාධ්‍ය මෙහෙයුම් සහ රසික ඉල්ලීම්ද විශාල හේතුවක් විය. දියේ ගිලෙනා මිනිසා පිඳුරු ගහේත් එල්ලෙන නිසාවෙන් ඕනෑම කොන්දේසියක් මත හතුරුසිංහ ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජය මාවතට කැඳවා ගත හැකි යැයි රසිකයන් සහ මාධ්‍ය මෙන්ම බලධාරීන්ද සිතන්නට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැති අර්බුධයෙන් උපරිම ප්‍රයෝජන ගත් චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට පැමිණීමට විශේෂ ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළේය. ඒ වනවිට දක්ෂතා දක්වමින් සිටි බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණයට රහස තමන් බව ප්‍රදර්ශනය කරමින් සිටි හතුරුසිංහ, ශ්‍රී ලංකාවට පැමිණීමට නම් කණ්ඩායමේ ඒකාධිකාරී බලය තමන්ට ඉල්ලා සිටියේය. තමන් බංග්ලාදේශයේ සිදු කළේ එවැනි වෙනසක් බවත් ශ්‍රී ලංකාවේද එම වෙනස සිදු කිරීමට නම් තේරීම් කමිටුවේ බලය පවා අවශ්‍ය බව ඔහු කීවේය. චන්දික හතුරුසිංහ කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කොපමණ විශ්වාසය තැබූවේද කියතොත් ඔහු වෙනුවෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව පවා වෙනස් කිරීමට කටයුතු කළේය.

ක්‍රිකට් ආයතනය චන්දික හතුරුසිංහ වෙනුවෙන් සුඛෝපභෝගී වාහන ගෙන්වා දුන්නේය. හතුරුසිංහගේ මාසික වැටුප රුපියල් ලක්ෂ හැටකි. එයට තවත් බොහෝ වරප්‍රසාද සහ දීමනා එක්වේ. මේ එදාමෙදා තුර ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු ලැබූ ඉහළම ගෙවීම ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන දිනූ ඩේව් වට්මෝ, පෝල් ෆ්‍රාබේස් වැනි පුහුණුකරුවන් හතුරුසිංහ ලැබූ ගෙවිමෙන් අඩක් හෝ ලැබූවේ නැත.

හතුරුසිංහ ශ්‍රී ලංකාවට පැමිණෙද්දී දැවැන්ත කඩා වැටීමකට ලක්වී තිබුනේ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් ය. හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම භාර ගනිද්දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තරග ජය ගනිමින් යම්කිසි ස්ථාවරයක පසුවූයේය. බංග්ලාදේශ කණ්ඩායම ලැබූ ජයග්‍රහණ මාලාවෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ එකම බලධාරීයා සහ පරම හිමිකරුවා තමන් ලෙසින් හැසිරෙන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.

මූලික ක්‍රිකට් මූලධර්මයක් වන්නේ ස්ථාවර කණ්ඩායමක් ගොඩ නැගීම හා එය පවත්වාගෙන යාමයි. ක්‍රීඩකයෙකුට නිසි ස්ථානයක් හිමි වීම, දිගින් දිගටම ඔහු එම ස්ථානයේම ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබා ගැනීම, කණ්ඩායමක විශාල වෙනස්කම් සිදු නොකර එකම කණ්ඩායමක් ක්‍රීඩා කරවීම මූලික ක්‍රිකට් සිද්ධාන්තයකි. එමගින් දිගු කාලීන සාර්ථක කණ්ඩායමක් ගොඩ නැගීමේ හැකියාව ලැබේ.

වර්තමානයේ ලොව සාර්ථකම කණ්ඩායම් වන එංගලන්තය සහ ඉන්දියාව එම සිද්ධාන්තය අනුව කටයුතු කරමින් ගොඩ නැගුනු කණ්ඩායම් ය.

කෙසේ වෙතත් හතුරුසිංහ නිරතුරුවම කීවේ ක්‍රීඩකයන්ට නිශ්චිත ස්ථානයක් ලබා නොදී විවිධ ස්ථානයන්හී ක්‍රීඩකයන් ක්‍රීඩා කරවන බවයි. මීට අමතරව සිය අභිමතය පරිදි කණ්ඩායම තරගයක් පාසා ස්ථාන සහ ක්‍රීඩකයන් වෙනස් කරවමින් ක්‍රීඩා කරවීමට හතුරුසිංහ ක්‍රියා කළේය.

හතුරුසිංහ පැමිණ මාස හයක් ඉක්මවීමටත් මත්තෙන් ඔහුගේ ක්‍රියාකලාපයේ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට ලැබුනේය. ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව බංග්ලාදේශයට සහ ඇෆ්ගණිස්ථානයට පරාජය වී ආසියානු කුසලානයේ මුල් වටයෙන් ඉවත් විය. 2019 ලෝක කුසලානයට සියලූම කණ්ඩායම් සුදානම්ව සිටියදී ශ්‍රී ලංකාවට පමණක් තවමත් ස්ථිර කණ්ඩායමක් නැත. හතුරුසිංහ පැමිණීමටත් පෙර ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ අර්බුධයක් පැවැති නිසා එම විනාශය එතරම් තදින් නොදැනේ.

නමුත් චන්දික හතුරුසිංහ තවත් විනාශයක් සිදු කිරීම අරඹා තිබෙනවාදැයි සැක පහල වන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ඔහු සිදු කරනා වෙනස්කම් දෙස බැලීමේදිය. ඒ මෙතෙක් කල් සාර්ථක වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ඔහු හිතුමනාපයට වෙනස්කම් සිදු කිරීමයි.

කණ්ඩායමක් දිගින් දිගටම සාර්ථක වනවා නම් එම කණ්ඩායමට වෙනස්කම් කිරීම අවශ්‍ය නැත. විශේෂයෙන්ම එම සාර්ථකත්වයට හේතුන් ඉවත් කරනවා නම් ඒ කණ්ඩායමට සිදු කරනා බරපතල විනාශයකි. මෙතෙක් කල් ස්ථාවරව, ක්‍රීඩකයන්ට නිසි ස්ථානයක් හිමිව එක් නිශ්චිත කණ්ඩායමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමටද හතුරුසිංහගේ අමන වෙනස්කම් සිදු කර තිබේ.

මෑතක සිට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සාර්ථකත්වයට මනා පිටුවහලක් වූ රොෂේන් සිල්වා ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කිරීම ක්‍රිකට් විශාරදයන්ගේ දැඩි විමතියට හේතු වී තිබේ. හතුරුසිංහගේ සමීපතම ක්‍රීඩකයෙකු වන කුසල් මෙන්ඩිස්ට දිගින් දිගටම අවස්ථාව හිම් වීමත් අති සාර්ථක ටෙස්ට් විශේෂඥයා රොෂේන් සිල්වා කණ්ඩායමෙන් ඉවත් කිරීමටත් හේතු පැහැදිලි නැත.

ටෙස්ට් ඉනිම් 70කටත් පසු ටෙස්ට් සාමාන්‍යය ලකුණු 30ට පවා ලඟා නොවූ කෞෂාල් සිල්වා නැවතත් කණ්ඩායමට ගෙන්වීමත් කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල එකම කණ්ඩායමක ක්‍රීඩා කිරීමත් විචාරකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
එක්දින තරග සාර්ථක වූ පමණින් අකිල ධණංජය කණ්ඩායමට කැඳවා තිබේ. ටෙස්ට් දඟ පන්දු විශේෂඥයා ලක්ෂාන් සඳකැන් කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. ඉන් නොනැවතී එක දිගට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරමින් පැමිණි පිතිකරණ අනුපිලිවෙල පවා වෙනස් කර තිබේ.

හතුරුසිංහගේ මෙම වෙනස්කම්හි ප්‍රතිඵල ලෙස ගාල්ල ටෙස්ට් පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයක් පරාජය විය. එයද එංගලන්තය වැනි කණ්ඩායමක් ඉදිරියේ ය.

එක් තරග පරාජයක් දරා ගැනීම ශ්‍රී ලංකා රසිකයන්ට කළ නොහැක්කක් නොවේ. කණගාටුවට කරුණ පරාජය නියත තරග පවා ආපසු හරවමින් ගාල්ලේදී මවුබිම දිනවූ හේරත්ට හොද සමුගැන්මක් ලබා දීමට නොහැකි වීමයි. නමුත් දිගු පරාජයන් වැලකට වල කපනා මෙම ක්‍රියාවලිය වහාම නතර කළ යුතුව තිබෙනා බව ක්‍රිකට් රසිකයන්ගේ මතය වී තිබේ.

චන්දික හතුරුසිංහගේ මෙම විනාශකාරී ක්‍රියාවලියට විරෝධය දක්වා කණ්ඩායම් කළමණාකරු චරිත් සේනානායකද මේ වනවිට කණ්ඩායමෙන් ඉවත් වී තිබීමද විශේෂත්වයකි.

- nethgossip