අපිට සමාජය හදන්න බැහැ, අපි හැදුනම හරි

පර්පල් රේන්ජ්’ සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කළ චාමර වීරසිංහ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ගායන ශිල්පියෙකි. මේ වනවිට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව, තනිව ප්‍රසංග වේදිකාවට යොමුවන ඔහු ‘තරුණයා’ හා කතාබහට මෙලෙස එක්විය.

ඔබ කාලයක් දායක වු ‘පර්පල් රේන්ජ්’ සංගීත කණ්ඩායමෙන් මෑතකදී ඉවත්වෙනවා. ඒකට හේතුව මොකක්ද?

සේනක අයියා එයට සාධාරණයක් කළානම්, මම කණ්ඩායම තුළ තවමත් රැඳී සිටිනවා. මට කියන්නෙම නැතුව සමහර ප්‍රසංග පවත්වද්දී මගේ ඡායාරූප හා නම භාවිත කරලා කටවුට්, බැනර් ප්‍රදර්ශනය කර තිබුණා. එය බලන ප්‍රේක්ෂකයන් හිතන්නේ මම ප්‍රසංගයට සහභාගි වෙනවා කියලා. එහෙම ප්‍රදර්ශනය කළාම මම ඒ ප්‍රසංගය ගැනවත් දන්නේ නැහැ. නමුත් රසිකයන් හිතන්නේ මම ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැහැ කියලා. මගේ ඡායාරූප ප්‍රසංග පැවැත්වෙද්දී විශාලව ප්‍රදර්ශනය කිරීම හොඳ දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. එවැනි කටයුතු නිසා තමයි මම ඉවත් වුණේ.

ඒ කියන්නේ ඔබ සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්නේ සේනක ක්‍රිස්බන් සමග ඇති වූ අමනාපයක් නිසා?

කිසිම අමනාපයක් නැහැ. මට ප්‍රසංගයකට ආරාධනා කළොත් මම යනවා. මේ සිදු වුණ දේවල් ගැන ඔහුට මම මුලින් කිව්වා. සංවිධායක මණ්ඩලයට මගේ ඡායාරූප තනිව ප්‍රදර්ශනය කර එවැනි දෙයක් කරන්න එපා කියන්න කියලා. නමුත් ඒ කටයුත්ත දිගින් දිගටම සිදු වුණා. එය හොඳ දෙයක් නෙමෙයි. ඒකයි මම ඒ තීරණය ගත්තේ. අනිත් දේ තමයි මට ආරංචි වුණා රසිකයන් චාමර වීරසිංහ එන්නැද්ද ඇහුවම, “චාමරට කිව්වා, ඒත් එයා ආවේ නැහැ කියලා” සඳහන් කරනවා. මේ ප්‍රශ්නය නිසා තමයි කණ්ඩායමෙන් ඉවත් වුණේ. කණ්ඩායමෙන් ඉවත්වුණාම එලෙස ඡායාරූප පළ කරන්න බැහැ. නමුත් කිසිම කෙනෙක් එක්ක මම තරහ නැහැ. ඔවුන් ප්‍රසංගයකට කතා කළොත් මට හැකි නම් මම එයට දායක වෙනවා. අවුරුදු දහඅටකටත් වැඩිකාලයක් ‘පර්පල් රේන්ජ්’ කණ්ඩායමේ මම හිටියා. ඒ වගේම කණ්ඩායම වෙනුවෙන් බොහෝ දේවල් කළා. එහෙම කරලත් මෙවැනි දෙයක් වෙද්දි හිත රිදෙනවා. නමුත් මගේ හිතේ කා එක්කවත් අමනාපයක් නැහැ.

නැවත සංගීත කණ්ඩායමකට එක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

නැහැ.මම තනිව ප්‍රසංගවලට දායක වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

මේ වනවිට කිහිප දෙනෙක්ම ඔබේ ගීත ප්‍රසංග වේදිකාව තුළ ගායනා කරන්න යොමුව තිබෙනවා. මේ නිසා ගැටලු ඇතිව තිබෙනවා නේද?

සංගීත කණ්ඩායමක කෙනෙක් මගේ ගීත ගායනා කරන එක ගැටලුවක් නෙමෙයි. නමුත් මම වගේම ඇඳලා, කණ්ණාඩි දාගෙන, මම වෙන්න උත්සහ කරන හය දෙනෙක් පමණ ඉන්නවා. ඒ හැම දෙනාටම මම කිව්වේ මගේම ගීත ගායනා කරන්න එපා, තවත් කලාකරුවන්ගේ ගීත එක්ක මගේ ගීත කියන්න කියලා. සල්ලි අරගෙන මගේ ගීතම කියන්න එපා කියලා මම කිව්වා. ඒකට හේතුව මම වෙරලියද්දගේ ගීත ගායනා කරන කාලයේදි කණ්ඩායම තුළ විතරයි ඒ ගීත ගායනා කළේ. එළිමහන් ප්‍රසංගවලට තනිව ගිහින්, ඔහුගේ ගීත ගායනා කළේ නැහැ. අනිත් දේ මම වගේම ඇඳ පැලඳගෙන නිවැරදිව මගේ ගීත ගායනා කරන්නේ නැති වුණාම ඒ දෙස බලා ඉන්න අයට මම වගේ පෙනුණොත් එය ගැටලුවක්. ඒ නිසා තමයි එහෙම කිව්වේ. පසුගිය කාලයේ දමිත් අසංක ගායකයා වෙනුවෙන් ඔබ පෙනී සිටියා?

දමිත් ගැන ෆේස්බුක්, යුටියුබ් හා අනෙකුත් සමාජ මාධ්‍යන්වල ගිය තොරතුරු අසත්‍යය දේවල්. ඔහුගේ පවුල් ජීවිතය තුළ වුණ ප්‍රශ්න ගැන කල්පනා කරලා එහෙම තත්ත්වයක් ඇති වුණේ. මම ඔහු ගැන හොඳින් දන්නවා. මගේ යාළුවා නිසා තමයි මම ඔහු වෙනුවෙන් පෙනී හිටියේ. යාළුවෙක් කරදරේ වැටෙද්දි ඔහු සමග සිටිය යුතුයි.

මත්ද්‍රව්‍යය ඈදාගනිමින් පළ වූ පුවත් තමයි බොහෝ විට අපට දකින්න ලැබුණේ. ඔබ ගැනත් එවැනි පුවත් පළ වුණා?

මම මේ ක්ෂේත්‍රයට එනවිට බොහෝ දේවල් මට කිව්වනේ. ඒ එකක්වත් ඇත්ත කරගන්න බැරි වුණානේ. එහෙම දේවල් කියාගෙන එනවා, විවිධ අරමුණු නිසා. නමුත් අන්තිමේදි ඒ සියල්ල බොරු වෙනවා. කාගෙන් හරි දෙයක් අහගෙන ලොකු කතාවක් මවාපානවා. අපේ හිත තමයි මේ කතාවල ඇත්ත නැත්ත දන්නේ. මාව හොඳින්ම දන්න අය දන්නවා, මොකක්ද මේ සිද්ධ වුණේ කියලා. දමිත් ආශ්‍රය කරන අයත් එහි ඇත්ත නැත්ත දන්නවා. අපිට සමාජය හදන්න බැහැ,

අපි හැදුනම හරි ඔබ නිර්මාණය කරන ගීතවලට රූප රචනා සිදුකරන්නෙ නැහැ, එයට හේතුව මොකක්ද?

මම ගීත කරන්නේ මගේ වින්දනයට. ගීත නිර්මාණය කළ පසු ෆේස්බුක්, යුටියුබ්වලට යොමු කරනවා. එයයි මම සිදුකරන්නේ. ඒ ගීතවලට රූප රචනා කරන අදහසක් මා තුළ නැහැ. ඉදිරියේදිත් රූප රචනාවක් කරන්නෙම නැහැ. රූපවානියේ ගීත ප්‍රචාරය කරන්න සිදු වුණොත් වෙනත් රූප රචනා සමග එය නිර්මාණය කර දෙනවා. මම ගීත වෙනුවෙන් රූප රචනා නිර්මාණය කරන්නේ නැහැ. මේ වනවිටත් මම ගායනා කළ ගීත රසවිදින්නේ රූප රචනා නොමැතිව. බොහෝ විට මගේ ගීත ප්‍රචාරය වෙන්නෙත් එෆ්එම් තුළින්. රූප රචනා නොකිරීම තුළ රසිකයන්ට සින්දුව ගැන හිතන්න ඉඩක් ලබාදෙනවා.

මේ වනවිට එළිමහන් ප්‍රසංග වේදිකා ප්‍රසංගවලට යොමුවන ප්‍රේක්ෂකයන් ගැන ඔබේ අදහස කුමක්ද?

මේ වනවිට ගුණාත්මකත්වයෙන් ඉහළ ගීත අහන්න යොමුවන අය දකින්න ලැබෙන්නේ. ඉහළ රසවින්දනයක් සහිත ගීත අහන මට්ටමක් ඇති වෙමින් තිබෙනවා. ඉස්සරට වඩා සමාජය බුද්ධිමත් කියලා මම හිතනවා. මේ ප්‍රසංගවලට එන තරුණයන්ට කියන්නේ රොක්, රෙගේ, හිපොප් වැනි එකම ධාරාවක ගීත අහන්න යොමුවෙන්නේ නැතුව සෑම සංගීත ශෛල්‍යයකම හොඳ නිර්මාණ රසවිදින්න. නාද රසය,ශබ්ද රසය, අර්ථ රසය ගැන අවධානය යොමුකර හොඳ දේ ගන්න කියලා කියන්න කැමතියි. අපි බුද්ධිමත් වුණොත්, මේ ගීතවලට වටිනාකමක් ලැබෙනවා. ඉදිරියේදී එවැනි හොඳ තත්වයක් ඇතිවෙයි. රසවින්දනයක් ඇති ගීත ගායනා කරන්න යොමුවෙන්නෙත් ඒ හේතුව නිසා.

නිදුක් මදුෂික / ඡායාරූප-චානුක කුලසේකර