කීයටවත් නිළියක් බඳින්නෙ නෑ – චානුක ප්‍රබුද්ධ

දිනෙන් දින අලුත් මුහුණු හමුවෙන තැනක්නේ රංගන ක්ෂේත්‍රය කියන්නේ. ඉතින් මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශය වන සකුගේ කතාවෙත් එහෙම අලුත් මුහුණක් දකින්න ලැබෙනවා. ඔහු තමයි චානුක ප්‍රබුද්ධ. සකූගේ කතාවට නම් ඔහු මාලක. ක්ෂේත්‍රයට අලුත්, ඔහු ගැන දැනගන්න කවුරුත් කැමැත්තෙන් ඇති. මේ ඉඩ වෙන්වෙන්නේ ඒ වෙනුවෙන්…

මාලකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම වගේ හොඳයි කියලා කියනවා. කතාවත් හරි ලස්සන කතාවක් නිසා ලැබෙන ප්‍රතිචාරත් ඒ තරමටම සුන්දරයි.

ඒ චරිතය ගැන කෙටියෙන් යමක් කීවොත්?
දුෂ්කර ගමකින් තමයි මාලකගේ ගමන පටන් ගන්නේ. ඔහුට හොඳ ගායන හැකියාවක් තියෙනවා. ඒ නිසාම රියැලිටි තරගයක් හරහා මාලක කොළඹට එනවා. මේ වටා ගෙතුණු ඔහුගේ ආදරය එක්ක ගොඩනැගුණු චරිතයකට තමයි මම සකුගේ කතාව ඇතුළේ පණ දෙන්නේ.

ඇත්තටම ඔබ සංගීතයට උනන්දු කෙනෙක්ද?
ඔව්. මම සංගීතයට උනන්දුයි සහ ආදරෙයි. නමුත් සංගීතය ගැන හැදෑරීමක් නම් කරලා නැහැ. ඒක තමයි මට මේ චරිතය එක්ක තියෙන අභියෝගය.

කොහොමද ඔබට මේ චරිතය ලැබෙන්නේ?
ප්‍රියන්ත කොළඹගේ සර්ව මම පෞද්ගලිකව හඳුනන්නේ නෑ. අහම්බෙන් තමයි මට මේ චරිතය ලැබෙන්නේ. මගේ සමීපතම යෙහෙළියක් වන නයෝමි රත්නායකගේ හඳුන්වා දීම මතයි ප්‍රියන්ත කොළඹගේ සර්, මං ගැන දැන ගන්නේ. ඊට පස්සේ මේ චරිතයට මගෙන් උපරිම සාධාරණය ලැබෙයි කියන විශ්වාසය මතයි මාලකගේ භූමිකාව මට ලැබෙන්නේ.

සකුගේ කතාව ඔබේ පළමු ටෙලි නාට්‍යයද?
මේ මගේ දෙවැනි ටෙලි නාට්‍යය. පළමු ටෙලි නාට්‍යය ටික දුරක් යනකොට යම් යම් ගැටලු නිසා අතරමග නවත්වන්න සිදුවුණා. එහෙම බලනකොට මං නළුවෙක් විදියට සාර්ථක වුණු පළමු නිර්මාණය සකුගේ කතාව.

නළුවෙක් වීමේ හීනයක්ද ඔබට තිබුණේ?
නළුවෙක් වීමේ හීනයක් තිබුණෙ නෑ මට. මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධව කොහොමත් කටයුතු කරන කෙනෙක්. මම මගේ උපාධිය හදාරන්නේ ඔස්ට්‍රේලියාවේ. ආයෙම ඔස්ට්‍රේලියාවට යන්න ඉන්නකොට අහම්බෙන් තමයි මට රංගනය මුණ ගැහෙන්නේ. දැන් නම් ඉතින් බලා‍පොරොත්තුව කලාවෙන් ඉදිරි ගමනක් යාම තමයි.

නිරූපණ ශිල්පියෙක් වීම රංගනයට පිවිසෙන්න පහසු මාර්ගයක්ද?
නිරූපණය, රඟපාන්න එන්න කෙටි පාරක් ‍නෙවෙයි. රංගනයයි, නිරූපණයයි කියන්නේ පැහැදිලිවම දෙකක්. එතැනදි නිරූපණයට සාපේක්ෂව රංගනය තරමක් දුරට බැරෑරුම් කාර්යයක් විදියටයි මම දකින්නේ.

වෘත්තීය රංගන ශිල්පියෙක් වීමද ඔබේ බලා‍පොරොත්තුව?
ඔව්. වෘත්තිය විදියට රංගනය තෝරාගන්නත් මම බලා‍පොරොත්තු වෙනවා. ඒ වගේම මම නිරූපණ වෘත්තිය අමතක කරන්නෙත් නෑ. ඒ සේරම එක්ක මම මගේ උපාධිය සම්පූර්ණ කරන්නත් ඕන.

එහෙම ඉස්සරහට යනකොට රංගනය ගැන හැදෑරීමකුත් අවශ්‍යයි නේද?
අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැනටමත් මම මේ පිළිබඳ පාඨමාලා හදාරමිනුයි ඉන්නේ. රංගනය කියන්නේ කිසිම දවසක ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයි. රඟපෑමෙන්ම ලබන අත්දැකීම් ගොඩක් වැදගත් ඊළඟ චරිතයේ සිදුවිය හැකි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න.

කොහොමද ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය?
කිසිම දෙයක් නොදැන රඟපාන්න ආපු මට ඇත්තටම ඒ සහයෝගය ගොඩක් වටිනවා. එක්කෙනෙක් කියලා කියන්න බෑ මුල සිටම මං ළඟින් හිටපු සහ අදටත් ඉන්න හැමෝම මට දෙන ඒ සහයෝගය තමයි මාව හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරට අරන් ඇවිත් තියෙන්නේ.

‍පොඩි දරුවොත් එක්ක රඟපෑමෙන් ලබන අත්දැකීම ගැනත් කියමු.
ඒ අත්දැකීම හරිම සුන්දරයි. මමත් ඔවුන් දිහා බලලා ඉගෙන ගත්ත අවස්ථා තියෙනවා. මටත් වඩා ඉස්සරහින් තියෙන්නෙ ඔවුන්ගේ දක්ෂතාවය.

ක්ෂේත්‍රයේ කාවද ඔබ ළඟින්ම ආශ්‍රය කරන්නේ?
ක්ෂේත්‍රයේ නම් කිසිම කෙනෙක්ව මම ළඟින් ආශ්‍රය කරන්නේ නැහැ. තවම මම මේ ක්ෂේත්‍රයේ ඉතාම සීමිත පිරිසකුයි දන්නේ. ඒ ටික දෙනා එක්ක හොඳ යාළුවෙක්, හොඳ සහෝදරයෙක් හැටියට මම එදිනෙදා සුහදව  ගනුදෙනු කරනවා.
පවු‍ලේ විස්තර ගැනත් කියමු.

මට ඉන්නේ අක්කලා දෙන්නෙක්. ඒ දෙන්නම විදේශගතවයි ඉන්නේ. මම ලංකාවේ ඉන්නේ මගේ ආච්චිත් එක්ක. අම්මයි තාත්තයි නම් නැතිවෙලා. ඉතින් එහෙම බලනකොට ලොකු පවුලක් ‍නෙවෙයි මට තියෙන්නේ.

නමුත් ඔබට ඔවුන්ගේ සහයෝගය ලැබෙනවා ඇති?
ඔව්. ඔවුන්ගෙන් මට හොඳ සහයෝගයක් වගේම ආශිර්වාදයක් ලැබෙනවා. කලින් නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙලා හිටපු නිසා මේ ක්ෂේත්‍රය ගැනත් ඔවුන්ට හොඳ අවබෝධයක් තියෙනවා.

ආදරේ ගැන මොකද හිතෙන්නේ
ආදරේ ඉතින් හරි සුන්දරයි.

එහෙනම් පෙම්වතියකුත් ඇති
පෙම්වතියක් නම් තවම නෑ. මම හිතනවා මට තව සෑහෙන දුර ගමනක් ඉස්සරහට යන්න තියෙනවා. ඒ නිසා දැනට මම ආදරේ ගැන නොහිතා මේ ගමන ඉස්සරහට යනවා.

නිළියක්වම  බිරිඳ කරගන්නද බලා‍පොරොත්තුව?
කොහෙත්ම නැහැ. කලාවට මම ගොඩක් ගරු කරනවා. මෙතැන ඉන්න හැමෝම මට සහෝදරියෝ විදියටයි දැනෙන්නේ. දවසක මම විවාහ වෙනවා නම් වෙන්නේ කලාවට සම්බන්ධ කෙනෙක් සමග නම් ‍නෙවෙයි.

තවත් නිර්මාණවලට ආරාධනා ලැබිලා ඇති නේද?
ඔව්. තවත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා.

ඒ අතරේ සිනමාවට ලැබුණු ආරාධනා නැද්ද?
අධ්‍යක්ෂවරු සහ ප්‍රේක්ෂකයෝ මාව අඳුර ගත්තේ මේ නිර්මාණ හරහා. මොකද මම එළියට එන්නේ මේ චරිතයෙන්. ඉතින් ආරාධනා නම් ලැබිලා නෑ තවම. නමුත් සිනමාව කියන්නේ මගේ බලා‍පොරොත්තුවක්.

නඳුනි ආරියවංශ

gossip lanka