"මගේ පියයුරු වැඩෙන්න පටන් ගත්තාම ගෙදර හැමෝම ඒ ගැන කතා කරන්න ගත්තා, මට දැනුණේ මං ලොකු වරදක්‌ කළා වගෙයි" නව යොවුන් වියේදී පියයුරු අහිමි වූ දැරියකගේ කඳුළු කතාව - Photos

කාන්තා සිරුර ආකර්ෂණීයය. එහෙත් කාන්තාවක්‌ ස්‌ත්‍රී දූෂණයකට ලක්‌ වෙන්නේ ඒ ආකර්ෂණීයත්වය නිසාමද.? ස්‌ත්‍රී දූෂණ වලට පිළියමක්‌ ලෙස කාන්තාවකගේ සිරුරේ ආකර්ෂණීය බව ඇගෙන් උදුරා ගැනීම කොයි තරම් සාධාරණද..? එක අතකින් මෙය ඔබට අමානුෂික හිංසනයක්‌ යෑයි සිතෙනු ඇත. ඇත්තෙන්ම එය අමානුෂික ළමා හිංසනයකි. එහෙත් අදටත් ඒ හිංසනයට මුහුණ දෙන කුඩා දැරියන් මිලියන ගණනක්‌ ලෝකය පුරා වෙසෙති.

'ටෙරීසියා ටෙචූ' ඒ දහස්‌ ගණනක්‌ දැරියන් අතරින් එක්‌ අයෙකු පමණකි. ඇගේ වයස අවුරුදු නවයකි. හැමදාමත් උදේට පාසලට යන්නට කලින් ඇයට අනිවාර්යෙන් මුහුණ දෙන්නට සිදු වෙනඑක්‌ දෙයක්‌ ඇත. ඒ ඇඳුමක්‌ මදින්නාක්‌ මෙන් ගිනියම් යකඩයකින් ඇගේ පපුව 'මැදීම' යි. ගිනි මැලයක රත් වෙමින් තිබෙන යකඩ මෝල් ගසක්‌ ගින්නෙන් පිටතට ගත් ගමන්ම ටෙරිසියාගේ පියයුරු මත තබා තද කරන්නේ ඇගේ අම්මා විසින්මය.

"රත් වුණ යකඩයෙන් පපුව මදිනකොට ඉවසගන්න බැරි තරම් වේදනාවයි. මගේ පපුව ඇකිලිලා ආපස්‌සට යන හැටි මට දැනෙනවා. ඒ නිසාම ඇති වචේච කැළලක්‌ තාමත් මගේ පපුවේ තියනවා.." ටෙරීසියා පවසන්නේ කඳුළු පිරි දෙනෙතිනි. එහෙත් ටෙරීසියාගේ අම්මා කියන පරිදි නම් ඇය මෙසේ කරන්නේ ටෙරිසියාට හිංසාවක්‌ කරන අරමුණකින් නොවේ. තමන්ගේ දියණිය ආරක්‌ෂා කිරීමේ අටියෙනි. Breast Ironing නැතහොත් 'පියයුරු මැදීම' ලෝකයේ රටවල් ගණනාවක්‌ පුරා මවුවරුන් අතින් තවමත් සිදුවන චාරිත්‍රයකි. එක්‌සත් රාජධානියේ පවා සිය ගණනක්‌ මවුවරු රත් වුණු යකඩ, මිටි, සහ රත් කළ කළුගල් භාවිතයෙන් තමන්ගේ දියණියන්ගේ පියයුරු මදිති.

බ්‍රිතාන්‍යයේ පමණක්‌ මේ ම්ලේච්ඡ චාරිත්‍රයට මුහුණ දුන් ගැහැනුන් සංඛ්‍යාව දහස ඉක්‌මවතැයි කියවෙයි. ලොව පුරා රටවල් ගණනාවක ගැහැනු දරුවන් මිලියන 3.8 ක්‌ මේ ඉරණමට මුහුණ දෙති.

ගැහැනු දරුවකුගේ වැඩිවිය පැමිණීමත් සමඟ, ඇගේ කායික වෙනස්‌ කම් රැසක්‌ ඇති වෙන්නට පටන් ගනී. දැරියක වැඩිවියට පැමිණෙන්නට ආසන්න වයසට එන විට ඔවුන්ගේ මවුවරු මේ 'පියයුරු මැදීමේ' චාරිත්‍රය අරඹන්නට පටන් ගනිති. දැවෙන ගල් අඟුරෙහි දමා රත් කරන ලද යකඩයකින් හෝ ගලකින් මේ වැඩෙන්නට පටන් ගත් පියයුරු පුළුස්‌සනු ලබයි. ඇතැම් විටෙක රත් කරන ලද යකඩ මිටි, යකඩ හැඳි වැනි දේද මේ සඳහා යොදා ගනු ලබයි. ඇතැම් විටක මෙලෙසින් 'මදින ලද' පියයුරු වටා වෙලුම් පටි වලින් තද කර එතීමත් සිදු වෙයි.

"ගල් අඟුරු වලින් රත් වුණ යකඩය ගින්නෙන් පිටට ගත්ත ගමන්ම පපුවට තියලා තද කරනවා.. ඇත්තටම ඒක හරිම වේදනාකාරී දෙයක්‌.. ඊට පස්‌සේ පියයුරු දුර්වල වෙනවා.. හරියට ඒවා දියවෙලා යනවා වගේ.. මේද තට්‌ටුව දියවෙලා යනවා.. එතකොට දැනෙන්නේ පියයුරු ආපස්‌සට යනවා වගේ.. ඇත්තටම ඒකෙන් සෑහෙන තරමේ විරූපී පෙනුමක්‌ එනවා.." මේ අත්දැකීමට මුහුණ දුන් ගැහැනියක තම අත්දැකීම් ගැන කීවේ එලෙසය.

මෙහි අරමුණ වනුයේ පියයුරු වැඩීම වැළැක්‌වීම මගින් නව යොවුන් ගැහැනු දරුවන් කෙරේ විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ෂණය අඩු කිරීමත්, එමගින් ඇයව ස්‌ත්‍රී දූෂණ වලින් සහ අඩු වයස්‌ ගැබ් ගැනීම් වලින් වැළැක්‌වීමත්ය. එයින් එකී දැරියන්ගේ පවුල්වල ගෞරවය ආරක්‌ෂා කරගැනීමත් ඔවුන්ගේ බලාපොරොත්තුවකි.

මේ අමුතු චාරිත්‍රය චැඩ්, ජිනීවා, බිසාවු, ටෝගෝ, බෙනින් වැනි ප්‍රදේශවල බහුලව ක්‍රියාත්මක වෙයි. එහෙත් එය වඩාත්ම ප්‍රචලිත වනුයේ කැමරූන් හිය. දකුණු අප්‍රිකාවේ ඇතැම් පළාත්වල මෙම චාරිත්‍රය අතිශයින් සාමාන්‍ය දෙයකි. බ්‍රිතාන්‍යයේ දකුණු අප්‍රිකානු ප්‍රජාවන් වාසය කරන ප්‍රදේශ වලද 'පියයුරු මැදීමේ' චාරිත්‍රය ජයටම සිදුවෙයි. වාර්තා වෙන අන්දමට බ්‍රිතාන්‍යයේ නම් මේ අත්දැකීමට මුහුණ දුන් සංඛ්‍යාව දහසකට වැඩිය.

මෙය ශෝචනීය තත්ත්වයකි. එහෙත් වඩාත්ම ශෝචනීය කාරණය වන්නේ මේ චාරිත්‍රය තම දූවරුන් වෙනුවෙන් සිදු කරන්නට උත්සුක වෙන්නේ එම ඉරණමටම වරක්‌ මුහුණ දුන් ඔවුන්ගේ මවුවරුන්ම වීමය.

ඔවුන් මෙම චාරිත්‍රය සිදු කරන්නේ දැරියගේ ආරක්‌ෂාව බලාපොරොත්තුවෙන් වුවද, ශාරීරිකව මෙන්ම මානසිකවද විපර්යාසයන්ට භාජනය වෙමින් සිටින වයසක දැරියකට මේ චාරිත්‍රය හැම අතින්ම වේදනාකාරීය. ශාරීරිකව මෙන්ම මානසිකවත් මේ චාරිත්‍රය විසින් ඔවුන්ව මහත් පීඩනයකට ලක්‌ කරවයි.

"හැමදාමත් උදේට ඉස්‌කෝලෙ යන්න කලින් අම්මා මගේ කමිසය ගලවලා බලනවා මම මගේ බැන්ඩේජ් එක අයින් කරලද කියලා.. මට ගොඩක්‌ ලැජ්ජා හිතෙනවා.. මේ බැන්ඩේජ් එක ඔතලා දැනට අවුරුදු දෙකක්‌.. අනේ දැන්වත් මේක නවත්තනවා නම්.. ඒ වෙනුවට අම්මා මට පරිස්‌සම් වෙන හැටි ගැන කියලා දෙනවා නම් කොච්චර හොඳද.." දාහතර හැවිරිදි කැමරූන් දැරියක, ප්‍රංශ ඡායාරූප ශිල්පියෙකු වන ගිල්ඩාස්‌ පියරේට පැවසුවාය. ගිල්ඩාස්‌ පියරේ මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් දැරියන් වෙනුවෙන් ප්ලාස්‌ටික්‌ සැත්කම් පහසුකම් සලසා දෙන ව්‍යාපෘතියක නිර්මාතෘ වෙයි.

මේ ක්‍රියාවලිය අතිශයින් වේදනාකාරී එකක්‌ වනවාක්‌ මෙන්ම නව යොවුන් දැරියන්ට තමන්ගේ ශරීරය පිළිබඳව ලැජ්ජාවක්‌ ඇති කරවන්නක්‌ද වෙයි. එසේම මෙම ක්‍රමවේදය දැරියන්ගේ පියයුරු වැඩීම වළක්‌වන්නට සාර්ථක ක්‍රමයක්‌ද නොවේ. එයින් ලැබෙන්නේ තාවකාලික ප්‍රතිඵල පමණකි. එනිසා හැදෙන වැඩෙන වයසේ දැරියන්ට අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ දිගින් දිගටම මේ අත්දැකීමට මුහුණ දෙන්නට සිදුවෙයි. මේ ක්‍රියාවලිය ඇගේ පසුකාලීන ජීවිතයට දැඩිව බලපායි. පසුකලෙක විවාපත්ව මවක වී දරුවන්ට මව් කිරි දෙන්නට මෙවන් කාන්තාවන්ට ඇත්තේ අඩු හැකියාවකි.

රත්වුණු උපකරණ මගින් ඔවුන්ගේ පපුව මත ඇති කරන තුවාල, මාරාන්තික ආසාදන වලටද ලක්‌වන අවස්‌ථා ඇත.

එහෙත් තම දූවරුන්ගේ පියයුරු මැදීම මගින් ඒ මවුවරුන් බලාපොරොත්තු වන්නේද තම දූවරුන්ගේ ජීවිතයට ආරක්‌ෂාවකි. පියයුරු මැදීමේ චාරිත්‍රය මගින් තම දියණියන් කෙරේ පුරුෂ පාර්ශ්වයේ ආකර්ෂණය ලැබෙන්නට ඉඩ නොදීමත්, එමගින් දියණියන් ස්‌ත්‍රී දූෂණවලට ලක්‌ වීම වළක්‌වා ගැනීමත් පමණක්‌ නොව තම දියණියන් ළමා විවාහ වලින් ආරක්‌ෂා කරගන්නටත් මේ මවුවරුන් බලාපොරොත්තු වෙයි. මේ සියලු ආපදාවලින් ගැලවී තම දියණියන් පාසල් අධ්‍යාපනය ලබනු දැකීම ඒ මවුවරුන්ගේ බලාපොරොත්තුව වෙයි.

යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවලට අනුව කැමරූන් හි දැරියන්ගෙන් 38% ක්‌ම වයස දහ අට පිරෙන්නට පෙර විවාහ වෙති. ඒ අතරින් සියයට විසිපහක්‌ම නිසි වයස පිරෙන්නට පෙර මවුවරුන් බවට පත් වෙති. කැමරූන් වෛද්‍ය සභාවේ අධ්‍යයනයන්ට අනුව එරට දැරියන්ගෙන් සියයට විස්‌සක්‌ම තම පාසල් ගමන අතරමග අත්හිටුවන්නේ අනපේක්‌ෂිත ගැබිණි බව හේතුවෙනි.

"මගේ පියයුරු වැඩෙන්න පටන් ගත්තාම අපේ ගෙදර හැමෝම ඒ ගැන කතා කරන්න පටන් ගත්තා.. මට දැනුණේ මං ලොකු වරදක්‌ කළා වගෙයි.." මේ අත්දැකීම ගැන සුබවාදීව කතා කරන විසි අට හැවිරිදි කැමරූන් කතක්‌ පවසයි."ඊට පස්‌සේ මගේ අම්මා තීරණය කළා මගේ පියයුරු මදින්න.. පියයුරු වැඩුණාම ගැහැනු දරුවන් ගැන පිරිමි උදවියගේ ඇස්‌ යොමු වෙනවා.. අන්තිමේදී ගැබිනියක්‌ වෙලා ඉස්‌කෝලේ යන්න නැතිවෙන්නේත් ගැහැනු අයටමනේ.. ඒ නිසා අම්මා කළේ මට දැනුණේ මං ලොකු වරදක්‌ කළා වගෙයිමට යහපතක්‌ වෙන දෙයක්‌.." ඇය කියයි.

කාන්තාවටත් තමන් ගැන තීරණ ගන්නට ඇති අයිතියට, කාන්තාවගේ ශරීරය ගැන ඇයට ඇති අයිතියට පිරිමින් විසින් ගරු කළ යුතු බවත්, පුරුෂයින්ට හා සමානම නිදහසක්‌ අයිතියක්‌ කාන්තාවන්ටද ලැබිය යුතු බවත් තේරුම් ගන්නට තරම් මේ මවුවරුන් අධ්‍යාපනයෙන් පොහොසත් නැත. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ දියණියන්ගේ ආරක්‌ෂාව තහවුරු කරන්නේ ඒ දියණියන්ගේ අයිතිය උදුරා ගනිමිනි.

කාන්තා සුන්නත්කරණයට සමානම ම්ලේච්ඡ අපරාධයක්‌ ලෙස සලකමින් පියයුරු මැදීමේ චාරිත්‍රයටද එරෙහිව මේ වන විට ඇතැම් රටවල නීති පැනවී ඇත.

එහෙත් ගැහැනු බව ඉලක්‌ක කොට ගත් මෙවන් හිංසනයන්ට එරෙහිව වැට බඳින්නට නීති රීති පමණක්‌ම ප්‍රමාණවත් නැත. අධ්‍යාපනයේත් ආකල්පවලත් ප්‍රබල වෙනසක්‌ ඒ සඳහා අවශ්‍ය වෙයි.

නිම්මි මුදිතා හේරත්