"උදේ නැඟිටිනකොට අනේ මම ගෑනියෙක් වෙලා ඉන්න කියලා ප්‍රාර්ථනා කරලා නිදා ගත්ත වාර අනන්තයි" - භූමී නරේන්ද්‍රා - Video & Photos

භූමි හරේන්ද්‍රයන් මෙයට වසර විසි අටකට පෙර උපත ලැබුවේ කුමුදු දර්ශන කුමාර නමිනි.

උපත ලියාපදිංචි කිරීමෙන් අනතුරුව නිකුත් කරනු ලබන උප්පැන්න සහතිකයේ ස්ත්‍රී - පුරුෂ භාවය සඳහන් කිරීමට ඇති කොටසේ පුරුෂ ලෙස සඳහන්ව තිබුණ ද භූමි ස්ත්‍රියකි.

සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයකු වන භූමි උපතේ සිට කයින් පිරිමියකු ලෙස හඳුනාගත්ත ද මනසින්
ස්ත්‍රියක වූවා ය. මේ නිසාම සැත්කම් කිහිපයකට ලක්ව තමන්ගේ සැබෑ ජීවිතය දිනා ගැනීමට සමත්වූ ඇය සාම්ප්‍රදායික මතවාද වල ගිලී සිටින මිනිසුන් බහුල ශ්‍රී ලංකාව වැනි රටක උඩුගං බලා ගොස් අභියෝග ජයගත් චරිතයක් ලෙස හඳුනාගැනීම නිවැරදිය. මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස සමරිසි ස්ත්‍රී (Lesbian) සමරිසි පුරුෂ (Gay) ද්විරිසි ස්ත්‍රීන් හා පුරුෂයන් (Bisexual) සංක්‍රාන්ති සමාජභාවය (Transgender) නොඑසේ නම් (LGBT) ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන්ද ඇය පෙනී සිටින්නීය.

භූමි සමග කළ සාකච්ඡාවකි මේ.

කුමුදු දර්ශන - භූමි හරේන්ද්‍රන් වුණේ කොහොම ද? 

මේ ලෝකයේ උපදින සෑම මනුෂ්‍යයකුටම ශරීර දෙකක් තිබෙනවා. එකක් කායික ශරීරය. අනෙක මානසික ශරීරය. කායික ශරීරයත් මානසික ශරීරයත් එකිනෙකට සමපාත වුණාම පිරිමියෙක් ලෙස උපත ලබන කෙනා පිරිමියෙක් විදිහටත් ගැහැනියක ලෙස උපදින කෙනා ගැහැනියක් ලෙසත් හැසිරෙනවා. කිසියම් අයකුගේ මානසික ශරීරය හා කායික ශරීරය එකිනෙකට සමපාත නොවුණ පිරිසකුත් අප අතර සිටිනවා. එහෙම අය සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන් ලෙස අපි හඳුන් වනවා. මමත් ඒවගේ කෙනෙක්. මට දෙමවුපියෝ දුන්න නම කුමුදු දර්ශන කුමාර. ඒ මගේ කායික ශරීරය දිහා බලලා දෙමවුපියෝ ගත්ත තීරණයක්. ක්‍රමයෙන් වයස් ගත වෙද්දී මට දැනුණා මම පිරිමියෙක් නොවෙයි ගැහැනියක් කියලා. පිරිමි ශරීරයක් තුළින් ගැහැනු හැසිරීමක් ඇති වෙනකොට මේ සමාජය ඒක දකින්නේ විකෘතියක් විදිහටයි. මේ නිසා මට සමාජයෙන් නොයෙක් හිංසා පීඩා වගේම අසාධාරණකම් අත්විඳින්න සිදුවුණා. අවසානයේ මම තීරණය කළා සැත්කමකට ලක්වෙලා මානසික ශරීරය හා කායික ශරීරය එකිනෙකට ගළපා ගන්න. ඒ විදිහට තමයි භූමි හරේන්ද්‍රන් බිහිවුණේ. භූමි කියන්නේ මගේ යාහළුවෝ මට දුන්න නම. හරේන්ද්‍රන් කියන්නේ මගේ තාත්තගේ නමේ කොටසක්.

මානසික ශරීරය හා කායික ශරීරය අතර පැවැති නොගැළපීම ඔබ හඳුනා ගත්තේ කොයි කාලේ ද? 

මට අවුරුදු 2 1/2 ක් වෙනකොට අම්මා විදේශ රැකියාවකට ගියා. මම හැදුණේ වැඩුණේ නැන්දා ළඟ. එයාගේ දරුවෝ දෙන්නයි මායි එකට සෙල්ලම් කළා. තමන්ගේ සහෝදරයාගේ දරුවා කියලා නැන්දා තමන්ගේ දරුවන්ට කරන සැලකිලි මට කිසිම වෙලාවක නොකර හිටියේ නැහැ. අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ ඞී.එස්. සේනානායක විදුහලට මාව ඇතුළත් කළාට පස්සේ මට මුල්කාලේ ලොකු වෙනසක් දැනුනේ නැහැ. ඒත් 8-9 පන්ති වලට යනකොට මට මං ගැනම ප්‍රශ්න ආවා. මම කවුද, මොන වගේද කියලා හිතන්න ගත්තා. මොකද මගේ සම වයසේ පිරිමි ළමයින්ට දැනෙන දේට වඩා සමහර දේවල් මට වෙනස් විදිහට දැනෙන බවක් තේරුණා. පාසල් විෂයමාලා තුළ ලිංගිකත්වය ගැන කතා කරන්නේ හරිම අඩුවෙන්. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව කතා නොකරනම තත්ත්වයක් තිබෙන්නේ. මොකද පාසල් යාහළුවෝ ගැහැනු ළමයි කෙරෙහි ආකර්ෂණය වෙනකොට මට ආකර්ෂණයක් ඇති වුණේ පිරිමි ළමයි ගැන. ලෝකයේම මේ විදිහට දැනෙන එකම කෙනා මම විතරද කියලා මට බයක් දැණුනා. මගේ ඇඟ ඇතුළේ ජීවත් වුණ කාන්තාව නිසාම මගේ කට හඬත් ඊට ගැළපෙන ලෙස සකස් වී තිබුණා. මේ නිසා මගේ උසස් පෙළ පන්තියේ යාහළුයෝ එයාලගේ ගැහැනූ ළමයින්ට කතා කරන්න ඕන වුණාම ගෙවල්වලට කෝල් ගන්න කියන්නේ මට. මම කෝල් කරලා ගෑනු ළමයෙක්ගේ නමක් කියලා ඒ ළමයින්ගේ අම්මාලාට කතා කරනවා. එතකොට අම්මා දුවට ෆෝන් එක දෙනවා. ඊට පස්සේ යාළුවා කතා කරනවා. මගේ අත් අකුරු ලස්සන නිසා කොල්ලෝ ලියුම් ලියන්න කියන්නෙත් මට. මේ ඔක්කොම එක්ක මට මගේ වෙනසක් තිබෙන බව තේරුණා.

පාසලේදී මේ නිසා ප්‍රශ්න ඇති වෙලාම නැද්ද? 

පන්තියක ළමයි 45ක් ඉන්නවා නම් ඒ 45 දෙනාම එක විදිහට දක්ෂ නැහැ. ඔවුන්ට තිබෙන්නේ විවිධ දක්ෂතා. කෙනකුගේ දක්ෂතා, හැසිරීම සලකළා ගුරුවරු දරුවන්ට වෙනස් විදිහට සලකන්න හොඳ නැහැ. මගේ වෙනස් හැසිරීම නිසා මම පාසලේ ගුරුවරු අතින් පීඩාවට ලක්වූ අවස්ථා තිබෙනවා. පන්තියක් ළඟින් යනකොට මම ඇවිදින විදිහ බලලා ළමයි හැමෝම ඉදිරියේ සමහර ගුරුවරු මාව උපහාසයට ලක් කළා. ඔය විදිහට ඇවිඳින්න ඔයා ගෑනු ළමයෙක්ද කියලා කියත්දී අනෙක් ළමයි හිනා වෙනකොට මට ලොකු වේදනාවක් දුකක් ඇති වුණා. එතන ඇත්තටම තිබුණේ උපදේශයට වඩා උපහාසය. මාව පැත්තකට අරන් පෞද්ගලිකව මේ ගුරුවරු මේක නොකළේ ඇයි කියලා මම තාමත් හිතනවා. උසස් පෙළ කරන කාලේ ගී ගයන්න යම් කුසලතාවක් තිබෙන බව මට දැනුණා. නර්තනයටත් දක්ෂතා තිබුණා. මේ දෙකම මම අත්හැරියේ මේවා කරන්න ගියොත් තවත් ලේබල් වෙයි කියලා බයට. පාසලේ නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස මම කළා. පාසල් නාට්‍ය තරඟයක් විනිශ්චය කරන්න ප්‍රවීණ රංගනි ශිල්පී චාන්දනී සෙනවිරත්න මහත්මිය පැමිණ සිටි අවස්ථාවක අපිත් නාට්‍යයක් ඉදිරිපත් කර තිබුණා. මම නිරූපණය කළේ කාන්තා චරිතයක්. හොඳම නිළිය හැටියට මම නොතේරුණත් ඒ සඳහා මගේ නමත් නිර්දේශ වී තිබුණා. ඇෙග් ඇතුළේ ජීවත් වන ස්ත්‍රිය නිසා මට චරිතය හොඳන් කරන්න ලැබුණා කියලා මම හිතනවා.

ඔබ කාන්තාවක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිය යුතුයි කියලා තීරණය කළේ කවදද? 

උසස් පෙළ කරාට පස්සේ මම දැන්වීම් ප්‍රචාරණ ආයතනයක සේවයට ගියා. එහි හිමිකරු මගින් මම ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සැලසුම් සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මෙතනදී මට ලිංගික සුළුතරයකගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් එක්ක වැඩ කරන්න අවස්ථාව හිමිවුණා. එතනදී තමයි මම මේ සංක්‍රාන්ති ලිංගික සමාජභාවය කියන්නේ මොකක්ද කියලා හඳුන ගත්තේ. සමාජය ඉදිරියේ පිරිමියෙක් විදිහට හිටියත් මම හිතෙන් ගෑනියක් බව දැනගෙන හිටියේ මම විතරයි. ? නිදාගෙන උදේ නැඟිටිනකොට අනේ මම ගෑනියෙක් වෙලා ඉන්න කියලා ප්‍රාර්ථනා කරලා නිදා ගත්ත වාර අනන්තයි. මේ තත්ත්වය හරියට තේරුම් ගත්තට පස්සේ මම විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා උපදෙස් ලබා ගත්තා. සැත්කමක් මගින් මම ශරීරයේ යම් යම් වෙනස් කම් කර ගත්තා. ඉදිරියේදී තවත් සැත්කම් කිහිපයක් කර ගන්න අපේක්‍ෂා කරනවා. කුමුදු දර්ශන කුමාර නමින් හිටපු මම භූමි හරේන්ද්‍රන් බවට පත් වෙන්න 2010 ඉඳලා අවුරුදු 08 ක දුර ගමනක් මම ආවා.

මේ වෙනසට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

සංස්කෘතිය,ආගම ඇතුළු කාරණා ගණනාවක් මගින් රාමු හදාගෙන ඒවා තුළින් ලෝකය දකින 60 % ක පමණ පිරිසක් දෝෂාරෝපණ එල්ල කළා. ඔවුන් අපි දිහා බලන්නේ මානසික රෝගීන් ලෙසයි. ස්වභාවධර්මය අපිව කිසිම වෙලාවක වෙනස් කොට සලකන්නේ නැහැ. ඉර පායන්නේ, වැස්ස වැටෙන්නේ,සුළං හමන්නේ පුද්ගලයෝ බලලා නොවෙයි. සංක්‍රාන්ති ලිංගික සමාජභාවය තියෙන කෙනෙක් ළඟට අව්ව පායන් නැතුව තියෙනවද? ඒ වගේ කෙනෙක් ළඟින් සුළං හමන්නේ නැතුව තියෙනවද? හැබැයි ස්වභාවධර්මය විසින් නිර්මාණය කළ මිනිස්සු එක් එක් පුද්ගලයින්ට වෙනස් කොට සලකනවා. මේ පිරිස ස්ත්‍රී හා පුරුෂ සමාජභාවය හරි මැදින් ඉරක් ඇඳලා දෙකට බෙදන්න හදනවා. මේ දෙක අතර මැද කොටසක් ජීවත් වෙන බව මෙයලා තේරුම් ගන්නේ නැහැ. කාන්තාවන් නාන දිහා බලන,යට ඇඳුම් හොරකම් කරන, ග්‍රීස් ගා ගෙන ගෙවල් වලට රිංගන මානසික රෝගීන් හා LGBT ප්‍රජාව අතර වෙනසක් තිබෙනවා. මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවා ප්‍රකාශ කරලා තිබෙනවා LGBT ප්‍රජාව මානසික රෝගීන් නොවන බව. ඒත් තාමත් අපේ සමාජයේ විශාල පිරිසක් මේ ආකල්ප වලින් බැහැර වෙලා නැහැ. සමාජයේ ජීවත්වන 20 % ක පමණ පිරිසක් අපි දිහා අවබෝධයෙන් බලනවා. ඔවුන් අපේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින අවස්ථාත් තිබෙනවා. තවත් 30 % ක පමණ පිරිසක් ඉන්නවා නියුට්‍රල්. ඒ අය තමන්ගේ වැඩක් කරගෙන වෙනත් ප්‍රශ්න ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා ජීවත් වෙනවා.

පිරිමියෙක් ලෙස ඔබව හඳුනා ගත් සමාජය පසුකාලීනව ඔබව හඳුනාගන්නේ කාන්තාවක් ලෙසිනුයි. පුද්ගල අන්‍යනතාව හඳුනා දීමේදී ඔබට ප්‍රශ්න ඇතිවෙලා නැද්ද? 

ඕනෑ තරම්. අදාළ සැත්කම් වලින් පසු මනෝ වෛද්‍ය විශේෂඥවරයකුගේ නිර්දේශය මත ජෙන්ඩ සර්ටිෆිකේට් එකක් දෙනවා. ඒක නිත්‍යානුකූ ලියවිල්ලක්. එය උපයෝග කරගෙන මට ජාතික හැඳුනුම්පත,උප්පැන්න සහතිකය,විදේශ ගමන් බලපත්‍රය දැන් භාවිත කරන නමට හදා ගන්න පුළුවන්. මේ වනවිට මම මගේ උප්පැන්න සහතිකයේ නම වෙනස් කරගෙන තිබෙනවා. එහි 13 වන තීරයේ තමයි දැන් භාවිත කරන නම යොදා තිබෙන්නේ. ජාතික හැඳුන්පත හා විදේශ ගමන් බලපත්‍රය හදාගන්න දැන් කටයුතු කරමින් ඉන්නේ.

ඔබ දැන් පෙම්වතියක්ද ? 

ඔව්. ආදරය විඳමින් ඉන්නේ. මට කවදාවත් පෙම්වතියක් ඉඳලා නැහැ. පෙම්වතුන් හතර දෙනෙක් ඉඳලා තියෙනවා. කලින් හිටපු තුන් දෙනාම සාම්ප්‍රදායික පිරිමි. මාව ගැහැනියක් ලෙස සමාජය ඉදිරියට අරන් එන්න ඒ අයට හයියක් තිබ්බේ නැහැ. සමහර අයට තිබ්බේ ළමයි හදන්න බැහැ කියන ප්‍රශ්නේ.

විවාහ වීමට අදහසක් තිබෙනවාද? 

ඒක ගොඩක් දුර තිබෙන දෙයක්. ඊට කලින් කරන්න ගොඩක් දේවල් තිබෙනවා. රස්සාවක් ගන්න ගියාම,පොදු ප්‍රවාහන සේවයක ගමනක් යනකොට LGBT ප්‍රජාව විශාල ප්‍රශ්න වලට මුහුණ දෙනවා. තමන්ගේ සල්ලි වලින් ගෙයක් කුලියට ගන්න ගියාම කීදෙනෙක් අකමැතිද ගේ දෙන්න. කුලියට ගේ ගත්තම මොනවද කරන්නේ කියලා බලන්න අයිතිකාරයා නිතරම එනවා. සැකයෙන් තමයි සමාජය මේ ප්‍රජාව දිහා බලන්නේ. පිරිමියෙක් ලෙස සමාජයේ පෙනී හිටපු මම මුලින්ම කාන්තා ඇඳුමක් ඇඳලා ගිය දවස මට තාම මතකයි. මේකප් දාන්නත් ඒකාලේ අවබෝධයක් තිබුණේ නැහැ. හැමෝම වගේ උපහාසයට බලන බව මට දැණුනා. ඒත් පස්සේ මම තීරණය කළා මට ඕන විදිහට මම ජීවත් වෙනවා කියලා. මනසින් ගෑනියෙක් වුණු මම කලිසම් ඇඳලා පිරිමියෙක් වගේ පෙනී ඉඳලා සමාජය රවටනවාට වඩා ඇත්තටම ගෑනියෙක් විදිහට ජීවත් වෙන්න පටන් ගත්ත එක ගැන මම සතුටු වුණා. කාවවත් රවටන්න මට ඕන වුණේ නැහැ.

මවක් වීමට අවස්ථාවක් නොලැබීම ගැන කනගාටුවක් නැද්ද? 

නැහැ. දරුවකුට මවක් වෙන්න එයා තමන්ගේ කුසෙන්ම වදන්න ඕන නැහැ. දැනුත් මම දරුවන් ගොඩකගේ අම්මා කෙනෙක්.

සංක්‍රාන්ති සමාජභාවය සහිත පුද්ගලයින් ලිංගික ශ්‍රමිකයින් ලෙස ජීවිකාව ගෙන යන අවස්ථා දක්නට ලැබෙනවා. මෙම ප්‍රජාව සම්බන්ධව සමාජය තුළ වැරදි ආකල්පයක් ඇති වීමට මෙයත් හේතුවක් නේද? 

සංක්‍රාන්ති සමාජභාවට ඇති ළමුන් පාසල් වලදී පමණක් නොව තමන්ගේ නිවෙස් වලදී පවා හිරිහැර වලට ලක් වෙනවා. රැකියාවක් ගන්න ගියාම ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මේ අයත් අනෙක් අය වගේම ජීවත් වෙන්න යමක් උපයන්න ඕන. සමාජය විසින් සිදු කරන විවිධාකාරයේ වෙනස් කොට සැලකීම් නිසා ඔවුන් ලිංගික ශ්‍රමිකයින් ලෙස ජීවත් වෙන අවස්ථා තිබෙනවා. ඒකට වග කියන්න ඕන මේ සමාජයයි. නීතිය පිහිට පතාගෙන පොලිසිවලට යන අවස්ථා වලත් LGBT ප්‍රජාවට සාධාරණය ඉටු නොවන අවස්ථා වැඩියි. ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවය පිළිබඳ පුද්ගලයින්ගේ ජාලයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස මගේ උරහිස මත විශාල බරක් පැටවී තිබෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ලෙස මම ක්‍රියාකාරීයි. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මම පෙනී සිටිනවා. අවුරුදු 08 ක කාලය තුළ මම ආපු ගමන් මඟ ගැන මම තෘප්තිමත්. මම ආරම්භ කරපු කාර්ය තාමත් අවසන් නැහැ. අද වනවිට රටේ LGBT ප්‍රජාව පිළිබඳව යම් සුබවාදී කතාබහක් ඇති වෙමින් තිබෙනවා. එය යහපත් දිශානතියටකට යාවි කියා මා විශ්වාස කරනවා. හදාගත් රාමු වලින් ඉවත් වෙලා විවෘත මනසින් ලෝකය දිහා බැලූවොත් අපිත් ඔබ වගේම සමාජයේ ජීවත් වන ජන කොටසක් බව දැනේවි.

සමන්තී වීරසේකර