පාසලේදී දුර දිග ගිය ගුටිබැට හුවමාරුව නිසා තවත් පාසල් සිසුවෙකුට ජීවිතය අහිමිවෙයි..!

මාතර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු පිහියෙන් ඇන ඝාතනය කිරීමේ පුවත ගැන රටේම කතාබහට ලක්ව තිබෙන මොහොතක බේරුවල ප්‍රදේශයේ පාසලකදී 15 හැවිරිදි සිසුවෙක් විසින් සිදුකළ පහර දීමකික් නිසා තවත් පාසල් දරුවෙකු ඊයේ (25) අළුයම මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ්
තාරික් නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙක්.

මෙලෙස මියගොස් ඇති සිසුවා පාසලේ උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය නායකයෙක් වශයෙන් කටයුතු කරනු ලබන අතර වාර අවසාන විභාගයට සහභාගිවීමට පැමිණි 15 හැවිරිදි සිසුවෙකු නීති විරෝධී ආකාරයෙන් පාසල් නිළ ඇදුම ඇද සිටීම සම්න්ධයෙන් ඇතිවූ කතාබහක් අවසානයේදී එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අදාල සිදුවීමෙන් අනතුරුව සිසුන් දෙදෙනාම විභාගයට පෙනී සිට ඇති අතර පාසලේදී ශිෂ්‍ය නායක සිසුවා තමන්ට අසනීප බව පන්ති භාර ගුරුවරයාට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඔහුට වේදනා නාශක පෙති කිහිපයක් ලබාදී ඇති අතර සිසුවා පාසල ඇරී නිවසට ගොස් අදාල සිදුවීම ගැන නිවැසියන්ට පවසා නැති බවයි පොලිස් වාර්තා වේ සදහන් වන්නේ.

පසුව සිසුවා නිවසේදී නින්දට ගොස් ඇති අතර  යළි අවදිවුයේ නැති නිසා නිවැසියන් ඒ ගැන සොයා බලා ඇති අතර  ඔහු කළුතර රෝහලට ඇතුලත් කර තිබෙනවා. එහිදී ඔහුව නාගොඩ රෝහලට මාරු කර යවා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා. අනතුරුව කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාදී නැවත නාගොඩ රෝහලට මාරුකර ඒවා තිබෙනවා.

ඒ අනුව සිසුවා නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අළුයම මියගොස් ඇති අතර මෙම සිසුවාට පහරදුන් බව කියන 15 හැවිරිදි සිසුවා බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.