ඉන්දීය අගමැතිවත් පුදුම කරපු භාතිය-සන්තුෂ් කරන්නට යන අමුතු වැඩේ

භාතිය, සන්තුෂ්, උමාරියා කියන මේ තුන් දෙනාම ලාංකේය සංගීත ක්ෂේත්‍රය නැවුම් මාවතකට රැගෙන එන්නට වෙර දරන පිරිසක්. ගාන්ධි තුමාගේ 150 වන ජන්ම දිනය වෙනුවෙන් කරපු නිර්මාණයක් නිසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් පවා ඔවුන් පසුගිය දිනක පැසසුමට ලක් වුණා. ඒ ගැන අහන්නත් එක්ක අපි භාතිය ජයකොඩිට කතා කළා.

භාතිය, ඉන්දියාව පවා ඔබලාගේ නිර්මාණ අගයන මොහොතක ඒ තැනට අඩි තාලම වැටුණේ
කොහොමද කියලා මුලින්ම කිව්වොත්?

ඉන්දියාව, සමග සම්බන්ධකම් පවත්වන රටවල් 124ක ගායක ගායිකාවන් එකතු කරගෙන ගාන්ධි තුමාගේ 150ස් වන ජන්ම දිනය වෙනුවෙන් ගීතයක් නිර්මාණයක් කරන්නට ඉන්දීය අගමැතිතුමාට අවශ්‍ය වෙලා තිබුණා. ඒ ගාන්ධි තුමා කැමතිම භජන් එකක් තමයි වෛශ්නෝ ජනතෝ කියන එක. ඒ තොරතුරු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඒ ඒ රටවල තානාපති කාර්යාලවලට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ලංකාවේ ඉන්දීය තානාපති ඇතුළුව ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය අපව තෝරාගෙන මෙබඳු නිර්මාණයක් කරන්න අපට කතා කළා.

ඊට පස්සේ මොකද වුණේ?

මමයි උමාරියයි සන්තුෂ් එකතු වෙලා තව ශ්‍රී ලංකාවේ කිහිප දෙනෙකුත් එකතු කරගෙන ඒ භජන් එක කරලා ඉන්දියාවට යැවුවා. ඒ විදියට රටවල් 124න්ම ආව නිර්මාණ අතුරෙන් එයලගේ හිතට අල්ලලා තියෙන්නේ අපි හදපු වර්ෂන් එකයි. අපේ රාජ්‍ය නායකයන් ඉන්දියාවට ගියාමත් ඒ වර්ෂන් එක ඉන්දීය අගමැතිවරයා දමලා පෙන්නලා තියෙනවා. ළඟඳී ඉන්දීය මහ කොමසාරිස්තුමන් අපට ඔවුන්ගේ උත්සවයකට ආරාධනා කළා. අපි එයට සහභාගි වුණාමත් අපේ නිර්මාණ ගැන ලොකු පැහැදීමකින් කතා කළා. අපිව ගොඩාක් දිරිමත් කළා.

උමාරියා සමගින් ඔබ දෙදෙනා අලුතෙන් නිර්මාණයක් කළේ බොහොම කාලෙකින් නේද?

උමාරියා එක්ක අපි ප්‍රසංග ගොඩාක් කරනවා. නමුත් අපි තුන් දෙනා අලුතෙන් නිර්මාණයක් කළේ නම් ගොඩාක් කාලෙකින්.

ඒ කියන්නේ උමාරියා, භාතිය සන්තුෂ්, නිර්මාණවලින් දුරස් වෙලා ඉඳලයි තියෙන්නේ?

අපි එකට ප්‍රසංග කරනවා. හැම සතියකම වගේ ප්‍රසංග වේදිකාවේදී හමුවෙනවා. ඒත් අලුත්ම නිර්මාණයකට කාලෙකින් අත ගැහුවේ ඉන්දියාවේ ගාන්ධි භජන් එක කරන්නයි.

ඉන්දීය රජයෙන් මෙවැනි ප්‍රසංග ලැබෙන මොහොතක ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු පිළිගැනීම මොනවගේද?

ලංකාවේ රජයෙනුත් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ගීතය අපේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි ලංකාවේ එළිදැක්වීම වුණේ.

මේ නිර්මාණයෙන් පසුව අලුත් වැඩකට අත ගහන්න හිතුවේ නැද්ද?

මේ වෙනකොට අපේ ඇල්බම් එක හදාගෙන යනවා. අවුරුදු විස්සක අපේ සංගීත ගමනේ මතකය ඇතුළත් ඒ ඇල්බම් එක 20 සංවත්සරය යෙදෙන දෙසැම්බර් 22 වැනිදාට තමයි එළියට දාන්නේ. ඒත් එක්කම අලුත් ගමනකට මුල පුරන්නත් හිතාගෙන ඉන්නවා.