සුන්දරත්වය යට සැඟවුණු බෙලිහුල් ඔයේ දිය රකුසා‌ගේ ගොදුරක් වූ සබරගමු සරසවියේ සිසුන් තිදෙනාගේ ඉරණම - Video & Photos

බලංගොඩ - බෙලිහුල්ඔය - පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය සරසවි සිසුන් තිදෙනෙකු ඊයේ(10) පෙරවරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගිය කාලයේදී අනාරක්ෂිත ලෙස දිය ඇල්ලේ දිය නෑමට පැමිණි පුද්ගලයන් 20 දෙනෙකු පමණ දියේ ගිලීමෙන්
ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සුන්දරත්වයෙන් අනූන බලංගොඩ - බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටා ඇති පහන්තුඩා ඇල්ල නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් සිය ගණනින් දිනපතා පැමිණෙනවා.

ඊයේ පෙරවරු 10.30 ට පමණ සබරගමු සරසවියේ තුන්වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් පහන්තුඩා ඇල්ල නැරඹීමට පැමිණ තිබුනා.

ඉන් පිරිසක් ඇල්ලේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී සිසුන් තිදෙනෙකු දියේ ගිලී ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

දියේ ගිලුණු සිසුන් තිදෙනා ගම්වාසීන්ගේ  ද සහයෝගයෙන් ගොඩගෙන බලංගොඩ මුලික රෝහලට ඇතුලත් කෙරුණු අතර, එහිදී ඔවුන්ගේ දිවි බේරාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දැරුවා.

එහෙත් සිසුන් තිදෙනාගේ දිවි බේරාගැනීමට හැකි වුයේ නැහැ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 23 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙක්.