gossip lanka

"පෞද්ගලික ජීවිතේ ගොඩක් දේවල් කැප කරන්න වුණා මේ නිර්මාණ වෙනුවෙන්" - අශිකා මතසිංහ

අශිකා මතසිංහ කියන්නේ වෙළෙද දැන්වීම් නිසා ජනාදරයට පත් වුණු නිළියක්. නමුත් රංගනය තුළදී ඇය කෙටි කලකින් විවිධ චරිත නිරුපණය කරන්නට සමත් වුණා.වෙළෙද දැන්වීම්වලත් ටෙලි නාට්‍ය වලත් දකින්න ලැබෙන ඇය මේ වනවිට සිනමාවටත් සම්බන්ධවෙලා. ඇය මේ ගැන පුවත්පතකට කියලා
තිබුණේ මෙහෙමයි.

ඔබ දායක වුණ චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනය වෙන්න තියෙනවා?

ඔව්, ‘කොළඹ සන්නිය රිටන්ස්’ චිත්‍රපටය මේ දිනවල ප්‍රදර්ශනය වෙනවා. ඊට අමතරව ‘ෆේස් ටු ෆේස්’ චිත්‍රපටය තව නොබෝ දවසකින් ප්‍රදර්ශනය වෙන්න නියමිත වෙලා තියෙනවා. තව මම රංගනයෙන් දායක වු ‘ඇලඩින් හා පුදුමු පහන’, ‘හොරා අංකල්’ කියන චිත්‍රපට දෙකත් ඉදිරියට එන්න තියෙනවා. තව චිත්‍රපටයක් කළා ක්‍රිස්ට් ෂෙල්ටන් මහත්මයාගේ. තවමත් එක නමක් දාලා නැහැ.

කාලයක් ඔබ ටෙලි නාට්‍යයවලට සීමා වෙලා හිටියා. දැන් ඔබ දිගින් දිගටම චිත්‍රපටවලට සම්බන්ධ වෙනවා?

ඔව්, ඒක පහසුයි කියලා හිතුණා. ටෙලි නාට්‍යයවලට කාලය ගොඩක් වැය වෙනවා. මොකද කොටස් වශයෙන් රූපගත කරන නිසා. මම අම්මා කෙනෙක් හා බිරිඳක් වශයෙන් නිර්මාණයකට ලොකු කාලයක් වැය කරන්න අපහසුයි. ඒ හින්දා පසුගිය කාලයේ මම සිනමාවට දායක වුණේ. මම කලින් සඳහන් කළ චිත්‍රපටවල මම රඟපාන්නේ ප්‍රධාන චරිත නෙමෙයි. ‘කොළඹ සන්නිය රිටන්ස්’ චිත්‍රපටයෙත් මම එන්නෙ අවසන් දර්ශන කිහිපයට. ටෙලි නාට්‍යයවලට වඩා චිත්‍රපටවලට සම්බන්ධ වෙන එක පහසුයි මට.

ඒ කියන්නේ ටෙලි නාට්‍යය පැත්ත අමතක කරනවා කියන එකද?

නැහැ. හොඳ එකක් ආවොත් භාර ගන්නවා. පසුගිය කාලයේ එකදිගට මම ටෙලි නාට්‍යය කිහිපයකට දායක වුණා. පෞද්ගලික ජීවිතේ ගොඩක් දේවල් කැප කරන්න වුණා මේ නිර්මාණ වෙනුවෙන්. මටම තේරුම් ගියා ටෙලි නාට්‍යයවලට දායක වෙන එක කෙතරම් අමාරුද කියලා. ලොකු කාලයක් වැය කරන්න බැරි හින්දා පස්සේ මම වෙළෙඳ දැන්විම් පැත්තට යොමු වුණා. මුදල් හම්බ කිරීමේ පරමාර්ථයක් මට ලොකුවට නැහැ. නමුත්, කලාවේ රැඳිලා ඉන්න ආසයි. අශිකා කියන කෙනා ප්‍රේක්ෂයන්ගේ මතකයේ රැඳිලා ඉන්නවාට මම ආසයි.

කාලෙන් කාලේට ඔබ කලා නිර්මාණවල දැක්කේ අපි?

ඔව්, දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මම. ඉතින් දරුවෝ හම්බ වෙන කොට මම කලාවෙන් තාවකාලිව සමුගත්තා. අම්මා කෙනෙක් වෙන කොට ශරිරයේ වෙනස්කම් ඇති වෙනවා. මම ඒවාත් මට ලැබුණ චරිතවලට දායක කරගත්තා. දෙවැනි දරුවා හම්බ වුණාට පස්සේ මම ටිකක් විතර මහත් වුණා. ඔය අතරේ ටෙලි නාට්‍යයක මම රඟපෑවා අවුරුදු 25ක විතර පුතෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ චරිතයක්. තවත් චරිතයක් කළා මම ප්‍රේග්නන්ට් වෙලා ඉන්න කොට. එහෙම කැපවීම් කළා නිර්මාණවල. කාලෙන් කාලේට මාව නිර්මාණවල දැක්කත් ප්‍රේක්ෂකයෝ අශිකා කියන රංගන ශිල්පිනිය අමත කළේ නැහැ. ප්‍රසිද්ධ වෙනවාට වඩා මිනිස්සු අතර ජනප්‍රිය වෙනවටයි මම කැමති වුණේ. නිතර කලා නිර්මාණවල නොදැක්කත් අදටත් මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා මා වටා.

පසුගිය දිනවල ඔබ ඉතාලියේ සංචාරයකුත් කළා?

ඔව් සාරි විලාසිතා දැක්මකට. මේ විලාසිතා දැක්ම සංවිධානය කළේ ශ්‍රීයන්ත දසනායක කියලා ඉතාලියේම ඉන්න කෙනෙක්. විලාසිතා දැක්මකට විදෙස් රටකට ගිය පළමු අවස්ථාව මේක මම. ඉතින් මම හිතනවා මේක මට විශේෂ අත්දැකිමක් එකතු කළ සංචාරයක් වුණා. හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ඔහුගේ බිරිඳ රංගන ශිල්පි මංජුලා තිළිණි, පුබුදු චතුරංග එක්ක මාෂි සිරිවර්ධන, හා ඉමායා ලියනගේ ඇතුළු පිරිසත් මා සමගින් මෙම ප්‍රසංගයට සහභාගි වුණා.

බුද්ධික සේනාධීර


gossip lanka