වචනයෙන් නොකියා ක්‍රියාවෙන්ම ණය ගෙවයි - ඉන්දීය ගොවීන් දහස් ගණනකගේ ණය ගෙවා අමිතාබ් භච්චන් කළ වැඩක්!

මුලු රටටම බත සපයන ගොවියන්ගේ ජීවිත සුන්දර නැත. රටට බත සපයන ගොවි ජනතාව ඇතැම් විට ඒ සදහාම ණය වී ගොවිතැන් සිදු කර ණය ගෙවීමට නොහැකිව සිය දිවි හානි කර ගත් පුවත්ද පසුගිය කාලයේ වාර්තා වුවා.

ශ්‍රී ලංකාවේ ගොවින්ගේ මෙම කටුක ජීවිතය නිසාම අපගේ ගොවියන් ගත වු වසර 3 ක කාලය තුළ වාණිජ බැංකු මගින් ලබාගත් රුපියල් මිලියන 50 ක් දක්වා ණය මුදල් සදහා වූ පොලී සහ දඩ මුදල්
සම්පූර්ණයෙන්ම කපා හැර එම පිරිවැය රජය විසින් දරා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළා.

එවැනි සිදුවීමක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ණය බරින් මිරිකෙන ඉන්දීය ගොවියන් පිරිසකට ඉන්දියාවේ ජනප්‍රිය නලු අමිතාබ් බච්චන් මහා පරිත්‍යාගයක් කර තිබෙනවා.

සෑම වසරකම විවිධ හේතූන් නිසා ඉන්දීය ගොවීන් අතරින් සෑහෙන සංඛ්‍යාවක් අසරණ භාවයට පත් වෙනවා. නියඟය, ජල හිඟය, පලදාව අඩුවීම ආදිය ඊට බලපානවා. බොහෝ ගොවීන් තම වගාවන් කරනු ලබන්නේ බැංකුවලින් ණය ලබාගෙන. අස්වනු පාළු වීම නිසා තමන් ගත් ණය ගෙවාගත නොහැකිව වසරකදී ගොවීන් දස දහස් ගණන් සිය දිවි නසා ගන්නවා.

මේ ගොවි ජනයා වෙනුවෙන් තමන්ට හැකි පමණින් උපකාර කිරීමට පියවර ගත් අමිතාබ් පසුගියදා ගොවීන් 1398 දෙනකුගේ බැංකු ණය සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට කටයුතු කළා. ඒ සෑම ගොවියෙක්ම අමිතාබ් උපත ලද උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීන්. ඔහු මේ අන්දමින් ගෙවා දැමීමට පියවර ගෙන ඇත්තේ රජයට අයත් බෑන්ක් ඔෆ් ඉන්ඩියා බැංකුවෙන් ගොවීන් විසින් ලබාගත් ණය මුදලයි.

මුදල් ගෙවීමෙන් අනතුරුව ඊට අදාළ ලියකියවිලි ගොවීන් අතට පත් කිරීම සඳහා සියලු ගොවියන් ඔහු වෙසෙන මුම්බායි නගරය වෙත කැඳවීමට නොහැකි නිසා දුම්රිය මැදිරියක් වෙන්කරවා ගෙන ගොවීන් 70 දෙනකු මුම්බායි වෙත කැඳවාගෙන ඒමට අමිතාබ් කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 26 වැනි දින ගොවීන් හා අමිතාබ් අතර හමුව සිදුවීමට නියමිතයි.

මේ වසරේ මුල් භාගයේද අමිතාබ් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් 350 දෙනකුගේ ණය ගෙවීමට කටයුතු කොට තිබුණා.