ලෝකයේ සිටින මහා ධනවතුන් ගැන හෙළිදරව් කිරීමක් - Photos

කතාවට කියන්නේ “බල්ලොත් නොකන සල්ලි” කියලාය. කතාව‍ට එහෙම කිව්වත් ඕනෑම බලු වැඩක් සල්ලි වලට ඉටු කරන මිනිස්සු ද සිටිති.
අද අප ජීවත් වන්නේ මුදල් ප්‍රමුඛ කරගත් සමාජයක ය. මුදල මුදල් නොවු අතීත ජන සමාජය තුළ බොහෝ ගනුදෙනු සිදු වුයේ භාණ්ඩ හුවමාරුවෙනි. එහෙත් අද එසේ නොවේ; අද සියල්ල තීරණය කරන්නේ මුදල් ය.

කිසියම් රටක් සංවර්ධිත හෝ අසංවර්ධිත රටක් ලෙස
වර්ග කරන්නේ ද ඒ රටේ ආර්ථික ශක්තිය සලකා බැලීමෙනි. රටක ආර්ථික ශක්තිය තීරණය වන්නේ ඒ රටෙහි ජීවත් වන මිනිසුන්ගේ ඒක පුද්ගල ආදායමට අනුව ය.


ෆෝබ්ස් සඟරාව ඇමරිකාවේ පළවන ලෝ ප්‍රකට ආර්ථික සඟරාවකි. හැම වසරක ම ඔවුන් විසින් ලෝකයේ වෙසෙන ධනවතුන් ශ්‍රේණිගත කරනු ලබයි. පසුගිය ඔක්තෝබර් මාසයේ ඔවුහු 2018 වසරේ ලෝකයේ මුල් පෙළේ බිලියන්පතියන් කවුරුන්දැයි පෙළ ගැස්වුහ.

ඔවුන් මේ ගවේෂණය සිදුකර ඇත්තේ ලොව පුරා රටවල් හැත්තෑ දෙකක් පිළිබඳව අවධානය යොමු කරමිනි. ඒ අනුව ලොව පුරා බිලියන්පතියන් 2208 දෙනකු හඳුනා ගන්නට ෆෝබ්ස් සඟරාවට හැකි විය.

ෆෝබ්ස් හෙළි කරන පරිදි ලෝකයේ ඉහළ ම පෙළේ ප්‍රකෝටිපතියන් 2208 දෙනා අතුරින් දෙවන තැන දිනාගෙන සිටින්නේ චීනයයි. ඒ අනුව චීන ජාතික ව්‍යවසායකයන් 373 දෙනෙක් මේ ලැයිස්තු‍වේ සිටිති. මේ 2208 දෙනා අතරට පැමිණි අලුත් ම බිලියන්පතියන් 259 දෙනකු ද සිටින බව වාර්තා වේ.

ෆෝබ්ස් දත්තයන්ට අනුව අද ලොව වෙසෙන පළමු ප්‍රකෝටිපතියා වන්නේ ජෙෆ් බෙසෝස් ය. ඔහු ලෙහෙසි පහසු පුත්‍රයකු නොවන්නේ ඔහුගේ මූල්‍ය වත්කම ඇමරිකානු ඩොලර් බිලියන් 112ක් වන නිසා ය. මේ වත්කම අප දන්නා කියන රුපියල්වලට පෙරළන්නට නම් දැනට පාවෙන රුපියලේ අගයෙන් මෙකී බිලියන් 112 වැඩි කළ යුතුය.

මේ ජෙෆ් බෙසෝස් යනු කවුදැයි අපි මඳක් විමසා බලමු. ජෙෆ් උපදින්නේ එක්දහස් නවසිය හැට හතර වසරේ ජනවාරි දොළොස් වැනිදා ය. ඒ ඇමරිකාවේ නිව් මැක්සිකෝවේදී ය.

 මේ වන විට ඔහුගේ වයස අවුරුදු 54 කි. ජෙෆ් බෙසෝස් ඉතිහාසගත වන්නේ ලොව පළමු ධනවතා ලෙස පමණක් නොවේ. ඔහු ලෝකයේ මෙතෙක් පහළ වූ බිලියන් සියයක වත්කම ඉක්මවු පළමුවෙනියා ය.

ඇමරිකාවේ සුපුකට ඇමසෝන් ජාත්‍යන්තර සමාගමෙහි නිර්මාතෘවරයා ඔහු ය. ප්‍රකට ඇමරිකානු විශ්වවිද්‍යාලයක් වන ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව සහ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ඔහු සතු ය. මෑතකදී ජෙෆ් වඩාත් අප රටේ ද ජනප්‍රිය වූයේ විශේෂ හේතුවක් නිසා ය. ඒ විශ්වවිද්‍යාල ජීවිතය සමයේ අපහසු ගණිත ගැටලු විසඳීමට තමාට උදව් කළේ ශ්‍රී ලාංකික සිසුවකුව සිටි යසන්ත රාජකරුණානායක යැයි පැවසීම නිසා ය. ජෙෆ්ගේ මේ කතාවත් සමඟ ජෙෆ් සේම මහාචාර්ය යසන්තත් වඩාත් ජනප්‍රිය වුහ.

ලොව ලොකුම ධනවතා වන ජෙෆ් ඇමරිකාවේ ඇමසෝන් ව්‍යාපාර සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ සභාපතිවරයා ඔහුගේ ව්‍යාපාරවලින් දිනකට උපයන ආදායම මිලියන් 107 කි. වොෂින්ටනයේ පදිංචි ජෙෆ්ගේ නිවස ඒ නගරයේ ඇති විශාලතම නිවස ද වේ. එහි වර්ග අඩි ප්‍රමාණය 27000 කි. නිවස ඉදිකිරීමට ඔහුට වැය වූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 23 කි. ජෙෆ් සතුව අධි සුඛෝපභෝගී මෝටර් රථ රැසක් තිබේ. ඒ අතුරින් ඔහු වඩාත් ප්‍රිය කරන්නේ ඇ.ඩොලර් මිලියන 4.5 වටිනා ලැම්බෝගිනියටයි.

“මොන වැඩ තිබුණත් මම රාත්‍රියට හොඳ නින්දක් ලබනවා. මම අනිවාර්යයෙන් දවසට පැය 8 ක් නිදා ගන්නවා. සුවබර නින්ද අලුත් දවසක් සහ අලුත් මනසක් උදාකර දෙනවා. උදේට අවදි වූ ගමන් මගේ පළමු කාර්යය තමයි පුවත්පත් බලන එක. ඊ‍ට පස්සේ උණු කෝපි කෝප්පයක් බොනවා. උදේට අපි ගෙදර සියලු දෙනාම ආහාර ගන්නේ එකට කෑම මේසයේ ඉඳගෙන.“
ජෙෆ් සිය දෛනික චර්යාව ගැන පවසන්නේ එසේ ය.

ජෙෆ් බෙසෝස්ට දරුවන් සිව් දෙනෙකි. ඉන් තිදෙනකු පිරිමි දරුවන් ය. ඔහුගේ බිරිය ඇමරිකානු ජාතික නවකතාකාරියක වන මැතෝනිස් බෙසෝස් ය.

ජෙෆ්ගේ ව්‍යාපාර ජාලයට සම්බන්ධ සමාගම් රැසකි. ඇමරිකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රකට වොෂින්ටන් පෝස්ට් පුවත්පත් ආයතනයේ වත්මන් හිමිකරු ද ඔහුය. මීට අමතරව Blue origin සමාගම ද ඔහු සතු ය. පනස් දහසක පමණ සේවක පිරිසක් මේ මහා ධන කුවේරයාට සිටින අතර මාසිකව බිලියන 05 ක් ඔවුන්ගේ වැටුප් ගෙවීමට වැය කරනු ලබයි.
ලොව වෙසෙන දෙවන ධන කුවේරයා වන්නේ අප කවුරත් නම අසා හුරු පුරුදු බිල් ගේට්ස් ය. කවුරුත් දන්නා මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු ඔහු ය. ජෙෆ් ලොව පළමු ධනවතා වීමට පෙර වසර ගණනාවක් පුරා ඒ තැන දිනා සිටියේ ද බිල් ගේට්ස් ය.

62 හැවිරිදි වියේ පසුවන බිල් ගේට්ස් ‘මයික්‍රොසොෆ්ට්’ ආයතනය ආරම්භ කරන්නේ 1975 වසරේදී ය. අදටත් ලොව ඇති විශාලතම මෘදුකාංග නිපදවන ආයතනය මයික්‍රොසොෆ්ට් ය.

බිල් ගේට්ස්ගේ වත්කම ඇ‍.ඩො.බිලියන 92.2 කි. බිල් ගේට්ස්ගේ බිරිය විලෙන්ඩා ගේට්ස් ය. ඔවුන්ට දරුවන් තිදෙනෙකි.

අද සමාජ හා සුබ සාධනය පිළිබඳව වඩාත් උනන්දු වන මේ මහා ධන කුවෙරයා ඇමරිකානු ඩොලර් බිලියන් 35ක් සුභසාධන කටයුතු සඳහා වෙන්කර තිබේ. ලොව විශාලතම පුද්ගලික සුබ සාධක සේවය බිල් සහ ඔහුගේ බිරිය විසින් පවත්වාගෙන යනු ලබයි. පරිසරය සංරක්ෂණය සේම මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම බිල්ගේ පරමාර්ථයයි.

අලුතින් ව්‍යාපාර ක්ෂේත්‍රයට ප්‍ර‍‍වේශ වීමට සූදානම් වන්නවුන්ට බිල් ගේට්ස් අපූරු අවවාද කිහිපයක් ලබා දෙයි. ඔහුගේ පළමු අවවාදය වන්නේ අසමත් වීමට මුහුණ දීමට සූදානම් වන්න යන්නයි. ව්‍යාපාරයකදී අවදානම් බාර ගැනීමට සුදානම් විය යුතු බව බිල් මෙහිදී අවධාරණය කරයි. ඔහුගේ දෙවන අවවාදය වන්නේ දිගු ගමනකට සුදානම් වෙන්න යන්නයි. තුන් වෙනුව ඔහු පවසන්නේ කුඩා තැනකින් ආරම්භ කරන්න යන්නයි.

ලොව මුල්ම දානපතියන් අතර ප්‍රථම, දෙවන මෙන්ම තෙවන තැන දිනා ගන්නේද ඇමරිකානු ජාතිකයෝමය. ඔහු වැරන් බෆට් ය. වැරන්ගේ වයස අවුරුදු 88 කි. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 88.3 කි. වියපත් වුවද තවමත් තරුණයකු ලෙස සිතන වැරන් ප්‍රබල ආයෝජකයෙක් වෙයි. කොලොම්බියා බිස්නස් ස්කුල් හි ව්‍යාපාරකරණය පිළිබඳව අධ්‍යාපනය හැදැරු ඔහුද ප්‍රබල සමාජ සේවකයෙක් වේ. සුබ සාධන කටයුතු වෙනුවෙන් බිල් ගේට්ස්ට පසුව වැඩිම මුදලක් වැය කරන්නේ ඔහුය. ඔවාහා නගරයේ පදිංචිව සිටින ඔහුගේ මහල් ප්‍රාසාදයේ වත්මන් වටිනාකම ඇ‍මරිකානු ඩොලර් හය ලක්ෂ පනස් දෙදහස් හයසිය දහනවයක් වේ.

වයස අවුරුදු 11 දී සිය පවුලේ ව්‍යාපාරවලට හවුල් වෙමින් ව්‍යාපාරිකයකු වූ වැරන් අද බ්‍රෙක්ෂයර් සමූහ ව්‍යාපාරයේ අයිතිකරුය.

ලොව ඉහළම දානපතියන් අතර සිවුවන තැන දිනා ගන්නේ ප්‍රංශ ජාතිකයෙකි. ඔහු බර්නාඩ් ආනෝල්ට්ය. LVMH ව්‍යාපාරයේ සභාපතිවරයා වන බර්නාඩ් 69 වියැතිය. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 72 කි. බර්නාඩ් ලොව විශාලතම ගෘහ උපකරණ සමාගමේ හිමිකරු වන්නේය. එසේම ප්‍රංශයේ පළමු ධනවතා වන්නේ ද ඔහුය. සිය ව්‍යාපාරික ජීවිතයේ ජයග්‍රහණය ලෙස බර්නාඩ් දකින්නේ අසීමිත කැපවීම මෙන් ම නිවැරදි තීරණ අවශ්‍ය මොහොතේ ගැනීමයි.

“පරාජයන් සේම අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දීමට නොහැකි නම් ඔබ ව්‍යාපාරිකයකු වීමට නොසිතිය යුතුයි”
ඔහු පවසන්නේ එසේය.

ස්ටීව් ජොබ්ස් මගේ ජීවිතය වෙනස් කිරීමට දායක වූ දක්ෂ ව්‍යවසායකයෙක්. ඇත්තටම ඔහු මට ගුරුවරයෙක් වගේ”
බර්නාඩ් වැඩිදුරටත් එසේ පවසයි.

1949 වස‍ෙර් නැගෙනහිර ප්‍රංශයේ උපන් බර්නාඩ් ඉංජිනේරු උපාධිධරයෙකි. පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වන විට ඔහුගේ වයස අවුරුදු 27 කි.

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පස්වෙනියා වන්නේ ස්පාඤ්ඤ ජාතිකයෙකි. ඔහු වයස අවුරුදු 82 ක වයෝවෘද්ධයෙකි. ඔහුගේ වත්කම්වල වටිනාකම ඇ.ඩො. බිලියන් 70 කි. ස්පාඤ්ඤයේ පළමු ධනවතා ද වන ඔහු තවමත් තරුණයකු මෙන් කඩිසරය. ඉන්සිටෙක්ස් පැෂන් ගෲප් ව්‍යාපාරයේ හිමිකරු වන ඔහුගේ නම ඇටෑසියෝ ඕර්ටේජ්ය. ලෝකය වෙනුවෙන් නවතම විලාසිතා නිර්මාණය ඔහුගේ ප්‍රධානතම ආදායම් මාර්ගයයි.

ඇමෑසියෝගේ ව්‍යාපාරික මධ්‍යස්ථාන 7385 ක් ලොව පුරා විවිධ ස්ථානවල පිහිටා ඇත.

“ඇඳුම් විලාසිතාවන් කියන්නේ දවසින් දවස අලුත් වෙන දෙයක්. ලෝකය ගැන අපි හැම විටම අවධානයෙන් ඉන්න ඕන. නිර්මාණශීලිභාවය සහ පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට සමත් වීම තමයි මගේ දියුණුවේ රහස” ඒ ඇමෑසියෝගේ අදහසයි.

ලෝක ධනවතුන් අතර හයවන ස්ථානය දිනා ගන්නේ ද නැවතත් ඇමරිකානු ජාතිකයෙකි. ඒ තාලස් ස්ලිම්ය. ඔහු ද 78 වියැති මහල්ලෙකි. ඔහුගේ වත්කම් ප්‍රමාණය ඇ.ඩො බිලියන් 67 කි. වෘත්තියෙන් ඉංජිනේරුවකු වූ ඔහු ටෙල්මෙක්ස් ආයතනයේ හිමිකරුය. ඇමරිකාවේ විශාලතම ජංගම දුරකථන සමාගමේ හිමිකරු ද ඔහුය.

ලෝකයේ හත්වන ධනවතා වන්නේ අප කවුරුත් දන්නා ෆේස්බුක් ආයතනයේ හිමිකරුය. ඔහු මාර්ක් ෂකර් බර්ග්ය. බිලියන් 61 ක වත්කමකින් යුත් මාර්ක් තාමත් 34 වියැති තරුණයෙකි. ඔහුද ඇමරිකානු ජාතිකයෙකි. හාවඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරයෙකු වන ඔහු දරු දෙදෙනකුගේ පියෙකි.

“ව්‍යාපාරයකට පැවතිය යුත්තේ සරල නිර්ණායක කිහිපයක්. නිර්මාණාත්මකව ඉක්මනින් තීරණ ගන්න ඕන”

අද ලොව පුරා මුහුණු පොතෙහි සාමාජිකයෝ කෙතරම් ප්‍රමාණයක් සිටිත්ද? ඒ සියල්ලෝම මාර්ක්ගේ ව්‍යාපාරික ඥානයේ අතුරු පාරිභෝගිකයෝ ය.

මීට අමතරව ලෝක ධනවතුන් අතර අටවන ස්ථානය ඇමරිකානු ජාතික ලැරී එලිසන් ද (වත්කම ඇ.ඩො බිලියන 58.4) නව වන ස්ථානය ඇමරිකානු ජාතික ලැරි පේජ් ද (ඇ.ඩො බිලියන 53 .8) දහවන ස්ථානය ඇමරිකානු ජාතික චාල්ඩ් කෙරම් ද (ඇ.ඩො බිලියන 53) ලබා ගෙන ඇත.

ලෝකයේ ධනවත්ම මිනිසුන් විසිදෙනා අතර සිටින්නේ එක් ව්‍යාපාරික කාන්තාවක් පමණි. ඒ ලෝකයේ දහහත්වන ප්‍ර‍කෝටිපතිනිය වන ඇලිස් වොල්ට්හෙයාර්ය. වෝල් මාර්ට් ආයතනයේ හිමිකාරිය වන ඇගේ වත්කම ඩොලර් බිලියන 44.9 කි.

ලෝකයේ ධනවත්ම මිනිසුන් විසිදෙනා අතුරින් 17 දෙනකුම වයස අවුරුදු 60 ඉක්ම වූ වයෝවෘද්ධයන් වීමද තවත් විශේෂත්වයකි. එසේම ඒ අතුරින් 14 දෙනක් ඇමරිකන් ජාතිකයෝය. ලෝක ධනවතුන් විසිදෙනා අතර විසිවන ස්ථානය දිනා ඇත්තේ ඉන්දීය ජාතික මුකේෂ් අම්බානිය. රෙලියන්ඩ් ඉන්ඩස්ට්‍රිස්හි හිමිකරු වන ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් 41.1කි.

ලෝකයේ ප්‍රමුඛතම බිලියන්පතියන් අතරට අලුතින් එක් වූ 25දෙනා අතුරින් බහුතරයක් සිදු කරනු ලබන ව්‍යාපාර වන්නේ මංගල ඇඳුම් ව්‍යාපාර, ඉලෙක්ට්‍රොනික් මෝටර් රථ නිෂ්පාදනය හා ළමා සෙල්ලම් බඩු නිෂ්පාදනයයි. ලෝකයේ ප්‍රමුඛතම ධනපතියන් විසි දෙනා අතුරින් හය දෙනකුම විලාසිතා සම්බන්ධ ව්‍යාපාරිකයන් ය. මේ අතර සැලකිය යුතු පිරිසක් නව ඇප්ස් නිෂ්පාදකයන්ය.

එසේම මෙම කිසිදු ව්‍යවසායකයකු එකරැයින් පොහොසත් වුවන් නොවේ. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ව්‍යාපාරික පවුල් පසුබිමකින් පැවත එන්නන් ද නොවේ. බොහෝ දෙනා ඉතා සුළු තැනකින් ව්‍යාපාරික ලෝකයට පා තැබුවන් ය. එහෙත් මේ විසල් ධන කුවේරයන්ට පොදු වූ ලක්ෂණයක් තිබේ. ඒ නිර්මාණශීලි මනසයි. එසේම අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යාම ඔවුන්ගේ ජීවන දැක්ම වී තිබේ.

“වාසනාව ඔබ ළඟට විත් දොරට තට්ටු කරන්නේ නැත. ඔබ වාසනාවේ දොර ළඟට ගොස් ඊට තට්ටු කළ යුතුය”

බිල් ගේට්ස් කියන්නේ එහෙමය.